“දයාවේ දෙවඟන” යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙනුයේ තෙරේසා මව්තුමියයි. ඇය යුගෝස්ලාවියානු ජාතික කාන්තාවක වුවත් ඇගේ සේවය සිය මව්බිමට පමණක් සීමා නොවිණ. “දයාවේ දෙවඟනගේ” මෙහෙවර මුළු ලෝකයටම පැතිරිණ. 1937 වර්ෂයේ ඉන්දියාවේ ඇති වූ හින්දු - මුස්ලිම් ගැටුමේ දී හා මහා ඝාතනයෙන් පීඩා විඳි ලක්ෂ සංඛ්‍යාත අසරණ ජනතාවට ඇගේ දයාර්ද්‍රයේ හස්තය දිගු විය. මුඩුක්කු පැල්පත් පිහිටි ප්‍රදේශ සොයා යමින් එහි සිටි ඇටසැකිලි මෙන් වූ දරුවන්ටත්, වැරහැලි ඇඳ සිටි වැඩිහිටියන්ටත් ඇයගේ පිහිට, සරණ ලැබිණ. කල්කටාවේ මහලු නිවාසවල සිටි අයට ඕ උවටැන් කළාය. විශේෂයෙන්ම ඉන්දියාවේ අසරණ දරුවන්ට සෙනෙහසේ උණුසුම ලබා දී ඔවුන් සැපවත් කිරීමට ඇය කළ මෙහෙවර අපමණය. ගිලනුන්ට උවටැන් කොට ඔවුන් සුවපත් කිරීමට ඇය කළ කැපකිරීම් අපමණය.
“දයාවේ දෙවඟන” හෙවත් තෙරේසා මව්තුමිය අපට සිහිපත් වූයේ පනහ දශකයේ මුල් භාගයේ රෝහල් උපස්ථායිකාවක ලෙස සේවයට එක් වූ මාතාවක හා කතා කිරීමෙන් පසුය. ඇය සේවයට එක් වූ කාලයේ අද මෙන් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුවක් නොතිබිණ. රෝහල්වල කාර්ය මණ්ඩලය සම්පූර්ණ නැත. භෞතික සම්පත් සීමිතය. එවැනි පරිසරයක් මත එදා රෝගීන්ට වෙද-හෙදකම් කළ අයුරු දැනගැනීමේ අටියෙන් මම ඇය සමඟ පිළිසඳරක යෙදුණෙමි.
අසූ දෙහැවිරිදි වියේ පසුවන මේ මාතාව නමින් ඒ.එම්.එච්. උක්කු අම්මා නම් වන්නීය. ගල්ගමුව, මහගල්කඩවල පදිංචි වී සිටින්නීය.
“අම්මාගේ පාසල් ජීවිතයෙන්ම අපි කතාව පටන් ගමු නේද” මම ඇයට යෝජනා කළෙමි.
හතරේ පන්තියට යනකම් මං ඉස්කෝලේ ගියේ ගල්ගමුව, බුදුරුවකන්ද පාසලට. ඊළඟට අඹන්පොළ ඉස්කෝලයට ගියා. අද අඹන්පොළ ප්‍රාථමික විද්‍යාලය තියෙන්නේ එදා අඹන්පොළ ඉස්කෝලේ තිබුණ තැන. ප්‍රාරම්භය දක්වා ඉගෙන ගත්තට පස්සේ මට හිතුණා රස්සාවකට යන්ඩ ඕන කියලා. ඒ නිසා කුරැණෑගලට ගිහින් රැකීරක්ෂා කාර්යාලයේ ලියාපදිංචි වුණා.
1953 අවුරුද්දේ මට රෝහල් උපස්ථායිකා පත්වීමක් ලැබුණා. පුහුණුවෙන් පස්සේ ගල්ගමුව රෝහලට මාව දැම්මා. පත්වීම තාවකාලිකව දුන්නේ. දිගටම වැඩ නෑ. මාසයකට දවස් පහළොවක් විතර තමයි වැඩ කරන්න ලැබෙන්නේ. අපි හතර දෙනෙක් ඒ වාගේ තාවකාලික පදනම යටතේ වැඩ කළා.
බබා හම්බවෙන්න ඉස්පිරිතාලෙට එද්දි වට්ටි පැදුරු මලු වියන්න පන් අරන් ආවා
1959 අවුරුද්දේ අපව ස්ථිර කළා. මට මතක හැටියට අපේ වැටුප මාසයකට රුපියල් 300 ක් විතර. ඒත් ඒ පඩියෙන් හැම දෙයක්ම කරගන්න පුළුවන් වුණා. සීනි රාත්තලක් ශත පහළොවයිනේ. අනිත් බඩුත් මිල අඩුයි. පත්වීම ස්ථිර කරලා මාව දැම්මේ පොල්පිතිගම ඉස්පිරිතාලයට. අවුරුදු විස්සක්ම මං පොල්පිතිගම ඉස්පිරිතාලේ වැඩ කළා. ඊට පස්සේ ගිරිබාව ඉස්පිරිතාලයට මාරුවක් ලැබුණා. මට වයස අවුරුදු පනස් පහ සම්පූර්ණ වුණාම මං විශ්‍රාම ගත්තා. ඒ 1990 අවුරුද්දේ.
ඒ කාලේ රෝහල්වල තිබුණ පහසුකම් ගැනත් කතා කරමු.
පහසුකම් නම් ඉතාම සීමිතයි. විදුලියත් නෑනේ. මුල් කාලයේ ලන්තෑරැම් තමයි වාට්ටුවල පත්තු කරලා තිබ්බේ. රාත්‍රී වැඩ මුරයට ඉන්න අය හවස ලන්තෑරැමේ චිමිනිය සෝදල සුද්ධ කරගෙන තෙල් එහෙම දාගෙන තියා ගන්නවා. රෑට ඒවා පත්තු කරනවා. පස්සෙ කාලයේ දී ලයිට් එන්ජින්වලින් විදුලිය දුන්නා.
ඒ කාලේ රෝහල්වලටත් තිබුණේ බාල්දි වැසිකිළි. අද වාගේ දියුණු සනීපාරක්ෂක වැසිකිළි තිබුණේ නෑ. වැසිකිළි කටට යටින් බාල්දියක් තියෙනවා. ඒ බාල්දිය පිටට ගන්න, ඇතුළට දාන්න වෙනමම කවුළුවක් තියෙනවා. මේ බාල්දි වැසිකිළි අදින්න වෙනම කම්කරුවන් ඉන්නවා. ඒ අය මළ සහිත බාල්දිය ඉවතට අරන් ඒ මළද්‍රව්‍ය වෙන භාජනයකට දාලා වැසිකිළි බාල්දිය සෝදා නැවත කවුළුවෙන් ඇතුළු කරලා සකස් කරනවා. මට මතක හැටියට 1970 න් විතර පස්සේ තමයි මෙහේ ඉස්පිරිතාලවලට පෝච්චි වැසිකිළි ඉදිකරන්න පටන් ගත්තේ.
එදා නීතියක් තිබුණා රෝහලක වැඩ කරන අය ඒ රෝහලට සැතැපුම් තුනක් ඇතුළත පදිංචි වී හෝ නතර වී සිටින්න ඕන කියලා. මොකද, කලට වෙලාවට සේවයට එන්න ඕන නිසා. අද වාගේ ගමනාගමන පහසුකම් එදා නෑනේ. නිල නිවාසත් එදා අපට නෑනේ. ඒ නිසා අපි පොල්පිතිගම ඉස්පිරිතාලෙට අල්ලපු වැටේ ඉඩමක් සල්ලිවලට අරන් ගෙයක් හදා ගත්තා. මගේ පුතාලා තුන් දෙනාම ලැබුණේ පොල්පිතිගම ඉස්පිරිතාලේ වැඩ කරපු කාලයේ. එහෙන් ආවාට පස්සේ ඒ ඉඩම් අඩු මුදලකට විකුණලා දැම්මා.
මම ගල්ගමුව ඉස්පිරිතාලයේ වැඩ කරන කාලයේ ඒකේ තිබ්බේ වාට්ටු දෙකයි. පිරිමි වාට්ටුවයි, ගෑනු වාට්ටුවයි. බබාලා හම්බවෙන්ඩ අම්මලා ආපුහාම ගෑනු වාට්ටුවට දානවා. ලෙඩ්ඩු වැඩි වුණාම රූට නිදාගන්නේ ඉස්තෝප්පුවල. ඉඩ පහසුකම් ඒ තරම් හිඟයි.
ඒ කාලේ ඉස්පිරිතාලවල කාර්ය මණ්ඩලය හිඟයි. කොහේ හරි රෝහලක සේවකයෙක් නිවාඩු ගියොත් අපිව ඒ රෝහලට රිලීප් දානවා. මමත් නිකවැව, මහමුකලන්යාය, මුරුතැන්ගේ, නක්කාවත්ත, නාරම්මල ඉස්පිරිතාලවලට එහෙම රිලීප් ගිහින් තියෙනවා. මං අවුරුදු තිහක් විතර රස්සාව කළා. මේ මුළු කාලය තුළම නර්ස්ලා හිටපු රෝහලක මං වැඩ කරලා නෑ. ඒ තරමට නර්ස්ලා එදා නෑ. නර්ස්ලා කරන්න ඕන කාර්ය කළෙත් අපි.
දොස්තර මහත්තයා ටිකට් එක ලීවාට පස්සේ අපි තමයි බේත් දෙන්නේ. තුවාලවලට බේත් දාන්නේ ඔය හැම දෙයක්ම කළේ අපි. මගේ මුළු සේවා ජීවිතයේම නර්ස්ලා සමඟ වැඩ කරලා නෑ කීවාට විශ්වාස කරන්නත් බෑ නේද? ඒක තමයි ඇත්ත. අනික මිඩ්වයිෆ්ලා නැති දාට බබාලා හම්බවෙන අම්මලා වින්නඹුකම් කළෙත් අපි. ඇහැටුවැව ඉස්පිරිතාලයට රිලීප් දාපු කාලයේ මං වින්නඹු වැඩෙත් කළා. ගිරිබාවේ ඉද්දීත් කළා. බබාලා හම්බවෙන්ඩ අම්මලාට වින්නඹුකම් කළාම ඒ අය ටිකට් කපාගෙන යන දවසට චීත්ත රෙදි කෑල්ලක්, හැට්ට රෙදි කෑල්ලක් අපට තෑගි කරලා යනවා. ඒක ගම්වල තිබුණ සිරිතක්. පගාවක්, අල්ලසක් දීමක් නෙමෙයි.
අම්මගේ රාජකාරි ජීවිතයේ හා පෞද්ගලික ජීවිතයේ අමතක නොවන සිදුවීම් එහෙමත් ඇතිනේ. ඒ ගැනත් මතක් කරමු.
මේ සිද්ධිය වුණේ මං ගල්ගමුව ඉස්පිරිතාලේ වැඩ කරන කාලේ. ගල්ගමුව නඩුකාර මහත්තයාගේ නෝනාට බඩඑළිය යන්නේ නෑ කියලා ඒකට ප්‍රතිකාරයක් කරන්න කියලා අපේ දොස්තර මහත්තයාට පණිවිඩයක් එවලා තියෙනවා. දොස්තර මහත්තයා ඇවිත් මට කීවා, නඩුකාර මහත්තයාගේ බංගලාවට ගිහින් බෙහෙත් කරන්න කියලා. නඩුකාර මහත්තයා කාර් එකක් එවලා තිබුණා. බංගලාවේ වැඩට හිටපු කෙල්ලක් එවලා තිබුණා.
මං ඒ කාර් එකෙන් බංගලාවට ගියා. වැඩට හිටපු කෙල්ල වතුර එහෙමත් උණු කරලා දුන්නා. මං යනකොට සිරින්ජරයක් අරන් ගියේ. මං ඒ නෝනාට වස්තියක් දුන්නා. බේත් කරලා ඉවර වුණාට පස්සේ නඩුකාර මහත්තයා මට රුපියල් පහක් තෑගි දුන්නා. මාව කාරයෙන්ම ආපහු ඉස්පිරිතාලයට ගෙනත් දැම්මා.
මට මතක හැටියට එකදාස් නවසිය හැට ගණන්වල සිංහල-දෙමළ කෝලහලයක් ආවා. එතකොට අපි හිටියේ පොල්පිතිගම ඉස්පිරිතාලේ. දොස්තර මහත්තුරු තුන් දෙනාම දෙමළ අය. දෙවැනි මහත්තයාගේ බංගලාවේ වැඩට ගෑනු ළමයෙක් ගෙනත් හිටියා. කෝලහලය පොල්පිතිගමටත් පැතිරිලා ආවා. ඉස්පිරිතාලයට කෑම දෙන කොන්ත්‍රාත්කරුගේ කඩේටත් ගහනවා අපි දැක්කා.
අපි වැඩකළ ඉස්පිරිතාලවල ඒකාලේ නර්ස්ලා නෑ
කට්ටිය ඉස්පිරිතාලයටත් එයි කියන සැකේට අපි දොස්තර මහත්තුරු තුන් දෙනා හැංගුවා. මහත්තුරුන්ගේ ඇඳුම් පැළඳුම් දාලා තිබුණු පෙට්ටි අරන් ගිහින් හැංගුවා. මං දෙවැනි මහත්තයාගේ බංගලාවට ගියා, අර දෙමළ ළමයාව එක්ක එන්න. කෙල්ල කුස්සියේ. මං ළමයාට කතා කළා. කෙල්ල කියනවා, පුට්ටු පුට්ටු... කියලා. මං කිව්වා, ඔය ඕන නැති පුට්ටුවක් වැඩක් නෑ, මෙහෙ වරෙන් යන්න කියලා. කෙල්ල ඇදගෙන ඉස්පිරිතාලෙට ගෙනත් ලේබර් රූම් (ප්‍රසූතිකාගාරයේ) හැංගුවා. මේ ළමයා “පුට්ටු... පුට්ටු” කීවේ ඒ වෙලාවේ පිට්ටුවක් ළිපේ තියලා තමයි ඉඳලා තියෙන්නේ. කොහොම හරි දොස්තර මහත්තුරු හොයන්න කට්ටිය ආවා. ඒත් අපි ඒ වෙනකොටත් ඒ අය හංගලා ඉවරයි.
පොල්පිතිගම ඉස්පිරිතාලෙට බුදු මැඳුරක් තිබුණේ නෑ. පස්සේ රෝහලේ වැඩ කරපු කට්ටිය එකතු වෙලා ප්‍රසංගයක් පවත්වලා මුදල් හොයලා බුදු මැඳුරක් හැදුවා. මේකට අර දෙමළ දොස්තර මහත්වරුත් හරියට මහන්සි වුණා. ටිකට් පවා විකුණන්න ආවා.
ඒ කාලේ බබාලා හම්බවෙන්ඩ ඉන්න අම්මලා ඉස්පිරිතාලයට එන්නේ පන් වර්ග, සායම් වර්ග එහෙමත් අරන්. ඇයි ඉතින් බබා ලැබෙන්ඩ මාසේ හමාරේ ඉස්පිරිතාලවල ඉන්නවානේ. සමහරු බබා ලැබෙන්ඩ කල් යනකොට ටිකට් කපාගෙන ගෙදර යනවා. ඒ ගිහින් ආයිත් එනවා. ඔය බබාලා හම්බවෙන්ඩ එන අම්මලා තමයි පන්නම් කරන්ඩ පන් වර්ග ගේන්නේ. වට්ටි, පැදුරු, මලු වාගේ දේවල් වියනවා. දවල්, රෑ දෙකේම ඒගොල්ලෝ පන්නම් කරනවා. බබා ලැබිලා යනකොට ඒ වියපු පැදුරක්, මල්ලක් අපටත් දීලා යනවා.
ඒ කාලේ සිරිතක් තිබුණා, ලෙඩ්ඩු බලන්න එන අය අපටත් කෑම බීම හදාගෙන ඒම. කුරක්කන් කපන කාලයට කුරහන් පිටි ගෙනත් දෙනවා. කුඹුරු කැපෙන කාලයට අලුත් බත් කන්ඩ කියලා කැකුළු හාල් ටිකක් ගෙනත් දෙනවා. ගම්වල අයගේ ඒ වාගේ සිරිත් තිබුණා. ලෙඩ්ඩුයි, අපියි සුහදව හිටියා. ඒ වාගේම පංච දැමීම වාගේ දේවලුත් අපි කළා. හරිම විනෝදයෙන් තමයි රස්සාව කළේ.
හැබැයි ගිරිබාව ඉස්පිරිතාලේ වැඩ කරද්දි මං ලැබුවේ මීට වඩා ගොඩාක් වෙනස් අත්දැකීම්. ඒ ඉස්පිරිතාලේ ඉද්දි මහ පුදුම වගේම හිරිකිත හිතෙන දේවල් දකින්න ලැබුණා. බේබි රූම් එකේ එක ඇඳක අම්මට බබා හම්බවෙලා ඉන්නවා. අනික් ඇඳේ දුවට බබා ලැබිලා ඉන්නවා. එහේ ගෑනු දරුවෝ අඩු වයසින් විවාහ වෙනවා.
තාත්තලාට දාව දුවලට දරුවෝ ලැබෙනවා. අම්මත් දුව බලන්ඩ ඉස්පිරිතාලයට එනවා. තාත්තා තමයි උප්පැන්නය දෙන්න එන්නේ. ඒ වාගේ සිද්ධි නම් ගිරිබාවේ එදා කෙළවරක් නැතිව වුණා. හරි හිරිකිතයි.
හැබැයි ගිරිබාවේ ස්ටාෆ් එකේ අපි හරි සමගියෙන් වැඩ කළා. උදේ හයට ඩියුටියට මට යන්ඩ පරක්කු වුණොත් නයිට් එක කරපු එක්කෙනා මං එනකම් ඉන්නවා. මාත් එහෙමයි. ඒ අයට වේලාසනින් ගෙදර යන්ඩ ඕන වුණාම මං කලින් යනවා.
(ඉතිරිය ඊළඟ සතියට)
සටහන/ සේයාරූ - ගල්ගමුව නිහාල් ජයවීර