නැගෙනහිර අහසේ
නැගෙන අරුණෝදය දැක
දැවෙන මහ පොළොවේ
වතුර ගලනා දියකඩිති දැක
දරුණු රෑ අඳුරේ
දිලෙන කණාමැදිරි එළි ඇස දැක
ශුක්රාණුවක් අවසාන ඩිම්බය සොයා යයි
හෝඩි පොත් විකුණනකොට කඩ තුළ
මොණර පිල් ගෑවී උපාධිවල
නැමෙන පිටකොඳු අහවල් එකටද
නැගිට කෑගසනා උන් දැක
යකඩ බැරියර් පොලු උඩ
ශුක්රාණුවක් අවසාන ඩිම්බය සොයා යයි
සෝදගත්තම මඩ - රජකම දෙන
බලන් ගොවියන් වකුගඩු නැතිවුණ
සමාගම් ජීවිත විකුණනකොට
අපේ ජීවිත උන්ට ලාභය
ජීවිතය යළි ඉල්ලන උන් දැක
ශුක්රාණුවක් අවසාන ඩිම්බය සොයා යයි
යට කරන කල කුණු කඳු ජීවිත
සල්ලි කඳු උඩ පළවෙනි පන්තිය
ස්වයං වින්දන ලබමින් කුමටද
හෙට දිනක් නොමැතිව ජීවිතවල
කියා මොරදෙන උන් දැක
ශුක්රාණුවක් අවසාන ඩිම්බය සොයා යයි
වහල් ජීවිත ටයි පොලු දාගෙන
තනන කල හීනෙන් වැලි මාළිගා
නැගිටියව් සටනට යන්නට හෙට
දෑකැත්ත හරහා ගිය මිටියට
මැදින් එල්ලා අද ටයි පොලු දිලිසෙන
නැගෙන අරුණෝදය දැක
ජීවයක් තැනීමට බිය වී සිටි
ශුක්රාණුවක් අවසාන ඩිම්බය සොයා යයි
(මායන දස්නක)