2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා

බඩපැලෙන්න කිරි බොන්න දෙන වැල්ලවත්ත කිරි කඩේ

 2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 279

 

කාලෙකට පස්සෙ මගේ පුංචි කාලේ මතකයන් ගොඩක් පිරුණු තැනකට ගොඩවෙන්න කල්පනා කළා. වැල්ලවත්ත ප්‍රදේශයේ ඉන්න පාසල් ළමයි අතර ගොඩක් ජනප්‍රිය තැනක් වුණු කිරි කඩේටයි අපි අද යන්නෙ. කුඩා කාලේ ඉඳන්ම මේ තැන මතකයේ රැඳිලා තියෙන්නෙ හොඳ රසවත් කිරි ‍ලබාදෙන තැනක් විදිහටයි. කිරි දෙන්නෙත් ලොකු වීදුරුවල දාලා නිසා පුංචි ළමයි මේ කිරි කඩේට ගොඩක් කැමැතියි. 

මේ සුප්‍රසිද්ධ කිරි කඩේ පිහිටලා තියෙන්නේ වැල්ලවත්තේ ශාන්ත පීතර විදුහලට මුහුණ දාපු ඇළ අසලමයි. කිරි කඩේ කිව්වට මෙතැන බොහොම පුංචි මිලට අලෙවි කෙරෙන පොඩි පොඩි කෑම ජාතිත් ගොඩක් තියෙනවා. 

කිරි කිව්වම ගොඩක් තැන්වල තියෙන්නේ වැනිලා, චොකලට් එහෙමත් නැතිනම් ස්ට්‍රෝබෙරි රස විතරක් වුණාට මෙතැන එයාලටම ආවේණික වුණු රසයකුත් තියෙනවා. ඒක ඔවුන් නම් කරන්නේ ග්‍රීන් ආමන්ඩ් මිල්ක් කියලයි. මේ හැම රසකම කිරි ලොකු බඳුන්වල දාලා පිළිගන්වන නිසා බඩ පිරෙනකම් කිරි බොන්න පුළුවන්. 

කිරිවලට අමතරව යහමින් කිරි දාලා හදපු අයිස්ක්‍රීම් දැන් මෙතැන තියෙනවා. ඒවායේ සීනි ගතිය ටිකක් වැඩි වුණත් හොඳ රසයක් තියෙනවා. ඒ වගේම තමයි මිල්ක් අයිස් පැකට්. පාසල් ඉවර වුණාම ඒ දවස්වල රැපියලට දෙකට මිලදී අරන් කටේ තියාගෙන උර උර යන අයිස් පැකට් මෙතැන තවමත් තියෙනවා. 

ධනූ (ඩේලි මිරර් ලයිෆ්)
ඡායාරූප - You’re My Favorite