පහුගිය දවස් කිහිපයේ මම ටිකක් අසනීපයෙන් හිටියත් කොළඹ ස්කේල්ටන් පාරට වාහනේ හැරෙව්වෙ අලුත් තැනක් ගැන කතා කරන්න ඕනෙ නිසායි. මෙතැන ඇත්තටම මම ගොඩක් කාලයක් තිස්සේ යන්න හිටපු තැනක්. හැබැයි ටිකෙන් ටික මෙතැනට යන්න හිටපු වැඩේ ප්‍රමාද වුණා. මේ තැන තමයි ස්කේල්ටන් පාරෙ පිහිටලා තියෙන ඩොල්ස් ඉටැලියා (Dolce Italia) අවන්හල. මම අවන්හලට ඇතුළුවෙද්දිම මාව පිළිගත්තේ අවන්හලේ එක් හිමිකාරිනියක් වන ෆ්ලොරෙන්ස් ග්‍රැම්බෝටායි. ඇය ඇත්තටම ගොඩක් උණුසුම් විදිහට මාව පිළිගත්තා. මට දැනුණෙ හරියට නත්තල් ඇවිත් වගෙයි. ඇය මාව එතැන හිටපු තවත් ඉතාලි ජාතික කාන්තාවකට හඳුන්වා දුන්නා. ඇගේ නම මැනුඑලා පෘනෝලි. මේ අවන්හලේ සියලු කෑම වට්ටෝරු පෘනෝලිගේයි.
ඇය ඉදිරිපත් කරන සෑම කෑම වට්ටෝරුවක්ම හොඳින් පරීක්ෂා කරලා රස බලලා තමයි ඉදිරිපත් කරන්නෙ. ඇගේ මුළු ලෝකයම ඉවුම් පිහුම් කලාවත් එක්ක බද්ධ වෙලායි තියෙන්නෙ. ඇගේ ආහාර රස විඳින්න මම පටන්ගත්තේ Penne pesto e-pomodoro කියන පැස්තා එකෙනුයි. තක්කාලි, ඔලිව් ඔයිල්, චීස් මිශ්‍ර වුණු මේ පැස්තා එක හිතාගන්න බැරි තරම් රසවත්. ඒ වගේම හොඳ පෙනුමකුත් ඒකෙ තිබුණා.
ඉතාලි කෑම ගැන කතාකරද්දි පැස්තා වගේම ලොකු තැනක් පිට්සාවලටත් ලැබෙනවා. ඒ නිසාම මම දෙවැනියට රස බැලුවේ Pizza special Buffalo Mozzarella කියන පිට්සා එකයි. නැවුම් තක්කාලි සෝස්, මොසරැල්ලා චීස්, එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල්, බෆලෝ මොසරැල්ලා එහි අඩංගුයි. එහි විශේෂම දේ තමයි පිට්සා එක හදන්න කුරක්කන් පිටි යොදාගෙන තිබීම.
මම එතැනින් නැවතුණේ නැහැ. තුන්වැනියට තෝරගත්තෙ Tagliatta di manzo con Rucola විදිහට නම්කරලා තිබුණු කෑමක්. ඒකෙ බීෆ්, ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්, සලාද සහ තක්කාලි අඩංගු වුණා. තව චීසුත් තිබුණා. මේ සියල්ලටම පස්සෙ චොක්ලට් චිප්ස් කුකී කිහිපයක රස බලන්නත් මම අමතක කළේ නැහැ.
ආහාර අරගෙන ඉවර වුණාට පස්සෙ තමයි මම ඩොල්ස් ඉටැලියා අවන්හලේ කතාව ගැන විපරම් කරලා බැලුවෙ. මේ අවන්හල ආරම්භ කරලා තියෙන්නේ මැනුඑලා 2013දි ලංකාවට ආවට පසුවයි. ඇය ලංකාවට එන්නේ බුද්ධාගම ගැන ඇතිවුණු කැමැත්ත, ළැදියාව නිසායි. ෆ්ලොරෙන්සාත් ලංකාවට ආවට පස්සෙ දෙන්නම එකතුවෙලා මේ අවන්හල අද තියෙන තත්ත්වයට ගෙනැවිත් තිබෙනවා.
I ධනූ
ඡායාරූප - you’re my favorite