“සකස්කඩ නොකී කට උගේ කට හුඹස්කට” යයි පුරාණ සමාජයේ කියමනක් විය. සකස්කඩ ශබ්ද නගා කියවන්නේ නිසි උච්චාරණය පුරුදු පුහුණු වීමටය. අද සකස්කඩ කෙසේ වෙතත් පත්තරයක් සඟරාවක් කියවන පිරිස පවා සෑහෙන්න අඩු වී තිබේ.
මේ ජාතික කියවීමේ මාසයයි. එහෙත් මිනිසුන් කියවන බවක් අපට නම් නොපෙනේ. සැමදාම පොතපත කියවන සුළුතරයක් දෙනා පමණක් පොත් කියවති. අනෙක් බහුතරය කියවන්නේ ඕපාදූපය. ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අපට පසුගිය දිනෙක පැවසූවේ විශ්වවිද්‍යාල ආචාර්යවරු වැඩිදෙනෙක් පවා දවස අරඹන්නේ සාහිත්‍ය සංවාදවලින් නොව ගොසිප් කතාබහෙන් බවය.
ඔක්තෝබර් මාසය ජාතික කියවීමේ මාසය වශයෙන් නම් කිරීමට රජයට යෝජනා කළේ මහාචාර්ය තිස්ස කාරියවසම්ය. ඔහු නම් එකල පැවසූවේ පොත්පත් කොටලා වණ්ඩුවේ තම්බා උදේ සවස දුන්නත් මේ රටේ සාහිත්‍යයවත් කියවීමත් දියුණු කළ නොහැකි බවකි.
ඔක්තෝබර් මාසය කියවීමේ මාසය ලෙස නම් කිරීමට හේතුව සැප්තැම්බර් සාහිත්‍ය මාසයේදී පොත් සල්පිල්වලින් ලබාගන්නා පොත්පත් කියවීමට පෙළඹීමක් ඇති කිරීමය. ප්‍රථම කියවීමේ මාසය පැවැත්වූයේ 2004 දීය. අද දක්වාත් සෑම වර්ෂයකම කියවීමේ මාසය පැවැත්වෙන අතර එහිලා මූලිකත්වය ගන්නේ ජාතික පුස්තකාල සේවා මණ්ඩලයයි.
කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය එස්.බී. හෙට්ටිගේ ප්‍රධානත්වයෙන් කලකට පෙර ශ්‍රී ලංකාවේ කියවීමේ ස්වාභාවය කෙසේද යන්න ගැන සමීක්ෂණයක් පැවැත්වුණි. එහිදී පැහැදිලි වූයේ අප රටේ කියවීමේ පුරුද්ද සියයට 63.7කින් අඩුවී ඇති බවය. නමුත් ලංකාව පුරාම මහජන පුස්තකාල 12000ක් ද පාසල් පුස්තකාල 15000ක් ද තිබේ. අමතරව විශ්වවිද්‍යාලවලද අතිවිශාල පුස්තකාල තිබේ. එහෙත් රටේ මිනිස්සු කියවන්නේ පොත් නොවේ. ෆේස්බුක්ය. ගොසිප් වෙබ්අඩවිය. මේ ඛේදවාචකයෙන් රට ගොඩගත යුතුය.
මිනිස්සු මීහරක් වෙලා
සිංහල විශ්වකෝෂයේ හිටපු කාර්තෘ මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස
හුඟදෙනෙක් මේකට හේතුවක් විදිහට දකින්නේ විද්‍යුත් මාධ්‍ය ප්‍රසාරණය වීමයි. නමුත් මම හිතන්නේ මේක කෙටිකාලීනව වූ දෙයක් කියලයි. ටික කලක් යනවිට කියවීමේ පුරුද්ද යළිත් වෙනස්කර ගත හැකිවේවි. කියවීමේ මාසය වැනි අදහස් ප්‍රචලිත කිරීමෙන් මේ ආකල්ප වෙනස් කළ යුතුයි. තරුණ පරපුර තුළ තමයි මෙය කළ යුත්තේ. යුරෝපයෙත් විද්‍යුත් මාධ්‍ය පැමිණි විටම කියවීම අඩු වුණත් පසුව කියවීමේ පුරුද්ද ඇති වුණා.
ජපානය හා යුරෝපයේ රටවල්වල දුම්රියේ බස්රියේ යන මගීන් උඩබලාගෙන යන්නේ නැහැ. පොතක් කියවනවා. අපේ සමාජ ආකල්ප ඉතා දුර්වලයි. පොතක් කියවන්නේ නැතිව උඩබලාගෙන ඔහේ ඉන්නවා. කාලය නාස්ති කරනවා. ඒක ලොකු සමාජ ප්‍රශ්නයක්. නොහික්මුණු බව අසංවේදී භාවය අපේ සමාජයේ බහුලයි. කියවන පුද්ගලයන් තුළ සමාජ සංවේදී බව ඇති වෙනවා. විනයත් ඇති වෙනවා.
මේක පාසල්වලින් තමයි ආරම්භ කළ යුත්තේ. පාසල් ගුරුවරු පවා කියවන්නේ නැහැ. විශ්ව විද්‍යාලවලත් කියවීමේ පුරුද්දක් නැහැ. ඒකට හේතුව ලියාගත් සටහන මුල්කරගත් අධ්‍යාපන ක්‍රමයයි. ඒ අධ්‍යාපන ක්‍රමය කියවීම වර්ධනය කරන්නේ නැහැ. අද විශ්ව විද්‍යාල ආචාර්යවරු තුළ පවා කියවීමේ පුරුද්දක් නැහැ. මේ පුරුද්ද ඇති කිරීම විශාල අරගලයක් වෙලා. අද මී හරක් වගේ මිනිස්සු ඔහේ දුවනවා. බුද්ධිය දියුණුවන්නේ කියවීම වර්ධනය වූ වීමයි. එවිටයි හිතන්න පුළුවන් ජාතියක් බිහිවන්නේ.
අපි කියවීමේ කඳවුරුත් පවත්වනවා
ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. අබේසිංහ
කියවීමේ පුරුද්ද වර්ධනය කිරීමට වැඩිම කාර්යභාරයක් කරන්නේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයයි. මීට අවුරුදු 13කට පෙර තමයි කැබිනට් පත්‍රිකාවකින් ජාතික කියවීමේ මාසය නම් කළේ. ඒකට මුල් පියවර ගත්තේ පුස්තකාල සේවා මණ්ඩලයයි. හැම අවුරුද්දකම ඔක්තෝබරයේ ලංකාවේ මහජන පුස්තකාල, පාසල් පුස්තකාල ආදියේ කියවීමේ ප්‍රවර්ධන වැඩසටහන් පවත්වනවා. ඒවාට අපි මඟ පෙන්වනවා.
මෙම වැඩසටහන අවසන් වූ පසු ජාතික මට්ටමේ උත්සවයක් පවත්වා හොඳම කියවීමේ ප්‍රවර්ධන වැඩසටහන් පැවැත් වූ පුස්තකාලවලට සම්මාන, ත්‍යාග ලබාදෙනවා. කියවීමේ කඳවුරු ලංකාවේ විවිධ ස්ථානවල පවත්වනවා. ඊට අමතරව පෝස්ටර්වලින් කියවීමේ අගය වටහා දෙනවා. ඒ වගේම බස් රථ දෙකක කියවීමේ අගය දැක්වෙන පෝස්ටර් හා තේමා පාඨවලින් සරසා රට පුරා ධාවනය කෙරෙනවා. දුම්රිය ස්ථාන 14ක කුඩා පුස්තකාල ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. kiyawamu.lk නමින් වෙබ් අඩවියක් හරහා කියවීමේ පුරුද්ද වර්ධනය කිරීමටත් වැඩසටහනක් පසුගියදා ආරම්භ කළා. මේ අනුව හුඟදෙනෙකුට හිතන්න බැරි ප්‍රමාණයේ වැඩසටහන් සංඛ්‍යාවක් අපි ක්‍රියාත්මක කරනවා. මේවා අපි ඔක්තෝබරයට පමණක් සීමා කර නැහැ. අවුරුද්ද පුරාම ඒවා ක්‍රියාත්මක කරනවා.
අනේ කියවන්න දෙයක් තියනවාද?
ප්‍රවීණ කිවිවර පරාක්‍රම කොඩිතුවක්කු
කවුරු මොන මොන කාරණා කීවත් අද නව සමාජයේ කියවීම හීනවීමට ප්‍රධාන හේතුව වන්නේ සිංහල කියවන සමාජයේ කියවීමට වටිනා යමක් නොලියවෙන එකයි. ඉංග්‍රීසි පත්තරයක් හා සිංහල පත්තරයක අන්තර්ගතය අහසට පොළොව වගේ. 20 වැනි සියවසේ සිදුවූ විශිෂ්ටතම මානව ජයග්‍රහණය ලෙස නව විද්වතුන් සලකන්නේ නව දැනුම් විප්ලවයක් සිදුවීමයි. බණ්ඩාරනායකගේ Sinhala Only මෝඩ පිළිවෙත නිසා පරම්පරා හතරක් ලෝක දැනුමෙන් වියෝවුණා.
අද වැඩිහිටි වගේම තරුණ සමාජයටත් නව අදහස්වලට නව දැක්මට ප්‍රතිචින්තයකට යාමට නොහැකි වී ඇත්තේ ඒ නිසයි. අද සිංහල පමණක් කියවන කෙනෙක් උගතකු ලෙස සැලකෙන්නේ නැහැ. ගෝලීය දැනුම්කරණයට පිවිසෙන සියයට 2 – 3ක් වගේ සුළු පිරිසක් පමණයි ජාත්‍යන්තර කියවන ලෝකය දිගේ ගමන් කරන්නේ. සම්මාන ලබන අපේ පොත්පත්වලවත් කියවන්න දෙයක් තියනවද කියලා බහුතර පාඨකයන් අහනවා. ජනතා විමුක්ති පෙරමුණ වැනි විප්ලවවාද පක්ෂයක් පවා ළිං මැඩි පිරිසක් වීමෙන්ම මෙරට දැනුම් කාන්තාරයක් වී ඇති හැටි තේරුම් ගන්න පුළුවන්.
► කුසුම්සිරි විජයවර්ධන