2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

ඇමැති අඳුනන කලාකාරයින්ගේ කල්ල මරේ!

 2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 278

- ජනක් ප්‍රේමලාල්

ජනක් ප්‍රේමලාල් ප්‍රවීණ සම්මානනීය නාට්‍ය අධ්‍යක්ෂවරයෙකි. ඔහු ටෙලිනාට්‍ය රාශියකට සිය රංගන දායකත්වය ලබා දී ඇත. වර්තමාන නාට්‍ය කලාව ගැන ජනක් දේශය සමඟ අදහස් බෙදාගත්තේ මෙලෙසිනි.

ඔබගේ අබුද්දස්ස කෝලම සහ රාජකපුරු යන නාට්‍ය දශක ගණනාවක සිට අප රටේ ජනප්‍රියයි. අද බිහිවන නාට්‍ය හා සසඳන විට ඒකට හේතුව ඔබ දකින්නේ කෙසේද?

අබුද්දස්ස කෝලම 1984 තමයි වේදිකාගත කළේ. දර්ශන වාර 2000 ක් පමණ පෙන්වා තිබෙනවා. රාජකපුරැ නාට්‍යය 1988 ඉඳන් අද දක්වා පෙන්වනවා. මේ නාට්‍යවල තිබෙන සර්වකාලීන ගුණය නිසා එහෙම වෙනවා ඇති. යම් යම් දේශපාලන තේමා සහිතව එන නාට්‍ය සමහර දේශපාලනඥයන්ගේ කාලවලට පමණයි ගැලපෙන්නේ. ඊට පසු වලංගුතාවයක් නැතිව යනවා.

රාජකපුරු නාට්‍යයෙන් පැවසෙන්නේ බලය දෙන්නෙත් එය නැවත ගන්නෙත් ජනතාව කියන කාරණයයි. ලෝකයේ අතීතයේ පටන්ම බිහි වූ රාජ්‍ය පාලකයන්ගේ සියලු ලක්ෂණ මේ නාට්‍යයේ කියැවෙන පාලකයා තුළ පවතිනවා. ඒක අද බිහි වී සිටින පාලකයන්ට වගේම අනාගතයේ බිහිවීමට සිටින පාලකයන්ටත් පොදුයි.

අබුද්දස්ස කෝලම නාට්‍යය පවසන්නේ ආගම වාණිජකරණය වීමක් ගැන නේද?

ඔව්. බුදු දහම වුණත් අද කෙතරම් වැරදි විදිහට පාවිච්චි කරනවද? ප්‍රතිපත්ති පූජාව සහ ආමිස පූජාව කියලා දෙකක් තිබෙනවනේ. අද වැඩි තැනක් ලැබෙන්නේ ආමිස පූජාවට. ආගම වෙළෙඳ භාණ්ඩයක් වෙලා. අද වන විට ඒ අවදානම අද අතිශය බරපතළ වෙලා. බුද්ධාගම විකෘති කිරීමට ඉන්ටර්නෙට්, ෆේස්බුක් වගේ අලුත් තාක්ෂණික මාධ්‍ය පවා උපයෝගී කරගෙන තිබෙනවා. ඒ හරහා මහා වෙළෙඳ ජාලයක් බිහිවෙලා. 

මේ නාට්‍යවල පිටපත්වල උසස් ජීව ගුණයක් රැඳී තිබෙනවා. අද බොහෝ ප්‍රහසනාත්මක නාට්‍ය පිටපත්වල ගන්න දෙයක් නැහැ නේද?

මේ නාට්‍ය දෙකේම පිටපත් ලිව්වේ මගේ තාත්තා. සිරිසේන ප්‍රේමලාල් මහතායි. අද ඇත්තටම පිටපත් නිර්මාණය කරන්නේ පොදු ප්‍රේක්ෂක රසවින්දනය සඳහා නොවෙයි. විකිණීම සඳහායි. අද බොහෝ සිංහල වේදිකා නාට්‍ය මැදපෙරදිග, ඔස්ට්‍රේලියාව වගේ රටවල රැකියා කරන සිංහල ජනතාවට පෙන්වීමට රැගෙන යනවා. ඒ රටවල්වලින් ඉල්ලන්නේ රඟපාන නළු නිළියන් සංඛ්‍යාව 5 - 6කට සීමා වූ නාට්‍යයක්. ඒකට ගැලපෙන විදිහට සීමිත චරිතවලින් යුත් නාට්‍ය තමයි ලියන්නේ. නාට්‍ය කලාවේ මහා සම්ප්‍රදායන් අමතක කරනවා. චූල සම්ප්‍රදායට තමයි මේ නාට්‍ය හදන්නේ.

ඒවාට නාට්‍ය කියලා කියන්න පුළුවන්ද?

බැහැ. ඒවා නාට්‍ය නොවෙයි. විකට ජවනිකා. පිටපත්වල ගුණාත්මකභාවය පහළට බැහැලා.

අපට පේනවා වත්මන් ප්‍රහසන රැල්ලේ බොහෝ නාට්‍යවල තිබෙන්නේ කුණුහරුප දෙබස්.

ඔව්. කුණුහරුප විතරක් නොවෙයි, ඊයේ රූපවාහිනී ප්‍රවෘත්තිවලට ගිය ඒවාත් අද පෙන්වන නාට්‍යයෙන් කියනවා. ප්‍රේක්ෂකයන්ගේ මනෝභාවයන් නාට්‍ය කලාවෙන් සමනය විය යුතුයි. නමුත් අද තිබෙන්නේ භාවයන් ප්‍රකෝප කරන කලාවක්. ශෘංගාරය වැරදි විදිහට පාවිච්චි කරනවා. නාට්‍ය කලාවේ මූලික රීතීන් උල්ලංඝනය කරනවා. නාට්‍යය සජීවී කලාවක්. නමුත් බොහෝ නාට්‍යවල සංගීතය පටිගත කර වාදනය කරනවා. ඒක වැරදියි.

අද බොහෝ නාට්‍යකරුවන් ප්‍රේක්ෂකයන් ගොනාට අන්දවනවා නේද?

ඔව්. නාට්‍යය ප්‍රේක්ෂකයන් අතරට ගෙන යාමට රූපවාහිනියේ ජනප්‍රිය රංගන ශිල්පීන් ශිල්පිනියන් අරගන්නවා. ඔවුන්ගේ පින්තූර දාලා පෝස්ටර්, දැන්වීම් පළ කරනවා. එවිට ප්‍රේක්ෂකයන් හිතනවා මේ රංගන ශිල්පීන් රඟපාන නිසා හොඳ නාට්‍යයක් කියලා. නමුත් නැරඹුවාට පසු තමයි නාට්‍යයේ හැටි පේන්නේ. ඊට පසු බැණ බැණ යනවා.

අද නාට්‍ය රංගගත කිරීමට තිබෙන රඟහල් දුර්වල බවට චෝදනාවක් තිබෙනවා.

ඒක සම්පූර්ණ සත්‍යයක්. දුර බැහැර පළාත්වල නාට්‍ය පෙන්වන්නේ රංග ශාලාවල නොවේ. නගර සභා ශාලා, ප්‍රජා ශාලා වගේ ඒවායේ. ඒවායේ කිසිම ප්‍රමිතියක් නැහැ. වාතාශ්‍රයක් නැහැ. වේදිකාව, ගැලපෙන්නෙ නැහැ. නළු නිළියන්ගෙ හඬ පසුපසට ඇහෙන්නෙ නැහැ. වේදිකාව පසුපසට පේන්නෙත් නැහැ. විදුලි පංකාවල හඬ නිසා දෙබස් ඇහෙන්නෙ නැහැ. මේ නිසා නාට්‍යයේ ගුණාත්මකභාවය බිංදුවට බහිනවා. ඉතින් රසවිඳින්නේ කොහොමද? මේ නිසා ප්‍රේක්ෂකයන්ට නාට්‍ය නැරඹීම එපා වෙනවා.

වත්මන් රජය බලයට පත්වුණේ කලාවට සේවයක් කරන බව පවසමින් නේද?

ඒක ඇත්ත. හැබැයි රජය කළේ කලාකරුවන්ගෙන් බදු අයකිරීම පමණයි. වෙනත් සේවයක් කරලා නැහැ. නාට්‍යයක් ආරම්භ කර අවුරුද්දක් පමණ යනතෙක් වේදිකා නාට්‍යවලින් බදු අය කළේ නැහැ. එයට වැය වූ විශාල නිෂ්පාදන වියදම සොයා ගැනීමට උපකාරයක් වශයෙන්. නමුත් මේ ආණ්ඩුව ඒ බදු සහනය සම්පූර්ණයෙන් අහෝසි කළා.

කලා කටයුතු ගැන සොයා බැලීමට තිබෙන සංස්කෘතික අමාත්‍යංශයෙන් නාට්‍ය කලාවට සහයෝගයක් ලැබෙන්නෙ නැද්ද?

අමාත්‍යංශයෙන් කරන්නෙ කලාකරුවෝ මැරුණට පස්සේ මල් වඩමක් එහෙම ගෙනත් තැබීමයි. වියපත් කලාකරුවන්ට කීයක් හරි ගෙනිහින් දෙනවා. නිශ්චිත වැඩ පිළිවෙළක් නැහැ. විවිධ ඇමැතිවරු තමන්ට හිතවත් කලාකරුවන්ට උපකාර කරනවා. එපමණයි.

නාට්‍ය කලාවට ආදරය කරන තරුණ පරපුරක් අපට ඉන්නවා නේද?

ඔව්. හැමදාම තරුණයන් තමයි නාට්‍ය කලාවේ අලුත් දේවල් කළේ. 1970 දශකයේ තරැණයන් ලෙස සිටි දයානන්ද ගුණවර්ධන, ජයලත් මනෝරත්න, සුගතපාල ද සිල්වා, ධර්මසිරි බණ්ඩාරනායක, හේමසිරි ලියනගේ වගේ අය නාට්‍ය කලාව ඉදිරියට අරන් ආවා. නමුත් අද ඔවුන්ගෙන් වැඩි දෙනෙක් නාට්‍ය කලාවෙන් ඈත්වෙලා ඉන්නේ.

අදත් අපට පේනවා රාජිත දිසානායක, ඉන්දික ෆර්ඩිනැන්ඩු, ප්‍රියංකර රත්නායක වැනි අලුත් පරපුරේ පිරිසක් නාට්‍ය කලාවේ පර්යේෂණවල නිරත වෙනවා. ඒ වගේම නාට්‍ය හා රංග කලාව ඉගෙන ගන්නා විශ්වවිද්‍යාල සිසුනුත් පර්යේෂණාත්මක නාට්‍ය කරන බව පේනවා. ඔවුන් ඉදිරියට ඒමට ඇති අවස්ථා අඩුයි.

කුසුම්සිරි

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00