කවිය මානව හැඟීම් ප්‍රකාශනයෙහිලා දක්වන ශක්‍යතාව සෙසු කිසිදු කලාවකට දෙවැනි වන්නේ නොවේ. කවීහු භාෂා වාදකයෝය. අත්දැකීම් අව්‍යාජ වූ තරමට කවියට සංගත වන හැඟීම් ද අව්‍යාජ වෙයි. සහෘද රසික ප්‍රජාවට සහානුභූතියක් වෙයි. තමාගේ හැඟීම් සහෘදයන් අත පත් වී ඒවා ඔවුන්ගේම හැඟීම් බවට පත්වන විට කවි කිවිඳියෝ අපූරු ආස්වාදයක් ලබති. බ්‍රහ්මාස්වාදය යනු එය විය යුතුය.
අවුරුදු දහ අටක්
සම්මාන හත අටක්
පණ ගැහෙන මේ ලෑලි ගේ ඇතුළෙ
ගලපන්න බැරි මඟහැරුණු පද මහ ගොඩක්
එහෙත් මම නොමළෙමි නමින් තම පළමු කවිපොත පළකරන නිර්මලී මේරියන්ගේ “දැන් මමත් කිවිඳියක්” නමින් ලියන කවි පෙළක මුල් ඛණ්ඩයයි ඒ. පුද්ගලානුභූතියක් විය හැකි වුවද ඒ ආස්වාදය රසික සහෘදයාට ද සමීප වන්නට බැරි වූවක් නොවේ.
අවවර්ධිත කෘෂි - ආර්ථිකය ජීවිතයට විසඳුම නොවූ කල්හි දරුවෝ වෙනත් විකල්ප රැකියා වෙත නැඹුරු වෙති. ඇතැම් විට ඒ රැකියා ගමෙන් සැඟවිය යුතු ඒවාය.
සීතලට ගල්වෙලා මං මවපු හීන ගොඩ
දියවෙලා හතර අත වැහිරෙන්න පිළුණු හිත
ණය වාරිකේ පෙඟිලා මැහිතෙල් බෝතලේ යට
හිත තදින් ගැස්සෙනවා අප්පච්චි කහින විට
භාෂණයේ රිද්මය අනුව පෙළගස්වන මේ හැඟීම්, “විරිත් නොරුකි” කවියකැයි කියුවද සිද්ධ කටක රිද්මයම ඊට විරිත වෙයි. “විරිත් නොරුකි” යන යෙදුමෙහි නිලේෂාර්ථයක් ද ගැබ්වෙයි. එහි විරිත් නොරැකි යනු යමක අලංකාරයයි. ඉදින් නිර්මලී මේරියන්ගේ කවීත්වය ආධුනිකත්වය ඉක්මවමින් ඉදිරියට යන කවි බව වැටහෙනවා නොවේද?
සංකල්ප රූප යනු කවීන්ට වාග් බාහුල්‍යයෙන් මිදී, තියුණු ඉලක්ක වෙත වින්දනය නාභිගත කරනු සඳහා බොහෝවිට සප්‍රයෝගී වන මෙවලම්ය. නිර්මලී, පුරාණෝක්ති ඇසුරින් සංකීර්ණ අරුත් කුළුගන්වන, සමහනය කරගත් ආකල්ප රූප ගොඩනඟන්නට සමත් වන්නීය. “ගිනිගත් සල් උයනේදීය” නමින් ඇය ලියන කවි පෙළ ඊට කදිම නිදසුනකි.
මකුළුවෙක් දැල එළාගත්තා හැබැයි
පිටි මකුණො අත ඇරපු අන්නාසි පඳුරේ
නුඹ මොටෙයියෙක් වෙලා කුස තුළ
දියකර හෝදලා දමන්නත් බැරි හීනේ
මම මවක් වෙමි නෙළුම් නොපිපෙන
තුන් මාසෙ සුදු ඇතුන්ගේ කළු සිහිනේ
පිළිකා රෝගයෙන් ආතුරව ඉන්න බිරියකගේ මුවට වදන් නංවද්දී, නිර්මලී ස්ත්‍රීත්වය විසින්ම ඇයට දුන් තිළිණ කවියට එක් කරන්නට සමත් වන්නීය.
එපා වද දෙන්ඩ දෙවිවරුන් මෙහි පණ අදිනවා
අපා දුක් විඳගන්නෙ සිරුරම කරන්ට් එක බණ කියනවා
කපා විටින් විට පිළිලෙන් දලු රිකිලි අඩු කරනවා
විකාගත්ත තොල්වලින් මට ජීවිතේ රස දැනෙනවා
“භින්න වෘත්ත” දෝෂය ඇතැයි සම්ප්‍රදායික විචාරකයන් මෙහි දොස් දකින්නට ඉඩ ඇතද, කටවහරේ රිද්මය, ආදර වූවකුගේ මුවට නගන “අඩිසර නැති” කවියක් බිහිකරන නිර්මලී ශබ්දාලංකාර පරිහරණය කරන්නේ ද ශ්‍රව්‍ය ගෝචර එළිවැටකට අනුවය. මේ නම් සැබැවින්ම හිතෙන් ලියැවෙන කවියකි.
නිර්මලී මේ කවිත්වය ද රැගෙන වඩාත් දිගු පුළුල් ලොවකට යා යුතුය. කුටුම්භ සහ ගම ඇගේ සීමා මායිම් ලකුණු කළ යුතු නැත. එසේ කවි ලොවෙහි දිග පළල විමසමින් දිගු ගමනක් යන්නට ඇය සතු උපැරණත් සවියත් හොඳටම ප්‍රමාණවත්ය.
රත්න ශ්‍රී විජේසිංහ