මොරටු පුරවරය එදා සිටම ප්‍රසිද්ධියට පත්වූයේ ලී බඩු වෙළෙඳාමටය. එය පාරම්පරික රැකියාවකි. අදද මොරටු පුරවරයේ වැඩි වශයෙන් ජීවත්වන්නේ පිය උරුමයෙන්, මව් උරුමයෙන් රැකියාව අත්පත් කරගත් වැසියන්ය. මොරටු පුරවරයේම දක්නට ලැබෙන්නේ ලී බඩු වෙළෙඳසල්ය. ලී මෝල්ය. නමුත් අද වෙද්දී මොරටු පුරවරයේද තැනින් තැන ආනයනය කළ ලී බඩු අලෙවිසල් බිහිවෙමින් පවතී. මේ තත්ත්වය හේතුවෙන් පාරම්පරික උරුමයෙන් ජීවනෝපාය කරගත් නිෂ්පාදකවරුන්ට අත්වූයේ මරු පහරකි. අද ඔවුන් තම ජීවනෝපායට එල්ල වූ තර්ජනය හේතුවෙන් පත්ව ඇත්තේ විශාල ගැටලුවකටය.
මොරටු ප්‍රදේශයෙන් තොග වශයෙන් නිෂ්පාදනය කරනු ලබන ලී බඩු මුළු රටපුරාම අලෙවි කරයි. නමුත් එදා වත්තල, මීගමුව වැනි ප්‍රදේශවල බහුලව අලෙවි වූ මොරටු ලී භාණ්ඩ වෙනුවට අද වෙද්දී එම ප්‍රදේශවලට වැඩිපුරම අලෙවි වන්නේ ඉන්දුනීසියානු වැනි විදෙස් රටවලින් ආනයනය කරනු ලබන දැව භාණ්ඩයි. බොහෝ වෙලාවට මොරටු දැව භාණ්ඩ නිෂ්පාදකවරුන් සිදු කරන්නේ තොග වෙළෙඳාම්ය. විදෙස් රටවල්වලින් මෙසේ දැව භාණ්ඩ ආනයනය කිරීම හේතුවෙන් අද මොරටු පුරවරයේ වෙළෙඳාමට සිදුවී ඇත්තේ විශාල පාඩුවකි.
අපේ ආයතනයෙන් කරන්නේ ලී බඩු නිෂ්පාදන කරලා ලංකාවේ විවිධ පැතිවලට ඒවා අලෙවි කිරීමයි. මීගමුව, වත්තල ප්‍රදේශවලින් ඉස්සර අපිට ලොකු වෙළෙඳාමක් තිබුණා. ඒත්.... පිටරටවල්වලින් මෙහෙට ගෙන්වන නිසා අද වෙද්දි මොරටු වෙළෙඳ ව්‍යාපාරිකයන්ට එදා තරම් ආදායම් ඒ පැතිවලින් ලැබෙන්නේ නෑ. මොරටු නගරයේම එහෙම ඉන්දුනීසියානු ලී අලෙවිසල් දෙක තුනක්ම තියෙනවා. ඒ නිසා අපේ දැව භාණඩ අලෙවි කරගන්න අද අපට තැනක් නැතිවෙලා. අද මොරටු ලී බඩු නිෂ්පාදකවරුන් හරි අසරණ වෙලා.
මොරටු ලී බඩු වෙළෙඳුන්ගේ සංගමයේ ලේකම් නිරෝෂා පෙරේරා මහත්මිය දේශයට අදහස් දැක්වූයේ එසේය.
මොරටුව යනු සම්ප්‍රදායික වඩු කර්මාන්තය පවත්වගෙන යනු ලබන ලංකාවේ එකම නගරයයි. මොරටුව ප්‍රදේශය ආශ්‍රිතව ජීවත්වන වැසියන්ගෙන් සියයට හතළිහක් ජීවත්වන්නේ වඩු කර්මාන්තය ආශ්‍රිතවය. බොහෝ ජන කොටස් මෙම වඩු කර්මාන්තයේ නියැලෙති. බොහෝ වඩු කාර්මිකවරුන්ගේ බිරින්දෑවරැ, දරුවන් පවා මෙම කර්මාන්තයන් හා බැඳී සිටිති. නමුත් කොළඹ නගරයේ ඉදිවෙමින් පවතින විශාල හෝටල් හා නිවාස සංකීර්ණ වෙනුවෙන් මොරටු පුරවරයෙන් දැව භාණ්ඩ ලබාදීමේ හැකියාවක් නැත. හෝටල් හෝ නිවාස සංකීර්ණයන් වෙනුවෙන් බොහෝ දෙනා චීනය, ඉන්දුනීසියානු, මැලේසියාව වැනි රටවල්වලට ඇණවුම බාරදෙති. නමුත් ඒ සඳහා පාවිච්චි කරනු ලබන්නේ ඉස්තරම්, හොඳ තත්ත්වයේ දැව නොවේ. මේ නිසා විශාල ප්‍රමාණයෙන් ඇණවුම් සඳහා අද වෙද්දී මොරටු පුරවරයට අවස්ථාව අහිමිය.
එමෙන්ම මඩකලපුව, අක්කරපත්තු වැනි ප්‍රදේශවල අද වෙද්දී මුස්ලිම් ජනතාවද විදෙස් රටවල්වලින් නවීන උපකරණ ගෙන්වා වඩු කර්මාන්තය දියත් කර ගනිමින් සිටිති. සමහරු හොරෙන් ලී ඉරති. ඇතැමුන් දැව සංස්ථාවෙන් හෝ පෞද්ගලික තැන්වලින් දැව ගෙන මේ කටයුත්ත කරගෙන යති. ඔවුහු මෙම දැවවලින් දැව භාණ්ඩ නිෂ්පාදනය කර මාලදිවයින වැනි රටවල්වලටද අපනයනය කරති. එයට මූලික අඩිතාලම දමන්නේද මොරටු වඩු කාර්මිකයන්ය.
ඔවුන් මොරටු වඩු කාර්මිකයන් විශාල වැටුපකට මඩකලපුව, අක්කරපත්තුව වැනි ප්‍රදේශවලට ගෙන්වා ඔවුන්ගේ නිපුණතාවය, හැකියාව මෙන්ම සියලුම නිර්මාණශීලී වැඩ උගනිති. සතියක් දෙකක් විශාල වැටුපකට මොවුන්ගේ සියලුම පාරම්පරික ඥානය ඉගෙන ගෙන මොරටු වඩු කාර්මිකයන් ඉවත දමති. මේ නිසා කාලෙන් කාලයට මොරටු පුරවරයේ වඩු කාර්මිකයෝ මඩකලපුව, අක්කරපත්තුව වැනි ප්‍රදේශවල කුලීකරුවන් ලෙසින් රැකියාවේ නිරත වෙති. මොරටු පුරවරයෙන් වඩු කර්මාන්තය ගිලිහී යන්නටද මෙය තවත් එක් කරුණකි.
විශාල වශයෙන් ලංකාව වටේම ඉන්න අයට දැව බලපත්‍ර දීලා තියෙනවා. ඒ නිසා මුදලාලිලාට ගෙවල්වල අයට මොරටුවට එන්න ඕනකමක් ඇතිවන්නේ නෑ. ඒ අය ඒ පළාත්වලින් ලී බඩු මිලදී ගන්නවා. පුත්තලම්, විල්පත්තු වගේ ප්‍රදේශවල බොහෝ දෙනා හොරට දැව කපනවා. ඒ දැව කවදාවත් මොරටුවට එන්නේ නෑ. විල්පත්තුව බොහෝ එළිපෙහෙළි කළා. ඒත්... ඒ දැව කවදාවත් මොරටුවට ආවේ නෑ. ඒවා බොහෝමයක් ගියේ මන්නාරමට. නැත්නම් යාපනයට. එහෙම නැත්නම් පුත්තලමට. මේක ඇත්තටම අපිට හරි අපරාධයක්. අපි පාවිච්චි කළ හැකි දැවවලින් සියයට සීයක් අපි පාවිච්චි කරන්නේ නෑ. ලංකාවේ කිසිම රජයකින් අපිට ආධාර උපකාර කරලා නෑ. මෙහෙම දැව ලීයක් ඉරද්දී අපතේ යන ප්‍රමාණය ඉතා විශාලයි. නමුත් අද වෙද්දී තාක්ෂණික දියුණවත් එක්ක අලුත් යන්ත්‍ර සූත්‍ර තියෙනවා. ඉරද්දී ලී ප්‍රමාණය අපතේ යන ප්‍රමාණය, ලී කුඩු අපතේ යන ප්‍රමාණය ඉතා අඩු යන්ත්‍ර සූත්‍ර තිබෙනවා. ඒ මඟින් ප්‍රයෝජනයට ගන්න පුළුවන් ලී ප්‍රමාණය ඉතා වැඩියි. ඒත්.... අපට රජයෙන් කිසිම සහායක් ලැබිලා නෑ. ඒ නිසා මොරටුවේ ලී බඩු කර්මාන්තයට අද වෙලා තියෙන්නේ ලොකු පාඩුවක්.
එසේ පැවසුවේ මොරටු ලී බඩු වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති ප්‍රිමාල් ප්‍රනාන්දු මහතාය.
අපිට දැව ගනිද්දි තේක්ක ලීයයි, මහෝගනී ලීයයි හොඳටම ඇති. කොස් ගසකට යම් කාලසීමාවක් ආවාට පස්සේ ඒක කැපිය යුතුයි. නමුත් අද වෙද්දි වට ප්‍රමාණය අඩි දෙකේ ගසුත් කපනවා. ඒක හරි විනාශයක්. මේක අද ඊයෙක ඇතිවුණ තත්ත්වයක් නොවේ. අද අනවශ්‍ය ලී කපනවා. බුරුත, කුඹුක් කැපීම ඇත්තටම අනවශ්‍යයි. හුඟක් සල්ලි තියෙන අය කුඹුක් ගස් කපලා කුඹුක් ලීය පොළොවට අල්ලනවා. ඇත්තටම ඒක අපරාධයක්.
ප්‍රිමාල් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.
ඉන්දුනීසියානු ලී බඩු වෙළෙඳසල් මොරටු ප්‍රදේශයේ එකක් හෝ දෙකක් තිබෙනවා. නමුත් එයින් මොරටු පාරම්පරික වඩු කාර්මිකයන්ට එතරම් බලපෑමක් නැහැ. ඉන්දුනීසියානු දැව භාණ්ඩයක් ගත හැක්කේ ධනවතුන්ට පමණයි. එය මිලෙන් අධිකයි. එහි කැටයම් වන්නේද ඔවුන්ට සාම්ප්‍රදායික කැටයම් කලාවයි....
ප්‍රිමාල් ප්‍රනාන්දු මහතා පැවසීය.
මෙවැනි කැටයම් කලාවටම දක්ෂ වඩු කාර්මිකයෝද මොරටු පුරවරයේ සිටිති. නමුත් බොහෝ දෙනාගේ කැමැත්ත වන්නේ දේශීය සම්ප්‍රදායික කැටයම් කලාවටය. අද වෙද්දී මේ පවතින තත්ත්වයත් සමඟ දේශීය වඩු කාර්මික පරම්පරාව ටිකින් ටික නැතිවෙමින් පවතී. එමඟින් අපේ දේශීය ලී කැටයම් කලාව මොරටු පුරවරයෙන් ගිලිහී යාමට ගතවන කාලය වැඩි ඈතක නොවේ.
මේක මගේ අම්මගේ ව්‍යාපාරය. අම්මගෙන් පස්සේ තමයි දැන් මේක මම කරගෙන යන්නේ. ඒත්... දැන් ඒක පාරම්පරිකව දේවල් වෙනස් වෙලා තියෙනවා. දැන් නිෂ්පාදනය ගොඩක් දුරට අඩුවෙලා තියෙනවා. ඉන්දුනීසියාවෙන් එන ලී බඩු නිසා ගොඩාක්ම බලපෑමක් ඇතිවුනේ මෙහේ කැටයම්කරුවන්ට. ඉන්දුනීසියාවෙන් එන ලී බඩුවල ඔවුන්ටම ආවේණික කැටයම් කලාවක් තිබුණා. අපේ දේශීය පාරිභෝගිකයින් ඒ කැටයම් රටාවලට වැඩි වශයෙන් ඇළුම් කළා. හැබැයි ඒක ලොකු බලපෑමක් වුණේ නෑ. අපේ ලී භාණ්ඩවලට වඩා ඉන්දුනීසියානු ලී භාණ්ඩ මිලෙන් වැඩියි. හැබැයි ඉතින් අපේ රටේ මිනිස්සුන්ට පිටරටින් ඕන දෙයක් ආවොත් ඒක මහ ඉහළින් පිළිගන්නවනේ. අපේ මිනිස්සුන්ට අපේ දේ අගේ නෑ...
මොරටුමුල්ල ප්‍රදේශයේ දැව භාණ්ඩ වෙළෙඳසලක හිමිකරුවෙක් අපට පැවසීය.
එදා පිය පරපුරෙන් ලැබුණු ආදායමත් අද ලැබෙන මුදලක් අතර ලොකු වෙනසක් පවතී. අද ලාභය ඉතා අඩුය. වැයවන මුදල ඉතා අධිකය. මේ නිසා වත්මන් පරපුර වඩු කර්මාන්තයට දක්වන කැමැත්ත අඩුවෙමින් පවතී. අද පරම්පරා රැකියාවට ආයුබෝවන් කියා ත්‍රීවිලරයක් මිලදී ගෙන හෝ කුලියට ගෙන ත්‍රිවිලර් රියදුරකු ලෙස සේවය කිරීමට ඇතැම් කාර්මිකයෝ පෙළැඹී සිටිති. සමහරු එයින්ම නොමඟට යති.
පුත්තලම වැනි ප්‍රදේශවල ඉහළ වැටුපට යන සැමියා ඇතැම්විට මාසයකින් දෙකකින් පැමිණෙද්දී නිවසේ සිටි බිරිඳ අනියම් ඇසුරකට පත්ව දරුවන්ද අමතක කොට වෙන කැදැල්ලකට ගිය අවස්ථාද මොරටු පුරවරයේ එමටය. අසරණ දරු පවුලක් නිස්කාරණේ විසිරී යාමට ගතවන්නේ ඉතා සුළු කාලයකි. තම රැකියාවට තාවකාලිකව සමුගෙන දුරබැහැර යන බොහෝ සැමියන්ද අවසානයේදී නිවසට එන්නේ මත්පැනට ලොල් වූවෝ ලෙසිනි.
එදා මොරටු පුරවරයේ සෑම නිවසක පාහේ ඉදිරිපිට තිබුණේ විශාල දැව කොටන්ය. පුංචි එවුන් සෙල්ලම් කළේ ඒ දැව කොටන් උඩ නැගය. ඔවුහු ලී කුඩු සමග සෙල්ලම් කළෝය. සුළඟත් සමග මුසුව මොරටු පුරවරය පුරා හමා ගිය අලුත් ලීයේ නැවුම් සුවඳ අනාගත පරපුරද අහිමි වන ලකුණු පහළ වෙමින් තිබේ.
දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ