ළඟදි දවසක මොරටුවේ ඉඳන් ගාල්ලට යන බස් එකකට ගොඩවුණේ, වාද්දුවට යන්න හිතාගෙන. සෙනඟ එච්චර හිටියෙත් නැති හින්දා බස් එකේ මැද්දටම ගිහින් හොඳ සීට් එකක් බලලා හරි බරි ගැහිලා වාඩිවුණා. එහා පැත්තෙ සීට් එකේ හිටපු කොල්ලා කටත් බාගෙන ඇරගෙන බස් එකේ ඉස්සරහා බලන් ඉන්නවා දැක්කෙ එතකොටයි. ගෑනු පරාණයක්වත් ද කියලා හිතලා බලද්දි තමා දැක්කෙ බස් එකේ ඉස්සරහා ටී.වී. එකේ යන වීඩියෝ එක.
කොහේ හරි ගම් පළාතක පාරකට වල් අලි කීපදෙනෙක් ඇවිත්. උන් ටික අහල පහල යන වාහනවලට ගහන්න හදනවා. පාර පුරා තිබ්බ අලි බෙටි බේර බේර මෝටර් සයිකල් යද්දි කැලෑ අස්සෙ හැංගිලා ඉන්න සද්දන්තයෝ ටික පාරට එනවා. එහෙම ඇවිත් ටික දුරක් යනකල් බයිසිකල් පස්සෙ පන්නනවා. සමහරු බයිසිකලේ අතෑරලා දුවනවා. අලි ටික එහෙම දාලා යන බයිසිකල් පාගන්නෙ හරියට පපඩම් පොඩි කරනවා වගේ.
මේක මේ කවුරුහරි අහම්බෙන් ගත්තු වීඩියෝ එකක් කියල හිතුණත්, මොරටුවෙ ඉඳන් වාද්දුවෙ යන ටිකට තැන් හතරක පහක වීඩියෝ කරපුවා පෙන්නපු හින්දා මේක ප්ලෑන් කරලම කරපු වැඩක් කියලා තේරැණා. එහෙම නැත්නම් සීඩී එකක් ගහලා බස්වලට දෙන්නෙ නෑනෙ.
වල් අලි කියන්නේ අපේ රටේ ගොඩක් පැතිවල මිනිස්සුන්ගේ එදිනෙදා ජීවිතයේ තියෙන ප්‍රශ්නයක්. කැලේ ඉන්න අලි ගමට වැදිලා, හේන් පාලු කරන එක, ගෙවල් කඩන එක නිසා ඒ මිනිස්සු සෑහෙන අසරණ වෙලා ඉන්නෙ. දිනපතා පත්තර බැලුවොත් සතියකට වල් අලි ගම් වැදිච්ච සිද්ධි දෙක තුනක් හොයාගන්න එක අමාරු වැඩක් නෙමේ.
ඒත් අලි ගමට වදින්නෙත් එහෙම නොකරම බැරි නිසා කියලා ටිකක් කල්පනා කරලා ලැබුවොත් තේරුම් ගන්න පුළුවන්. ලංකාවෙ කැලෑ එන්න එන්නම අඩුවෙනවා. තියෙන කැලෑවලත් අලින්ට කන්න කෑම හිඟයි. බොන්න වතුර නෑ. ඉතින් අලි ගම් වදින එක අහන්නත් දෙයක්යැ.
අලි ගහලා මිනිස්සු මැරෙන හින්දා, ගෙවල් කැඩෙන හින්දා, අපි වල් අලි ගැන කතා කළාට, අනිත් හුඟක් සත්තුත් මේ කෑමබීම ප්‍රශ්නෙ හින්දා කැළෑ අතෑරලා ගම්වලට එන්න පටන් අරන්. හොඳ උදාහරණයක් තමයි ගෙවල්වල වහලවල් දෙබෑ කරගෙන එහෙට මෙහෙට පනින වඳුරු රංචු.
අපි හිතාමතාම අමතක කරපු කාරණයක් තමයි අපිත් සත්තු විශේෂයක් කියන එක. ස්වභාව ධර්මෙ මිනිස්සුන්ව නිර්මාණය කරලා තියෙන්නෙ අනිත් සත්තුත් එක්ක බෙදාහදා ගෙන ජීවත් වෙන්න මිසක් තනියම ජීවත් වෙන්න නෙමේ. ඒත් අද ලෝකෙට තියෙන විපත්, විශේෂයෙන්ම අනිත් සත්තුන්ට විපත් ඇවිත් තියෙන්නෙ මිනිස්සු හින්දම තමා. අනිත් හැම සතෙක්ම තමන්ගෙ අසූචි විතරක් පරිසරයට බැහැර කරද්දි අපි මෙට්‍රික් ටොන් ගණන් කුණු පරිසරයට එකතු කරනවා. අන්තිමේ අපි අපිම ඒවට යට වෙලා මැරිලා යනවා.
උගත් මිතුරියත් එක්ක පරිසරයයි මිනිසායි ගැන කරපු කතාබහකදි ඇය කියනවා මේ සේරම පරිණාමයේම කොටසක් කියලා. එයාට අනුව මිනිස්සු පරිසරය කාබාසිනියා කරන එකත් පරිණාමයේම කොටසක්. ඒක එහෙම නම්, මරාගෙන මැරෙන ත්‍රස්තවාදියෝ කරන්නෙත් වැරදි වැඩක් වෙන්න බැහැ.
අපි දරුවෝ පිරිවරාගෙන Zoo එකට යනවා, සෆාරි යනවා. ගිහිල්ලා සත්තු දිහා බලලා සතුටු වෙනවා. ඒත් ඔය හැම තැනකදිම අපි සත්තුන්ව හිර කරන් තියාගෙන ඉන්නවා නේද කියලා කාගෙවත් හිතට එන්නෙ නැති එකයි ප්‍රශ්නෙ. අක්කර තිහක හතළිහක ඉඩමක් තෝරගෙන ඒකට Zoo කියලා නමකුත් දාගෙන උස තාප්පයකුත් වටේට ගහලා ඇතුළට සත්තු දානවා. කැලෑවක වුණත් මෙන්න මේකයි උඹලගෙ සීමාව කියලා අපි සත්තුන්ව හිර කරලයි තියෙන්නෙ.
මිනිස්සුන්ට සමහර සත්තු එක්ක ජීවත් වෙන්න බෑ. ඒක ඇත්ත. හැබැයි සත්තුන්ව කොහේටවත් හිරකරලා තියන්න, ගාල් කරලා තියන්න මිනිස්සුන්ට අයිතියක් නෑ. මිනිස්සු එක තැනක ඉඳන් තව තැනකට යනවා වගේ සත්තුන්ටත් ඒකට අවස්ථාව දෙන්න ඕනෙ. උදාහරණෙකට අපේ රටේ ඔක්කොම කැළෑ ටික එකකට එකක් සම්බන්ධ කරන්න පුළුවන් නම් ඒක සත්තුන්ට ලොකු උපකාරයක් වේවි. එහෙමත් නැත්නම් අඩුම තරමේ ඒ කැළෑ ටිකට අත නොතියා ඉන්න පුළුවන් නම් ඒත් ඇති.
ජා