කොට්ටාව බස් නැවතුම්පොළේ කෙළවර පේළියකට නැවතිල්ලේ ඉන්නේ නාඹර හැඩකාරියන් පිරිසකි. ඔවුන් අතර කැපී පෙනෙමින් සියල්ලන්ට වඩා උසින් පෙනුණේ ජාතික කොඩි තුනකින් සැරසී ගාම්භීරත්වයෙන් හෙබි නාඹරයෙකි. ගිමන් හැරීම අත්හැර පිරිසෙන් මිදී ඉදිරියට පැමිණි උස නාඹරයා සිය බඳ වටා පාට පාට මල්වලින් සරසා ගත් අපූරු තට්ටු දෙකේ බස් රථයකි.
ඩබල් ඩෙකරය නමින් හුරුපුරුදු තට්ටුදෙකේ බස් රථය මේ සූදානම් වන්නේ තවත් ගමන් වාරයක් අරඹන්නටය. බස් රථයක් බලාපොරොත්තුවෙන් මගබලා උන් මවකගේ අතැඟිලි හැර දමා දුව ගිය දරුවා අම්මාට පෙර තට්ටු දෙකේ බස් රථයට නැග හමාරය. ඒ අයුරින්ම අපූරු ඩබල් ඩෙකරය වෙත නැගගත් සියල්ලෝම ප්‍රීතියෙන් වටපිට බලති. බොහෝ දරුවන් මෙන්ම වැඩිහිටියන් ද උඩ තට්ටුවේ ඉදිරිපස සහ දෙපස ජනේලය අසල අසුන්ගෙනය.
කොට්ටාව, මහරගම, නුගේගොඩ, කිරුළපන, පුරහල පසුකරමින් කොටුව දක්වා තට්ටු දෙකේ බස් රථයට ගොඩවෙන හා බැසයන මගීන් මෙන්ම ඒ දෙස බලා සතුටු වන පිරිස ද අසීමිතය. කොට්ටාවෙන් ගමන් අරඹා ගමනාන්තය වූ පිටකොටුවට පැමිණිය ද ගිමන්හරින්නට වෙලාවක් නැත. පාවෙන වෙළෙඳ සංකීර්ණය ඉදිරිපිට මොහොතක් රැඳීසිටිමින් දඩි බිඩියේ නැගගන්නා මගීන් මාර්ග අංක 138 ඔස්සේ හයිලෙවල් මාර්ගයේ ධාවනයට නැවතත් සූදානම්ය.
තට්ටු දෙකේ බස් රථයේ පහළ තට්ටුව මගී ආසන 32කින් ද ඉහළ තට්ටුව ආසන 44කින් ද යුක්තය. සමස්ත ආසන 76කින් සපිරි බස්රිය සෑම ආසනයකටම සුදුසු පරිදි විදුලි පංකාවලින් සමන්විතය. ශීතකරණයක් සහිත ඩබල් ඩෙකරයේ කොන්දොස්තර මහතාගෙන් ඇවැසිනම් සිසිල් බීම මිලදී ගත හැකිය. බස් රථයේ ඉහළ තට්ටුවට නගින පඩිපෙළ අසල කොටස ආපනශාලාවකින් සමන්විතය. එතැනින් අවශ්‍ය කරන කෙටි කෑම වර්ග මිලට ගැනීමට හැකියාව ඇත. බස් රථයේ පහළ තට්ටුවේ දොර අසලින්ම දෙපසට පිහිටුවා ඇති ආසන පේළි දෙක ඩබල් ඩෙකර් බස් රථවලට ආවේණිකය. රථයේ සියලුම ආසන වෙන වෙනම ස්ථාපිත කිරීම විශේෂිත හේතුවක් වන්නේ රථයේ බර අඩු කිරීම සඳහා බව පැවැසිණි.
බස් රථයේ ඉදිරිපස හා දෙපස දැවැන්ත ජාතික කොඩි දෙකකින් නිර්මිතය. සෙසු ස්ථාන දැකුම්කළු වර්ණයෙන් ආලේපිත අතර විවිධාකාර වර්ණයෙන් මල්වලින් අලංකාරය. බස් රථය ඇතුළත සිවිලිම ඇතුළු සියලු ස්ථාන වර්ණවත් හා දරුවන්ගේ සිත් බඳනා අයුරින් නිර්මාණය කර ඇත්තේ අර්ථවත් වැකි කීපයක්ද සටහන් තබමිනි.
“කිසිම දවසක වරදක් නොකළ කෙනෙක් කිසි දිනක නව දෙයක් කිරීමට අත්හදා බලානැත.”
“ලැබූ සතුට, සැනසුම ණයට ලැබුණක් බව වැටහෙන්නේ පොළියත් සමඟ රැගෙන ගිය පසුය.”
නිවිසැනසිල්ලේ ආසනයකට බරවන මගීහු මේ වැකි කියවති.
“මුහුණේ සිනාවක් නැත්නම්, හදවතේ කරුණාවක් නැත්නම් අනේ කොච්චර සල්ලි තිබුණත් වැඩක් නෑ.” යනුවෙන් ද එහි සඳහන් කර තිබේ.
තවත් පසෙක ඇත්තේ මෙසේය.
“ඔබේ ජීවිතයේ ඉතා වැදගත් දින දෙකක් ඇත. ඔබ උපත ලබන දිනය හා ඒ ඇයිදැයි ඔබ අවබෝධ කරගන්නා දිනයයි.”
“අභියෝගයන්ට සීමා නොදමන්න. සීමාවන්ට අභියෝග කරන්න.”
මේ ආදී වූ වැකි රාශියක් බස් රථයේ අලංකාර ස්ටිකර් මත සඳහන්ය. එමගින් යමක් ධාරණය කරගන්නට උත්සාහ ගන්නා දරුවෝ මේ බස් රථයට අඩුවක් නැත.
ලංකාවේ ධාවනය වන උසම බස් රථය මෙයයි. එය අඩි 15යි අගල් 3කින් සමන්විතය. එය පමණක් නොව මෙරට පොදු මගී ප්‍රවාහනය වෙනුවෙන් පෞද්ගලික අංශය විසින් යොදවන ලද එකම තට්ටු දෙකේ බස් රථයද මෙයයි. රුපියල් ලක්ෂ අසූපහකට අධික වටිනාකමින් යුතු බස් රථය 2015 වසරේ මැයි මාසයේ පටන් 138 මාර්ගයේ ධාවනයට යොදවා තිබේ.
කොළඹ මාර්ග දෙපස සිසිලස පිණිස වවා ඇති ගස්වල අතු ඇතැම් තැනකදී තට්ටු දෙකේ බස් රථයට බාධාවකි. එහෙත් ඒවා මගහැර ගනිමින් ධාවනය කරන්නට රථයේ රියැදුරු මහතා සමත්ය. එවැනි තැනෙකින් ධාවනය කරන විට මාර්ගයේ තහනම් ඉරි කැපීම සිදුවෙයි. එය නොවැළැක්විය හැකි හේතුවකි. එවැනි ස්ථානයකදී මේ බස් රථයට සිදුවන්නේ රථ වාහන පොලීසියේ නීතියට හිස නමන්නටය. මේ අපූරු බස් රථයේ හිමිකරු කුමාර ඇල්විටිගල මහතාය.
“පාසල් යන පොඩි දරුවෝ මේ බස් එකේ යන්න ආසයි. ගොඩක් අපහසුතා මැද වුවත් නොනවත්වා ධාවනය කරන්නේ ඒ දරුවෝ වෙනුවෙන්. මාස කීපයක් බස් රථය ධාවනය නොකර තිබුණා. ඒ දිනවලදී දවසට ළමයි දෙතුන්දෙනකුගෙන් දුරකථන පණිවුඩ ආවා. “අනේ මාමේ බස්එක එවන්නකෝ...” කියනවා. මේ නිසාමයි බස්එක අලුත් පෙනුමකින් සරසලා ළමයි ආස විදිහට නිර්මාණය කළේ. අනික රටට ගැලපෙන පරිසර හිතකාමී මාර්ග තදබදය අවම කළහැකි දෙයක් නිසාත් සමාජ සේවයක් විදිහටත් බස් රථය දිගටම ධාවනය කරන්න මම කටයුතු කරනවා.” යැයි ඔහු කියයි.
පවතින මාර්ග තදබදය හමුවේ මෙවැනි බස්රථ ලංකාවට සුදුසු බව මගීන්ගේ මතයයි. එහි නඩත්තු වියදම් තරමක් අධිකය. සෙසු බස් රථ මෙන්ම වේගයෙන් ධාවනය කළ හැකිය. නමුත් රියදුරු මහතා පාලනයකින් යුතුව වේගයකින් ධාවනය සිදුකරයි.
අශෝක් ලේලන්ඩ් මාදිලියේ මෙම තට්ටු දෙකේ බස් රථය නියමිත ප්‍රමිතියෙන් යුක්තය. ප්‍රවේශ පත්‍ර ගාස්තුව සාමාන්‍ය බස් රථ හා සමානය විදේශිකයන් පවා කොළඹ නගරය තුළ මෙහි ගමන් කරන්නට දක්වන්නේ දැඩි ඇල්මකි. විනෝද චාරිකා සඳහා ප්‍රවාහන පහසුකම් සපයාගන්නට හැකි ඩබල් ඩෙකරය කදිමය.
මාර්ග අපහසුතා ඇතත් අනාගත රටට තට්ටු දෙකේ බස් රථ කදිම ආයෝජනයකි. සද්භාවයෙන් යුතුව සමාජ සේවයක් උදෙසා කරන මෙවැනි ක්‍රියාකාරකම් සඳහා වගකිව යුතු අංශවල සහයෝගය නොලැබීම කනගාටුවකි.
කතාව සහ සේයාරූ :- විල්තෙර