2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා

මම රේල්ලුවට බැඳෙනකොට පඩිය රු.දෙකයි ශත දහයයි

 2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 131

  • ඒ කාලෙ පඩි දවසට කට්ටියම එකතු වෙලා බූරු ගැහැව්වා
  • අපි නටන කොට ඥාතීන් ඇවිත් සල්ලි කොළ හැට්ට කටුවලින් අමුණා අපේ ඇඳුම්වල එල්ලනවා. තෑගිත් දෙනවා.

“යකඩ යකා අඟුරු කකා” හා හා පුරා කියා කොළඹ සිට අඹේපුස්සට දුවන්න පටන් ගත්තේ වර්ෂ 1864 දෙසැම්බර් මස විසිහත් වැනිදා සිටය. එදා ගමේ ඇත්තන් “යකඩ යකා” නමින් හැඳින්වුයේ දුම්රියටය. ලංකා දුම්රියේ මංගල ගමන එදින සිදු වුවද මගී ප්‍රවාහන දුම්රිය සේවය ආරම්භ කොට ඇත්තේ 1865 වර්ෂයේ ඔක්තෝර් මස 02 දින බවත්, මේ ගමනට දුම්රිය මැදිරි දහයක් එක් කරගත් බවත් මගීන් අසූ හතර දෙනකු ද ඒ ගමනට එක් වූ බවත් පැවසේ. ඒ ගමනේ ආදායම පවුම් තිස් එකයි සිලිං එකයි පැන්ස එකොළහක් බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉතිහාසය හාරා අවුස්සන විට දැනගැනීමට ලැබිණ.

පොදු ජනතාවට “දුම්රිය” වඩාත් සමීප වන්නේ එය මගී හා භාණ්ඩ ප්‍රවාහන මාධ්‍යයක් වීම නිසාවෙනි. එහෙත් දුම්රිය දෙපාර්තමේන්තුව සතුව සංකීර්ණ අංශ පද්ධතියක් තිබේ. ගොඩනැගිලි, පාලම්, බෝක්කු ආදී ඉදිකිරීම් එක් අංශයකි. මේ ඉදිකිරීම් අංශයේ පෙදරේරු තනතුරට 1958 වර්ෂයේ පත් වූ සේවක මහතකු අපට පසුගියදාක ගල්ගමුව, මහගල්කඩවල ප්‍රදේශයේ දී හමු විය. “ගමේ ඇත්තන්ගේ රස කතා” ඇසීමට අද මම හවුල්කර ගත්තේ ඔහුය.

අසූ හත්වැනි වියේ පසුවන ඔහු නමින් ඒ.ඒ. පුංචි බණ්ඩාය

“මම උපන්නේ පොල්ගහවෙල, පොරමඬල, වඩුවාව කියන ගමේ. ඉස්කෝලේ ගියේ පහේ පන්තියට. පොරමඬලාව ඉස්කෝලෙටයි ගියේ. මං පුංචි කාලේම අපේ තාත්තා මියගියා. තාත්තාගේ රූපයවත් මට මතක නෑ. ආර්ථික අමාරුකම් නිසා දිගටම ඉස්කෝලේ යන්න බැරි වුණා. ඊට පස්සේ මං මේසන් වැඩ ඉගෙන ගත්තා.

1958 අවුරුද්දේ මං දුම්රිය දෙපාර්තමේන්තුවේ මේසන් රැකියාවට බැඳුණා. තාවකාලික පදනමෙන් තමයි බඳවා ගත්තේ. දවසකට ගෙව්වේ රුපියල් දෙකයි ශත දහයයි. පත්වීම ස්ථිර කළේ අවුරුදු එකොළහක් ගියාට පස්සේ. මාසයකට පඩිය හම්බ වුණේ රුපියල් 335 ක් විතර.

මං අවුරුදු විසිහතක්ම සේවය කළේ අනුරාධපුරයේ. මාස අටක් විතර රත්මලානේ වැඩ කළා. අනුරාධපුරයේ වැඩ කරන කාලයේ ඒ සීමාවට අයත් මහව, අඹන්පොළ, ගල්ගමුව, පරසන්ගස්වැව, සාලියපුර, තලාව වාගේ දුම්රිය ස්ථානවලට අයත් ප්‍රදේශවල වැඩ කළා. ගොඩනැගිලි, පාලම්, බෝක්කු ඉදිකිරීම තමයි අපේ රාජකාරිය වුණේ.

අනුරාධපුරය වැඩ කරන කාලයේ අපට ඉන්න දෙපාර්තමේන්තුවෙන්ම ලයින් කාමර දීලා තිබුණා. අපි ඒවායේ නතර වෙලා උයාගෙන කාලා තමයි ගියේ. උදේ හත වෙනකොට වැඩ බිමේ ඉන්න ඕන. හවස පහට තමයි වැඩ ඉවර වෙන්නේ. ඒ කාලේ පඩි දෙන දවසට (වැටුප් ලබාදෙන) අපට නිවාඩු දෙනවා. පඩිය අරන් අපේ අය බූරු ගහනවා. (මුදල්වලට සූදුකෙළියේ යෙදීම) මාත් බූරු ගහලා තියෙනවා. කොහේහරි තැනක මුල්ලකට වෙලා තමයි අපි බූරු ගහන්නේ. නැත්නම් පොලීසිය ඇවිත් අපව අල්ලනවානේ.

ඒ කාලේ ඉතින් තනිකඩ ජීවිතයක් ගත කරපු කාලෙනේ. හරි සැහැල්ලුවෙන් සතුටින් ගත කළා. රාජකාරියත් හරියට කළා. රේල්ලුවේ (දුම්රිය දෙපාර්තමේන්තුවේ) ඒ ඒ අංශවල වැඩ කරපු අප අතර ඒ කාලේ හොඳ සමගියක් තිබුණා. අපි පවුල් වුණාට (විවාහ) පස්සෙත් අපේ බිරිඳ දරුවෝ අපි හිටපු ලයින් කාමරවලට ඇවිත් දවස් තුන හතරේ නැවතිලා එකට උයාගෙන එකට කනවා. ඒ කාලේ ගෙවල් දොරවල් ගැන ආශාවක් නෑ. මගේ ලයින් කාමරයේ අපි තුන් දෙනෙක් නතර වෙලා හිටියා. මං තමයි ලොකු බාස් උන්නැහේ. ඒත් තුන් දෙනාම එකට තමයි උයාගන්නේ.

අපිත් එක්ක යාපනයේ ගොඩාක් අය වැඩ කළා. සමහරු මේසන්ලා. සමහරු කම්කරුවෝ. කම්කරුවන් ලෙස වැඩ කරපු දෙමළ අය සිංහල අයට වඩා කඩිසරයි. සරමට උඩින් ලණුවක් බැඳගෙන කමිසයක්වත් නැතිව තමයි වැඩ කරන්නේ. කොන්ක්‍රීට් අනපුවාම ඒ තාච්චි ඔළුව උඩ තියාගෙන තමයි අරන් යන්නේ. ඒ කොන්ක්‍රීට් බදාම වතුර ඇඟ පුරාම වැක්කෙරෙනවා. ඒත් ගාණක් නෑ. කුමාරවේලු, කනගමී, බාලසිංහම් වාගේ යාළුවෝ කීපදෙනෙක්ම මට හිටියා.

මට මතකයි “කරතකොළම්බම්” අඹ ජාතිය මුලින්ම හඳුන්වා දුන් කාලය. යාපනයෙන් තමයි මේ අඹ හඳුන්වා දුන්නේ. කුමාරවේලු දවසක් ගමේ ගිහින් එද්දි මට කරතකොළම්බම් අඹ පැළයක් ගෙනත් දුන්නා. අඹ පැළයේ මිල ශත විසිපහයි. ඒ හිටවපු අඹ ගහ අදටත් අපේ වත්තේ තියෙනවා. මගේ ඒ දෙමළ මිතුරන් එදා අපේ ගෙවල්වලට ඇවිත් දවස් දෙක තුනේ ගත කරලා යනවා. මගේ කොළදින් වැඩවලට (වී අස්වනු නෙලීම) පවා උදව් කරලා තියෙනවා.

“දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවයට එක් වීමට කලින් ඔබ වෙනත් රැකියා කරලා තියෙනවද?” 

“රජයේ රස්සා නොවුණාට මං නොකරපු රස්සාවක් නැති ගාණයි. උපන් ගමේ ඉන්න කොට මං වෑන් එකක කොන්දොස්තර වැඩේ කළා. ඒ වෑන් එක අපේ ගමේ හිටපු මුදලාලි කෙනකුගේ. මේ වෑන් එකෙන් සෙනඟ අදිනවා. නාගදීපය, අනුරාධපුර, විජිතපුර, සීගිරිය, සේරුවිල, පොළොන්නරුව වාගේ ප්‍රදේශවලට වන්දනා ගමනුත් යනවා. දවස් හතේ අටේ වන්දනා ගමන් තමයි මේවා. අප්පුහාමි කියන අය තමයි වෑන් එකේ ඩ්‍රයිවර්. දවසක් අපි දෙන්නා මුදලාලිට නොකියා ගමනක් ගියා කියලා අපව රස්සාවලින් අයින් කළා. ඊට පස්සේ මං කොන්දොස්තර රැකියාවකට යන්න කියලා ලයිෂන් එකකුත් ගත්තා. ඒ කාලේ (1953) කොන්දොස්තර රැකියාවටත් ලයිෂන් තියෙන්න ඕන. මං ළඟ ඒ ලයිෂන් එක තාම තියෙනවා.

ලයිෂන් එක ගත්තට පස්සේ කොන්දොස්තර රැකියාවකට නම් යන්න බැරි වුණා. එතැනින් පස්සේ මං නාට්‍ය කණ්ඩායමකට එක් වුණා. මාත් නාට්‍ය කරන්න පටන් ගත්තා. එදා නිළියන්ගේ චරිත කළෙත් පිරිමි අයනේ. ගෑනු ළමයි නාට්‍යවල රඟපාන්න එදා ආවේ නෑ. ගෙවල්වලින් එන්න දෙන්නෙත් නෑ. අපේ නාට්‍යවල ගෑනු පාට් (නිළියන්ගේ චරිත) කළේ මමයි, අපේ අයියයි දෙන්නා එකතු වෙලා. ගෙවල්වල මිදුල්වල තමයි මේ නාට්‍ය පුරුදු වුණේ. රෑට ලන්තෑරුම් හෝ පැට්ට්‍රල් මැක්ස් ලාම්පු පත්තු කරගෙන නාට්‍ය පුරුදු වෙනවා.

නාට්‍යයක් පුරුදු වෙලා අවසන් වුණාම කලඑළි මංගල්‍යයක් තියෙනවා. එදාට අපි නටන කොට ඥාතීන් ඇවිත් සල්ලි කොළ හැට්ට කටුවලින් අමුණා අපේ ඇඳුම්වල එල්ලනවා. තෑගිත් දෙනවා. පන්සල්වල, පින්කම් පොළවල මේ නාට්‍ය රඟදක්වන්නත් ගිහින් තියෙනවා. මං නාට්‍ය දහඅටක් කරලා තියෙනවා. පෙරළන ජීවිත, අශෝකමාලා, නොනැසුණු උරුමය, වන රැජින, මාරක වෙඩිල්ල, උන්මාද රාත්‍රිය, විදුර ජාතකය, නිදහස් සටන, කාලගෝල වාගේ නම්වලින් ඒ නාට්‍ය පෙන්වා තියෙනවා.

ම්.. මං සමුපකාරයකත් වැඩ කළා. අපේ ඥාති අයියෙක් පේරාදෙණිය සමුපකාර ප්‍රාදේශිකයක මැනේජර්කම කළා. මං අයියාට උදව්වට ඒකෙ වැඩ කරන්න ගියා. එතැනින් පස්සේ ගමට ඇවිත් ගමේ තව දෙන්නකුත් එක්ක හිඟුරක්ගොඩ කුලී වැඩට ගියා. කුඹුරු වැඩ තමයි කරන්න තිබුණේ. ඒවා ඉවර වුණාම අර දෙන්නා ගමට ආවා. මං තනියම අනුරාධපුරයට ගියා. අනුරාධපුර, රත්මලේ කියන ගමේ අපේ බාප්පා කෙනෙක් හිටියා. මං ඒ ගෙදර නතර වුණා. බාප්පා මාව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ රැකියාවකට දැම්මා.

1956 අවුරුද්දේ මහ ගංවතුරක් ඇල්ලුවානේ. මං එතකොට වාරිමාර්ගයේ වැඩ කළේ. අපේ ප්‍රධානියාව හැඳින්වුයේ “හාමු මහත්තයා” කියලා. එයාගේ බංගලාවේ අපි විසිඅට දෙනෙක් නතර වෙලා හිටියේ. ගංවතුර වෙලාවේ හාමු මහත්තයා අපට කීවා බසවක්කුලම වැව ළඟට ගිහින් පාරේ එන වාහන නතර කරලා ආපසු හරවා යවන්න කියලා. ඒ වතුර දාලා වාහන ගහගෙන යයි කියලයි. අපි බසවක්කුලමට ගිහින් වාහන හැසිරවීම කළා.

ඔය ගංවතුරට අනුරාධපුරයේ පැත්තක්ම යට වුණා. වතුර අල්ලපු ප්‍රමාණය සිංහ කණුවේ සලකුණු කරලා තියෙනවා. අදත් ඒ සලකුණ දකින්න තියෙනවා. මේ ගංවතුරට ගහගෙන ගිය හරක් ගස් උඩ බෙල් අතර හිරවෙලා මැරිලා ඉන්නවා අපි දැක්කා. එතකොට මං වාරිමාර්ගයේ වැඩ කළේ.

ඔය අතර තමයි දුම්රිය දෙපාර්තමේන්තුවේ මේසන්ලා ගන්නවා කියලා දැනගෙන අපේ බාප්පාගේ යාළුවෙක් මාර්ගයෙන් ඉල්ලුම් පත්‍රයක් දැම්මේ. සම්මුඛ පරීක්ෂණයට අපි තිස් ගණනක් හිටියා. මාත් එක්ක දහසය දෙනෙක් තෝරාගත්තා. ඕක තමයි මගේ රස්සාවල ඉතිහාසය. 

(ඉතිරිය ඉදිරියට)

කතාව සහ සේයාරූ ගල්ගමුවේ නිහාල් ජයවීර