මෙම ගෙන්දගම් පොළොවේ ඕනෑම දහජරාවක් විකුණා එය මුදල් බවට පත්කර ගන්නා බොහෝ පිරිස් ඇත. දුප්පත් පෝසත් බේදයකින් තොරව කොළඹට පැමිණෙනා ජනතාවට කොළඹ කාක්කන්ගෙන් බේරීමක් නොමැති වන්නේ එබැවිනි. දිනපතා කොළඹට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ පිපාසය සංසිඳුවාලන කූල් ස්පොට්, ජූස් බාර්, මෙන්ම මහාමාර්ගය දෙපස තිබෙන ජංගම බීම වෙළඳසල්ද බොහෝමයක් අපට දැකගත හැකිය.
දුරබැහැර සිට කොළඹට පැමිණෙන බොහෝ පිරිස් තමන්ගේ පිපාසය සංසිඳවා ගැනීමට මෙවැනි වෙළෙඳසැලක් තුළට ගොඩනැගුණද ඇතැමුන් ඒ දෙසවත් නොබලා යන්නේ කොළඹින් බිව්වොත් බඩේ අමාරුව හැදෙනවා යන මතය කරපින්නා ගෙනය.
පිටකොටුව සහ අවට තිබෙනා මෙම වෙළෙඳසල් තුළ තිබී නරක්වූ පළතුරු මෙන්ම භාවිතයට නුසුදුසු අයිස් හමුවූ අවස්ථාද බොහෝමයක් ඇත. ඇතැම් පාරිභෝගික ජනතාව පවසන්නේ විවිධ නම්වලින් මෙම වෙළෙඳ සල් තුළ අලෙවි කරන පළතුරු බීම කිසිම ප්‍රමිතියකින් තොරව හදන ඒවා බවයි. ඒවාගේ සැබෑ ප්‍රමිතිය මැන බැලීමට අපි සවාරියක යෙදුණෙමු.
කොළඹ නගරයේ සහ ඒ අවට මෙලෙස ජනතාවට විකුණන පළතුරු බීම (නැවුම් පළතුරු බීම) සහ සරුවත් වර්ග හදන ආකාරය ගැන සොයාබැලීමට අප සවාරිය ඇරැඹුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටිනි. අප ගමන්ගත් මාර්ගය දෙපස කූල් ස්පොට් යනුවෙන් නම ගසාගත් වෙළෙඳසල් මෙන්ම පදික වේදිකාව මත එසැණින් හදා දෙන ජංගම බීම අලෙවිසල්ද බොහෝමයක් විය.
මෙසේ කූල් ස්පොට් යනුවෙන් බෝඩ් ලෑලි ගසා තිබුණු වෙළෙඳසල් තුළ මෙන්ම ජංගම බීම වෙළෙඳසල් අසළද බොහෝ පිරිස් රැඳී සිටින ආකාරයක් අපට පෙනිණි. ගුණසිංහපුර බස් නැවතුම්පොළ ආසන්නයේ තිබූ කූල් ස්පොට් එකකට අප ඇතුළුවූයේ තොරතුරක් සොයාගැනීමේ අටියෙන් වුවද එහි ගිය අපගේ බලාපොරොත්තු කඩවූයේ ඇතුළුවීම සේවකයන්ට පමණයි යනුවෙන් ගසා තිබූ දැන්වීම් පුවරැව දුටු විටදීය.
එමෙන්ම එහි මිල දර්ශකයේ විවිධ පළතුරු බීම වර්ගවල මිල සඳහන් කර තිබූ අතර එහි සාමාන්‍ය ජනතාවට පහසුවෙන් ගෙවිය නොහැකි මිල ගණන් සඳහන් කර තිබිණි. දෛනිකව එදාවේල සරිකර ගන්නා මිනිසුන්ට එම ස්ථානයට ගොඩවැදීමට පවා අපහසුය. ඒ තරමටම එහි මිල අධිකය.
මෙවැනි වෙළෙඳසල් තුළද ලොකුවට බෝඩ් ලෑලි ගසා තිබුණද ඔවුන් එම පළතුරු බීම හදන ආකාරය එහි ගොඩවදින පාරිභෝගිකයන්ට දැකබලා ගැනීමට හැකියාවක් නැත. ඔවුන් කුමන පානයක් සාදා දුන්නද එය පානය කර බිල ගෙවිය යුතුය.
ජංගම බීම වෙළෙඳසල් තුළද මෙම තත්ත්වයේ වෙනසක් නැත. ඇඹුල් දොඩම්, පැණි දොඩම්, නාරං, පැෂන්, ෆලූඩා, සරුවත් ඕනෑම කූල් බීම වීදුරුවක් රුපියල් 30ක් යනුවෙන් මේවායේ බෝඩ් ලෑලිවල ලොකු අකුරින් ගසා ඇත. එකම පළතුරු වර්ගයකින් බීම වර්ග රැසක්ම සෑදීමට මොවුන් උපන් හපන්නුය. මේ කිසිම තැනක බෝඩ් ලෑල්ලේ ඇති පළතුරු එළියේ දකින්නට නොතිබිණි. එමෙන්ම ඇතැම් බීමහල්වල ඒවා සෑදීමේ කිසිදු ප්‍රමිතියක් නැත. ඒ සඳහා යොදාගන්නා අයිස් මෙන්ම අයිස් බහාලන පෙට්ටිද අපිරිසිදුය.
කොටුව, පිටකොටුව ප්‍රදේශ සඳහා මෙම පළතුරු බීම නිසි ප්‍රමිතියෙන් තොර බව කීමට අටුවාටීකා අවශ්‍ය නැත. ජංගම බීම වෙළෙඳසලක් අසලට මෙන්ම ජූස් බාර් එකක් ඇතුළට ගියවිට කෙනෙකුට මේ බව දැකගත හැකිය.
කොටුව සහ අවට එවලේම සාදාදෙනු ලබන මෙම පළතුරු බීම සහ සරුවත් ඇතුළු අනෙකුත් නිෂ්පාදන ගැන අපට මුණ ගැසුණු කිහිප දෙනෙක් මෙලෙස අදහස් පළ කළහ.
පී.එම්. සන්ධ්‍යා කුමුදුනී - නිට්ටඹුව
මම රැකියාව කරන්නේ කොළඹ නගරයේ පෞද්ගලික ස්ථානයක. කොටුවේ විතරක් නෙවෙයි හැමතැනම මේ වගේ ක්ෂණිකව හදලා දෙන පළතුරු බීම තියෙනවා. මම නම් කවදාවත් ඒවා බීලා නැහැ. බොන්නෙත් නැහැ. ඒ සමහර බීම හදන අය ඒවා හදන්නම් වාලේ හදන්නේ. අත්වල ග්ලවුස් දෙකක්වත් දාන්නේ නැහැ. වීදුරු හරියට හෝදන්නෙත් නැහැ. කොච්චර තිබහ ආවත් අහම්බෙන්ම තමයි මම කොළඹින් වතුර එකක් හරි ගන්නේ. මොකද මෙහේ විකුණන බෝතල් වතුරත් හරි නෑ.
පී.එච්. ප්‍රේමසිරි - මාතර
මම නම් මේ අද අහම්බෙන් කොළඹ ආවේ වැඩකට. මම කවදාවත් කොහොමත් බීම වර්ග බොන්නේ නැහැ. අපි අනන්තවත් දන්නවා මේ අය බීම හදන හැටි. ඔය බීම හදන කට්ටිය කරන්නේ තනිකර බොරුවක්. ඇඹුල් දොඩම්, පැණිදොඩම් කියලා දෙන්නේ සිදරං කියන ජාතිය. මොකද මේ අයට මේ බඩු දෙන අය අපේ ගම්වලට ඇවිල්ලා තමයි මේවා අරන් යන්නේ.
ජයසිංහ - පානදුර
මම එක දවසක් පාරේ තියෙන ඒවාගෙන් නෙවෙයි ඔය කඩේකට ගිය වෙලාවේ අලිගැට පේර එකක් බිව්වා. එක අලිගැටපේර ගෙඩියයි රුපියල් 250ක් ගත්තා. එදායින් පස්සේ මම කවදාවත් ඔය බීම බොන්නේ නැහැ.
මොවුන් කියන කතාව සැබෑය.
මිනිස් ශරීරයට හිතකරද, අහිතකරද යනුවෙන් බීම හදන අයට ප්‍රශ්නයක් නොමැත. ඔවුනට අවශ්‍ය වන්නේ කිනම් හෝ බීමත් පොවා සල්ලි ඉපයීම පමණි.
අපි පාරිභෝගික සේවා අධිකාරියේ වැටලීම් අංශය මෙවැනි තොරතුරු ලැබුණු වහාම පිටත්ව ගිහින් වැරදිකරුවන් නීතියේ රැහැනට අසුකරගෙන නඩු පවරනවා. ඒ වගේම කොටුව සහ අවට ජංගම බීම වෙළෙඳසල් තුළ මෙන්ම ඇතැම් පළතුරු බීම වෙළෙඳසල් තුළ තිබී අපිට නරක් වූ පළතුරු, භාවිතයට නුසුදුසු අයිස් තිබිලා අසුවෙලා තිබෙනවා. ඒ අයටත් අපි නීතිමය පියවර ගත්තා. අපි ජනතාවට දැනුත් කියන්නේ මින් ඉදිරියටත් එවැනි ස්ථාන පිළිබඳ දැනගත් වහාම 1977 අපේ ක්ෂණික ඇමතුම් අංශයට දැනුම් දෙන්න කියලයි.
► හසිත් අංජන