2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

කිඹුලට කෑම දුන්න සීයා

 2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 110

මේ දිනවල කහ ඉරි සුදු කිරීමෙහි යෙදී සිටින තේගිරිස් බාසුන්නැහේ, පසුගිය දිනෙක අපේ ගේට්ටුව අසල දී මුණගැසුණි.

“මහත්තයට ආරංචි ද, අපේ ප්‍රා සභාපතිතුමා මෙදා පාර ලෝක වැඩිහිටි දිනයයි, ළමා දිනයයි එකම වේදිකාවෙ දි සැමරුවනෙ.”

“එහෙම කොහොමද... වැඩිහිටියොයි, ළමයිනුයි කියන්නෙ කොටස් දෙකක්නෙ. පරමාර්ථත් දෙකක්. එකම උත්සවයක පුළුවනෑ ඔය දෙකම සමරන්න.”

“ඒ වුණාට වැඩේ එහෙමයි සිද්ධ වුණෙ.”

“සභාපතිකාරයට මොකක් හරි පටලැවිල්ලක් වෙන්නැති. පුදුමයි ඕකට ලෝක කාන්තා දිනයත් දාගත්තෙ නැතුව.”

“සභාපතිතුමා වැස්සකටවත් ඉස්කෝලෙට ගොඩ නොවුණට, හොඳ මොළකාරයා. එයා නියම විසහරණයක් දුන්නනෙ වැඩිහිටියා ගැන.”

“ඒ මොකක්ද?”

“මහලු වියට කියන්නෙ දෙවැනි ළමාවිය කියලලු.”

“ඔව්. ඉංග්‍රීසියෙන් කියන්නෙ සෙකන්ඩ් චයිල්ඩ්හුඩ් කියලා.”

“අන්න ඒකනෙ. ඉතින් සභාපතිතුමා කියනව වැඩිහිටියො කියන්නෙත් ළමයි නං, උත්සව දෙකම එකට ගත්තම මොකද කියලා.”

තේගිරිස් සිනාසුණේය.

“ඒකෙත් ඇත්තක් නැත්තෙම නෑ තේගිරිස්. ඒගොල්ලො සුදු පොරවගෙන ගිහින්, අර සභාවලයි, මේ සභාවලයි කෙළින පිස්සු දැක්කම, වැඩිහිටියොත් බාලයො කියල කෙනකුට තර්ක කරන්ඩ පුළුවන්. ලබන සැරේ මානසික සෞඛ්‍ය දිනයත් අර දෙකට එකතු කර ගත්තොත් මරු!”

“අන්න ඒකනෙ මං කිව්වෙ. සභාපතිතුමා මාර මොළකාරයා.”

තේගිරිස් ජයග්‍රාහී සිනාවක් පාමින්, නික්ම ගියේය.

නිර්ධන පන්තිකයන් සහජයෙන්ම බුද්ධිමත් යැයි ලෙනින් ද කියා ඇති බව මට සිහිපත් වුණි. “මන්ද ලෙනින් පිටවෙලා ගියේ” යැයි, ශෝක ගීතයක් ගැයීමට ස්ටාලින්ට ද සිදු වූයේ, ලෙනින්ගේ අභාවය පිරිමැසිය නොහැකි පාඩුවක් වූ බැවිනි. අකෘතඥ රුසියානුවන්ට ඒ බව අමතක වුවද, ශ්‍රී ලාංකිකයන් එසේ නොවන බව ලොවට පෙන්වමින්, එදා ස්ටැලින් ගැයූ ඒ ගී පද, අපේ වේරලියද්දයන් ද යළි ගායනා කළේය.

ස්ටැලින්ගේ හඬ ද ඔහුගේ බුරුස් උඩු රැවුල වාගේමය. රජරට කොල්ලකු වන වේරලියද්දට, මිහිරි, උස් හඬින් රැසියාවට ඇහෙන්නට ගායනා කළ හැකිය. එහෙයින් ඔහු ස්ටැලින්ට වඩා සාර්ථක වූ බව පුටින් පවා පිළිගනී.

විශ්‍රාම ගිය පසු ද, අවලංගු කාසි බවට පත් නොවී වැඩ කිරීමට පෙළඹීම වැඩිහිටියන් සතු හොඳ ගුණාංගයකි. එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් කොෆි අන්නන්, අමෙරිකානු හිටපු ජනාධිපති ජිමී කාටර් සහ තවත් කීප දෙනෙක් එක්ව “ද එල්ඩර්ස්” නමින් කුඩා සංවිධානයක් පිහිටුවා ගත්තේ ලෝක නායකයන්ට උපදෙස් දෙනු පිණිසය. ඔවුහු මුලින්ම හමු වූයේ රුසියාවේ පුටින්වය. සිදුවන්නට ඇත්තේ පුටින් ලොක්කා, පැමිණි ලොක්කන්ට උපදෙස් දීමය. පුටින් යනු, දෙයියන්නාන්සේටවත් හිස නොනමන ජාතියේ වැඩිහිටියෙකි.

“අද ළමයා හෙට වැඩිහිටියාය” යනු ප්‍රකට කියමනකි. හිටපු ජනාධිපති තාත්තා, යන යන තැනදී පොඩ්ඩන්ගේ හිස අතගෑවේත්, ඔවුන් වඩාගත්තේත් එහෙයිනි. අද ළමයා, හෙට ඡන්ද දායකයා බව එතුමාට කල්පනා වුණාට සැක නැත. ළමයින් කෙසේ වෙතත්, වැඩිහිටියන්ට ද ජනාධිපතිවරැන් සමඟ ඔළුව බේරාගෙන කටයුතු කිරීම අපහසු කාරියක් බව, හිටපු ජනාධිපති ලේකම්වරු පවා දැන් කල්පනා කරනවා විය හැකිය.

වියපත් වීම යනු සංකල්පයක් පමණකැයි ද ඉලක්කම්වලට බිය විය යුතු නැතැයි ද ධනාත්මක චින්තනවාදී වැඩිහිටියෝ පවසති. ඒ සියල්ලම කලින් කෙනකු තමන් වියපත් යැයි අවබෝධ කර ගන්නේ කෙසේදැයි විනිශ්චය කර ගැනීම වැදගත්ය. සමහරු, තමන් වියපත් යැයි පිළිගැනීමට අකමැති වෙති.

මීට කලකට ඉහත, රජයේ ආයතනයක දී මගේ පැරණි මිතුරකු මුණගැසුණි. ඔහු වියතකු වශයෙන් නමක් දිනා සිටි කෙනෙකි. ඊටම ගැලපෙන අයුරින් ඔහුගේ හිස කෙස් සුදු පැහැ ගැන්වෙමින් තිබුණි. එ දුටු මම, මගේ පැරණි මිතුරාට පොඩි සරදමක් කරනු පිණිස, “ඔයා දැන් නාකිවෙලා නේදැ”යි ඇසුවෙමි. මිතුරා මා දෙස අමනාප බැල්මක් හෙලුවේය.

“නාකි කියන්නෙ නොහැකි. මට තාම හැකි” යැයි කියමින් ඔහු යන්නට ගියේය. මම අර ගොන් ප්‍රශ්නය යළි කිසිවකුගෙන් නොඇසුවෙමි.

උදෑසන රැවුල බාන්නට ගිය විට, තමා තමන්ගේ පියාගේ රැවුල බාන්නාක් මෙන් කණ්නාඩියෙන් පෙනෙනවා නම් එය ද වියපත් වීම දැනගත හැකි විදියකි.

පාරේ ගමන් කරන විට, දකින දකින හැම ගැහැනියකම සුරූපිනියන් ලෙස පෙනෙනවා නම් එය ද වියපත් භාවයේ ලක්ෂණයකි.

අප කොතරම් අකමැති වුණත්, වයසට යාම වළක්වා ගත නොහැකිය. එහෙත් සමහරු, කොතරම් වයසින් මුහුකුරා ගියත්, මනසින් නොමේරුවන් ලෙස කටයුතු කරති.

අමෙරිකාවේ ඈත පළාතක ගොවිපළක් කෙළවර කුඩා ජලාශයක් පිහිටා තිබුණි. එක් දිනක් ගොවිපළ හිමි මහලු පුද්ගලයා, අර්තාපල් අල ටිකක් හාරා බාල්දියක දමාගෙන ජලාශය වෙත ගියේ ඒවා සෝදාගනු පිණිසය.

විනෝද ගමනක් යමින් සිටි තරැණියන් පිරිසක්, තම ඇඳිවත් උනා දමා දිය කෙළියෙහි යෙදී සිටිනු දුටු මහල්ලා පසෙකට වී බලා සිටින්නට විය. ඔහු දුටු තරුණියෝ, ගැඹුරැ දියට ගොස් ගෙල තෙක් ගිලී, සිය නිරුවත් සිරුරු ආවරණය කර ගත්හ.

“අනේ අන්කල්. ඔතනින් එහාට යන්ඩකො, අපිට ගොඩට එන්ඩ.”

“මං ආවෙ ඔයගොල්ලො ඉන්න බවක් දැනගෙන නෙවෙයි. මේ ජලාශෙ ඉන්න කිඹුලට කෑම දාන්ඩ.”

මහල්ලා බාල්දිය පෙන්වමින් කීවේය. ඉතිරි ටික ඔබට සිතාගත හැකිය.

ආදර්ශය : මහල්ලන්ගේ පවා කල්පනා ශක්තිය හොඳින් වැඩ කරන අවස්ථා නැත්තේම නොවේ.

I කපිල කුමාර කාලිංග