රට පුරා පැවති අධික වර්ෂාවවත් සමඟ ඇතිවූ ගංවතුර තත්ත්වය මගින් සිදුවන අවතැන් වීම් මෙන්ම අපදා තත්ත්වයන් මේ වනවිට අප රටට දැනෙන ගැටලුවක් බවට පත්වී හමාරය. වසරේ කලින් කලට ඇතිවන මෙම ගංවතුර නිසා රටෙහි බොහෝ දෙනකු පීඩාවට පත්වන බව කීමට අටුවාටීකා අවශ්‍ය වන්නේද නැත.
මෙවර වැස්ස වැටුණු අවස්ථාවේදී ඇතැම් ප්‍රදේශවලට මිලිලීටර් 200ට වැඩි වර්ෂා පතනයක් ලැබී තිබිණ. මෙවැනි ප්‍රමාණයේ වර්ෂාපතනයක් ලැබෙන අවස්ථාවලදී පොළව මතුපිට අපධාවනය වැඩි වශයෙන් සිදුවන අතර එම ජලය ගංගා, ඇළ, දොළ හා ජල මාර්ග ඔස්සේ බාධාවන්ගෙන් තොරව ගලා යාමට අවකාශය තිබිය යුතුය. නමුත් මෙරට ස්වාභාවික ජල බස්නා මාර්ග වැඩි ප්‍රමාණයක් අවහිර කරමින් විවිධ ඉදිකිරීම් සිදුකර තිබීම හේතුවෙන් එම වතුර නිසිලෙස බැස යාමට ඉඩක් නැත.
වර්ෂාපතනයක් සමඟ ගංවතුර ඇතිවන්නේ අප රටේම පමණක් නොවේ. ඉන්දියාව, බංගලිදේශය, තායිලන්තය, චීනය, අමෙරිකා එක්සත් ජන පදය වැනි රටවල්වලට ද වසරකට වරක් හෝ දෙවරක් ගංවතුර හේතුවෙන් අපදා තත්ත්වයන් ඇති වෙයි. නමුත් මෙම රටවල් ගංවතුර අවදානම් අඩුකර ගැනීමට විවිධ පියවර අනුගමනය කරන අතර මෙරට ගංවතුර පාලනයට තවමත් නිසි සැලසුමක් ක්‍රියාත්මක නොවීම ක්ෂණික ගංවතුර තත්ත්වයක් ඇති වීමට පාර කපා තිබේ.
පසුගිය දශකයක කාලය පුරාවට ජල ගැලීම් හා නායයෑම්වලින් ජීවිත 470ක් පමණ අහිමි වී ඇත. අතුරුදන් වූවන්ගේ සංඛ්‍යාව 163කි. මෙම තත්ත්වයන් සමඟ නිවාස පූර්ණ හානි 2013ක් සහ නිවාස අර්ධ හානි 80856ක් සිදුවී තිබේ. එපමණක් නොව මහා මාර්ග, පාලම්, බෝක්කු ඇතුළු විශාල දේපළ ප්‍රමාණයක් ද අහිමිව ඇත්තේ ගංවතුර පාලනයට නිසි ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙනි.
මේ වනවිට සිදුවන ගංවතුර හා නායයෑම් ඇතුළු සියල්ල දේශගුණික විපර්යාස මල්ලට ඔබා දමා අත පිසගැනීමට බලධරයෝ යොමු වී සිටිති. නමුත් මෙම තත්ත්වය අප රටේ ඇතැම් සංවර්ධන කටයුතු හේතුවෙන් සිදුවන දැවැන්ත පරිසර සංහාරයේ එක් ප්‍රතිඵලයක් බව අමතක කරති.
අප රට තුළ ඇති ගංගා නිම්න 103 අද වනවිට දැවැන්ත සංවර්ධනයට හසුවී විනාශ වී යමින් තිබේ. සැම ගංගාවකම ගංවතුර පාලනයට ස්භාවික නිර්මාණය වූ පොකුණු හා වැටි වතුර උරාගන්නා බිම් තිබීම අවශ්‍යය. නමුත් අප රටෙහි එම ස්ථාන ද බොහෝ ප්‍රදේශවල විවිධ සංවර්ධන ව්‍යාපෘතිවලට යොදවා ඇත. කාලයක පටන් සිදුකරන මෙහි අවසාන ප්‍රතිඵල භුක්ති විදීමට සිදුවී ඇත්තේ වත්මන් ජනතාවටය.
ඉතා ඉක්මනින් ගංවතුර ඇතුළු ස්වභාවික අපදාවන්ට ලක්වන ප්‍රදේශවල සිටින ජනතාව ස්වේච්ඡාවෙන්ම එම අනතුරු රහිත ප්‍රදේශවලට සංක්‍රමණය වියයුතු ආකාරය පිළිබඳ විශේෂ සමීක්ෂණයක් මගින් පෙන්වාදී ඇත.
1. බස්නාහිර මහනගර කලාපය මිලියන 3.5යි.
2. දකුණ මහනගර කලාපය මිලියන 1යි.
3. ගාල්ල මහනගර කලාපය මිලියන 1යි.
4. නැගෙනහිර මහනගර කලාපය මිලියන 1යි.
5. උතුරුමැද මහනගර කලාපය මිලියන 4යි.
6. යාපනය මහනගර කලාපය මිලියන 1යි.
මෙරට සෑම ප්‍රදේශයක්ම මේ වනවිට කුමන හෝ අවදානම් ප්‍රදේශයක් ලෙස හඳුනාගත හැකි තත්ත්වයක් බවට පත්වී ඇත. ජල ගැලීම් අවදානම ප්‍රධාන තැනක් ගන්නා අතර මෙවැනි තත්ත්වයක් තුළ ග්‍රාම නිලධාරී වසම් මට්ටමේ හා ප්‍රදේශයේ ලේකම් කොට්ඨාස මට්ටමේ පරිමාණයන්ට අනුව සිතියම් සකසා ජනතාව දැනුවත් කළහොත් මෙම ගංවතුර සමඟ ඇතිවන විපත් අවම කර ගැනීමට හැකිය.
වැස්සත් සමඟ ඇතිවෙන ගංවතුර නායයෑම්වලට හේතු එකක් නොවෙයි ගණනාවක් තියනවා. ප්‍රධාන වශයෙන් ඇත්තටම මේ පසුගිය අවුරුදු 30ක් 40ක් වගේ කාලයක ජනතාව කිසිම සැලසුමකින් තොරව කඳුබෑවුම්වල පදිංචි වෙන්න පටන් අරං තියනවා. ඒ කියන්නේ එම නායයෑම් හා ගංවතුර ඇතිවන ප්‍රදේශවලට මිනිසුන් සංක්‍රමණය වීම වැඩිවෙලා තියනවා. ඉතිං ඒ තත්ත්වය තුළ ජනතාවට මේ වගේ අවස්ථාවකදී මුහුණ දීමට සිදුවන ගැටලු ටිකක් වැඩියි. ඒ වගේම මිනිස්සුන්ගේ අක්‍රමිකතාවන් මානව ක්‍රියාකාරකම් නිසා ඒ තත්ත්වය තවදුරටත් වැඩිවෙලා තියෙනවා. පරිසර විපර්යාස සංකල්පයක් සමඟ මේ තත්ත්වය වැඩිවෙලා තියෙනවා. මෙන්න මේ හේතු නිසා තමයි ජනතාවට මේක දැන් දැනෙන ප්‍රශ්නයක් බවට පත්වෙලා තිබෙන්නේ.
මේකට හේතු ගණනාවක් තියෙනවා. මේ කාලගුණ විපර්යාස නිසා සහ මානව ක්‍රියාකාරම් තමයි එයින් හේතු දෙකක් වෙන්නේ. මේකට ප්‍රධාන හේතුවෙලා තියෙන්නේ ගෝලීය ඌෂ්ණත්වය වැඩි වීමත් එසේම මේ වැස්ස ඇතිවෙන අවස්ථාවල එක ස්ථානයකට බොහොම ලොකු වර්ෂාපතනයක් වැටීමත්. ඒ වගේම මේ වර්ෂා පතනයේ වැඩිවන ධාරිතාව දරාගන්න පුළුවන් ප්‍රමාණයට වඩා අපේ රටේ වන විනාශය වැඩිවෙලා තියනවා. ඒ වගේම සැලසුම් සහගත නොවන ඉදිකිරීම් තියනවා ඒ වගේම පහත් බිම්වල ජනාවාස වැඩිවෙලා තියනවා මේ සියලුම සාධක බලපාල තියනවා මේ පොඩි වැස්සක් සමඟ එන ගංවතුරට මෙන්ම ගංවතුරෙන් වන හානිය වැඩි වීමට.
වැස්ස ගොඩක් එක දිගට වැටෙන කොට ඒ කියන්නේ පැයකට වඩා වැස්සොත් සාමාන්‍යයෙන් ගංවතුර තත්ත්වයක් වැඩිවෙන්න පුළුවන්. අවිධිමත් සංවර්ධනයත් හේතුවක් වෙන්න පුළුවන්. නමුත් ගංවතුර තත්ත්වය ඇතිවීම ඒකටම විතරක් ලඝුකරන්න බැහැ. ගංගා පටන් ගන්නා පෝෂක ප්‍රදේශවලට තද වැසි ලැබුණොත් ගංවතුර තත්ත්වයන් බලාපොරොත්තු වන්න පුළුවන්. ඒ වගේම ත්‍රීව්‍රතාවය වැඩි වැස්සක් ආවාම ගංවතුර හටගන්න පුළුවන්. විශේෂයෙන්ම කඳුකර ප්‍රදේශවලට වැඩියි. එහෙම වුණාම මේ ගංවතුර තත්ත්වයන් බලාපොරොත්තු වෙන්න පුළුවන්.
පසුගිය දශක කිහිපය හා සසඳා බලනවිට මේ දිනවල මෙන්ම පසුගිය කාලවල ලැබුණ වර්ෂා පතනය වැඩිවීමක් තියනවා නේද? විශේෂයෙන්ම සමහර ස්ථානවලට මිලිලීටර 300ට 400ට වැඩි වර්ෂා පතනයන් ලැබුණ අවස්ථා තිබුණා නේද?
නැහැ එහෙම නැහැ අවුරුදු 150ක අපේ ඉතිහාසය තුළ මිලිලීටර 879ක් 805ක් ලැබුණ අවස්ථා තියනවා. ඒ වගේම මිලිලීටර් 730ක් ලැබුණ අවස්ථා තියනවා. මේ දත්ත වෙනස් වෙන්න පුළුවන් එක එක වර්ෂාව මනින අනෙකුත් දෙපාර්තමේන්තුවල. මේ අධික වැසි තියන එක අලුත් දෙයක් නෙමෙයි. 2003 වර්ෂයේ පැවති වැස්සත් එහෙමයි මේක අසාමාන්‍යය තත්ත්වයක් නෙවෙයි සාමාන්‍යයෙන් මෙය නිරිතදිග මෝසම් කාලය තුළ බලාපොරොත්තු වෙන්න ඕන තත්ත්වයක්.
හසිත් අංජන