පොඩි එවුං ටයර දක්කන
අගනුවර නැති - රළු බොරළු පාරක
ලා කොළ පාට දිලිසෙන ලුමිනස්
බිලාල ඇස් වලින් - එබිකම් කරමින්
පරණ වින්ටේජ් මයික් හඬ ඇති
උඹේ ඔපෙරා හිනාව
කුඹුක්ගැටේ වැව් පිටිය පුරාවට
හුළඟට - එක්කාසු කරපු එ’දවස්
ජීවිතේ කතුරු ඔංචිල්ලාවක්
එකම තැන කැරකෙන - මෙරිගෝ රවුමක්
‘පැසිපියා සර්කස් ’
හිතුවක්කාර රස්තියාදුවකට කියාපුම තැනක්
එල්.ඊ.ඩී. වියන් මැදින් දිවෙන
දිව්‍ය ලෝක පෙම් අලෙවිසැල්වල
‘එකක් ගත්තොත් එකක් නොමිලේ’
සැමරුමක් තෝරමින් - ගත කරපු ඒ සැඳෑවන්
සමබරතාවය ලිහුණු - කෙසඟ වූ පෙමකට
විසංගල නැවතුම් ඕනෑතරම්
පොලියට ගත් ණයවලින් කුලියට ගත් හදවත්
සින්න කරා මං ඇතිතරම්
යංතම්පලාව හංදිය - අපේ අන්තිම දවස
සඳත් ගිනිගත්ත - විසංගල සවස
සොඳුරු වැස්සකට ගිනි තබා තෙමුණට
ඒ තමයි මම ගෙවපු වන්දිය
මූදු සැතැපුම් ආලෝක වර්ෂ
ඒ වගේ හුඟක් දුර
මනින මිමි වලට පවා මැනගන්න
බැරි තරම්.... දුරක් අද අපි අතර
(මාර්ක් - ආඛ්‍යාන)
ටුෂාන් වීරරත්න