ක්‍රෙඩිට් කාඩ් හෙවත් ණයපත් සඳහා මෙතෙක් පැවැති උපරිම පොලී සීමාව මෙම මාසයේ මුල සිට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉවත් කරනු ලැබ ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් ක්‍රෙඩිට් කාඩ් සඳහා මෙතෙක් පැවැති සියයට 24 ක් වූ පොලිය මේ වන විට සියයට 28 දක්වා ඉහළ ගොස් ඇත. මෙයට පෙර 2012 වසරේ මැයි මාසයේදීද මෙලෙසම ශ්‍රී ලංකා මහ බැංකුව පොලී සීමාව ඉවත් කිරීම නිසා එවකට පැවැති සියයට 24 පොලී අනුපාතය වැඩිව යාමේ අවදානමක් පැවතිණ. 2010 වසරේ මුල වාර්ෂික පොලිය ක්‍රමයෙන් පැවැතියේ සියයට 40ක තරම්ය. පසුව එය සියයට 24 මට්ටමට අඩුවිම නිසා ක්‍රෙඩිට් කාඩ් පාවිච්චිය රට තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්තව ගියේය.
මෙයට දශකයකට පමණ පෙර ණයපත් පාවිච්චි කළේ සමාජයේ වරප්‍රසාද ලත් ඉහළ අතළොස්සක් පමණි. ඒ පිළිබඳ පුංචි මිනිසා දැනුවත් වී සිටියේ නැත. එයට ප්‍රධානතම හේතුවක් වූයේ මේවායින් ගනුදෙනු කළ හැකි වෙළෙඳසල් අවම වීමය. සුපිරි වෙළෙඳසල් හැරුණු විට සාමාන්‍ය කඩවලින් ක්‍රෙඩිට් කාඩ් ගනුදෙනු සිදු වූයේ නැත. එසේම මෙම සුපිරි යැයි හඳුන්වන වෙළෙඳසල් ජාලය එතරම් ව්‍යාප්ත වී නොතිබුණු අතර ප්‍රධාන නගරවල හැරුණු විට මේවා ගම්බදව පිහිටා නොතිබිණි. එබැවින් සාමාන්‍ය පාරිභෝගිකයාට මෙම කාඩ්පත් එතරම් හුරැවූයේ නැත. ඔවුන්ට මෙය නුහුරැ අත්දැකීමක් පමණක්ම විය.
එහෙත් අද වන විට තත්ත්වය වෙනස් වී තිබේ. අද සුපිරි වෙළෙඳසල් ගම්බදට ද ව්‍යාප්ත වී ඇති අතර මේ වන විට එම වෙළෙඳසල් වලින් පමණක් නොව, ගම්බද සාමාන්‍ය වෙළෙඳසල් වලින් පවා ක්‍රෙඩිට් කාඩ්වලින් භාණ්ඩ මිලට ගැනීමට පහසුකම් ලැබී තිබේ. එසේම මුලදී බැංකු කිහිපයකින් පමණක් හඳුන්වා දුන් මෙම කාඩ්පත අද වන විට රාජ්‍ය සහ පෞද්ගලික බැංකු සැමගෙන්ම පාහේ නිකුත් කිරීමට පටන්ගෙන තිබේ. මෙම තත්ත්වය මත කාඩ් වර්ග අතර ඇත්තේ දැඩි තරගකාරී ස්වභාවයකි. මේ නිසා ණයපත පොදු මහජනතාවගේ සරල ගෙවීම් ක්‍රමයක් බවට පත්ව ඇති සැටියකි.
භාණ්ඩ මිලට ගැනීම හැරුණු විට ඇතැම් ක්‍රෙඩිට් කාඩ් වලින් ණයට මුදල් ලබාගැනීමට පහසුකම් ද හිමි වේ. අතමිට හිඟ වූ හදිසි අවස්ථාවක දී පාරිභෝගිකයාට තම ක්‍රෙඩිට් කාඩ්පත යොදාගෙන ක්ෂණික මුදල් “අතමාරුවක්” කර ගැනීමට ද අවස්ථාව හිමි වී තිබේ.
ණය කාඩ්පත්වලට පාරිභෝගිකයන් නතුකර ගැනීම සඳහා බැංකු විසින් විවිධ වෙළෙඳ උපක්‍රම ද භාවිත කරනු ලබයි. මෙහි ප්‍රධාන අංගයක් වනුයේ විශාල මිල අඩුකිරීම් දීමයි. නම් කරන ලද භාණ්ඩ ඇතැම් ක්‍රෙඩිට් කාඩ් වලින් මිලයට ගන්නා පාරිභෝගිකයාට ඇතැම් විට සියයට 60 – 65 දක්වා වට්ටම් ලැබේ. ඇත්ත වශයෙන්ම මෙම තත්ත්වය අදහාගත නොහැකි නමුත් එලෙස මිලයට ගත හැකි ඉලෙක්ට්‍රොනික උපකරණ පිළිබඳ ලියුම්කරු සමීක්ෂණයක යෙදී ඇත. මෝස්තරය කල් ඉකුත් වූ පසු එහි අලෙවි පහළ යන බව අවබෝධ කරගෙන ඇති නිෂ්පාදකයෝ ඇතැම් කාඩ් උපයෝගී කරගෙන විශාල මිල අඩුකිරීම් හරහා භාණ්ඩ අලෙවි කරති. මෙහිදී වෙළෙඳුන්ට මෙන්ම අදාළ ආයතනයට ද ව්‍යාපාරික වශයෙන් වාසි සැලසේ. මෙතරම් විශාල වට්ටමක් දුන්නද එයින් ද නිෂ්පාදකයාට ද සුළු හෝ ලාභයක් ලැබේ. මෙහිදී අලෙවි වන ප්‍රමාණය ඉහළ යන නිසා ව්‍යාපාරිකයාට ලැබෙන ලාභය විශාල වෙයි. එසේම මිල දී ගන්නා පාරිභෝගිකයාට ද නොසිතූ වාසියක් අත් වේ.
තවද ඇතැම් කාඩ් වර්ග පාවිච්චි කරන පාරිභෝගිකයාට තෑගි සහ තෑගි වවුචර් ආදිය පිරිනැමීමෙන් ඔවුන් ග්‍රහණය කර ගැනීමට අදාළ ආයතන පියවර ගෙන තිබේ. එසේම ක්‍රෙඩිට් කාඩ්පතකින් එක් භාණ්ඩයක් මිලට ගත් විට තවත් එකක් නොමිලයේ දීමට පවා යුහුසුළු වන අවස්ථා තිබේ.
ණයපත් ඒජන්තවරුන් දිවයිනේ කාර්යාලවලට, වැඩපොළවලට හා හද්දා පිටිසර නිවෙස්වලට පවා ගොස් විවිධ වරප්‍රසාද දෙන බව පවසා පාරිභෝගිකයන් තමාට නතුකර ගැනීමේ වැඩ පිළිවෙළක් ද ක්‍රියාත්මක වේ. විශේෂයෙන් වැටුප් ලැබෙන දිනවල මෙය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. එසේම මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ද ලබාදෙන අතර පාසල්වල පවත්වාගෙන යන බැංකු ශාඛා මගින් සිසුන් අතර ක්‍රෙඩිට් කාඩ් ප්‍රචලිත කිරීම ද සිදු වේ. මේ සඳහා වරප්‍රසාද ලබාදෙමින් ඇතැම් ගුරුවරුන්ගේ ද සහාය ලබාගනී. තවද ක්‍රෙඩිට් කාඩ් සඳහා සාමාජිකයන් බඳවා ගැනීමේ දී කිසිදු ලියාපදිංචි ගාස්තුවක් අය නොකරන නිසා ඕනෑම කෙනකුට පෝරමය පුරවා දී ක්ෂණිකවම කාඩ්පතක් ලබාගැනීමට බාධාවක් නැත. මෙවැනි පහසුකම් සහ වෙළෙඳ උපක්‍රම නිසා ශ්‍රී ලංකාවේ ක්‍රෙඩිට් කාඩ් හිමියන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. 2016 වසරේ පමණක් කාඩ් 2,64,058 ක් නිකුත් කර ඇති අතර, 2017 වසරේ දෙවැනි කාර්තුව හෙවත් ජූනි අවසන් වන විට ක්‍රෙඩිට් කාඩ් 3,29,840 ක් නිකුත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු සංඛ්‍යා ලේඛන පෙන්වයි.
එසේම 2016 වසර වන විට ශ්‍රී ලංකාවේ පාවිච්චි වන මුළු කාඩ්පත් ප්‍රමාණය 1,315,915 ක් වන අතර 2017 වසර මැද වන විට එම සංඛ්‍යාව 1,392,931 දක්වා ඉහළ ගොස් තිබීමෙන් කොතරම් පිරිසක් මේ හා බද්ධ වී ඇති ද යන්න පැහැදිලි වේ. මෙම කාඩ් වලින් කරන ගනුදෙනුවල වටිනාකම ද වසරින් වසර ඉහළ යන අතර 2016 වසර තුළ එම වටිනාකම රුපියල් බිලියන 182.1 ක් බවට පත්ව ඇත. 2017 වසරේ දෙවැනි කාර්තුවේ පමණක් කාඩ්පත්වල වටිනාකම බිලියන 49.7 ක් වී ඇත.
කාඩ්වල වටිනාකම ඉහළ යන තරමටම ගෙවීම් පැහැර හරින සංඛ්‍යාව ද වැඩි වී තිබෙන අතර ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා අනුව 2016 වසරේ දී කාඩ් 84,155 ක් ගෙවීම් පැහැර හැර තිබේ. එහි වටිනාකම රුපියල් බිලියන 5.8 කි. 2017 දෙවැනි කාර්තුව අවසන් වන විට රුපියල් බිලියන 6.7ක වටිනාකමින් යුතු කාඩ් 96,349 ක් ගෙවීම් පැහැර හැර තිබේ. මෙම වටිනාකම මුළු ගනුදෙනු වටිනාකමින් සියයට 32.4 ක් වීමෙන් අපට පැහැදිලි වන්නේ කාඩ් ලබාගන්නවා වගේම විශාල සංඛ්‍යාවක් ගෙවීම් පැහැර හැර බැංකුවලට පොලු තබා ඇති බවය. මෙම මුදල් අයකර ගැනීම සඳහා නීති මගින් කටයුතු කිරීමට බැංකුවලට සිදුව ඇත.
ක්‍රෙඩිට් කාඩ්පතක සඳහන් ණයවලින් මාසයකට ගෙවිය යුතු අවම වාරිකය සියයට 4 දක්වා අඩු කරනු ලැබීම නිසා ද ගෙවීම පැහැර හරින්නන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබේ. බැංකු නිතරම උත්සාහ කරන්නේ පොලී අයකර ගැනීමට පමණක් වන අතර එයට හේතුව ණය වැඩි වී තිබෙන තරමට ඔවුන්ගේ පොලී ආදායම ඉහළ යාමය. එහෙත් මෙහිදී පාරිභෝගිකයාට සිදුව ඇත්තේ සදාකාලිකවම ණයකරුවකු වී සිටීමටය.
සෑම වසරකම උත්සව සමයේ දී ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත් කිරීම ඉහළ යන්නේ උත්සවවලට වියදම් කිරීම සඳහා පාරිභෝගිකයන් වැඩි වශයෙන් ක්‍රෙඩිට් කාඩ් උපයෝගී කර ගැනීමට පෙළඹී සිටීම නිසාය. එයට ප්‍රධානතම හේතුව වන්නේ ඔවුන් දෛනිකව හෝ මාසිකව ලබන ආදායම උත්සව සැමරීම සඳහා වැය කිරීමට ප්‍රමාණවත් නොවීමය. මෙම තත්ත්වය තේරුම් ගන්නා බැංකු මුල්‍ය ආයතන වැඩි වශයෙන් ජාවාරම් කිරීම සඳහා පාරිභෝගිකයා ආකර්ශනය කර ගැනීමට විවිධ ප්‍රචාරක සහ ක්‍රමෝපායන් භාවිත කිරීමට පෙළඹී සිටී. රාජ්‍ය වාණිජ බැංකු මෙහිදී ප්‍රමුඛව කටයුතු කරයි.
මෙලෙස ණයපත් වැඩි වශයෙන් පාරිභෝජනය කිරීම රටේ ආර්ථික තත්ත්වයට ද අහිතකර ලෙස බලපා ඇති බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතයයි. ක්‍රෙඩිට් කාඩ් වලින් මිලට ගන්නේ එදිනෙදා පාවිච්චියට අවශ්‍ය කරන දේවල් නිසා ඒවා භාවිත කිරීම වැඩිවීම රටේ ආර්ථිකයට හිතකර නොවේ. හේතුව එම මුදලින් පාරිභෝජනයක් මිස නිෂ්පාදනක් සිදු නොවීමයි. ක්‍රෙඩිට් කාඩ් උපයෝගී කරගෙන කර්මාන්ත අරඹන ආයෝජකයන් නොමැත. සියල්ලම සරල වියදම් වේ. පාරිභෝගිකයාට කාඩ් වලින් ඕනෑ පදම් වියදම් කළ හැකි නිසා අවශ්‍ය දේට වඩා අනවශ්‍ය දේ මිලට ගැනීමට පෙළඹී ඇත. සුපිරි වෙළෙඳසල්වල ද අවශ්‍ය දේට වඩා අනවශ්‍ය දෙයට පාරිභෝගිකයන් ආකර්ශනය කර ගැනීමට විවිධ වෙළෙඳ උපක්‍රම භාවිත කෙරේ.
දරුවන් සහ පවුලේ අය සමඟ සුපිරි වෙළෙඳසලකට ඇතුළු වන පාරිභෝගිකයා ඔවුන් ඉල්ලන ඉල්ලන සැම දෙයක්ම සීමාවකින් තොරව ලබාදීමට පෙළඹේ. මේවාට කවදා හෝ මුදල් පියවන්නට සිදුවන බව පාරිභෝගිකයා නොසිතයි. මෙලෙස අවශ්‍ය දේ මිලට ගැනීම නිසා තාවකාලික සහනයක් ලැබුණ ද සදාකාලික ණයකරුවකු වීමට දුප්පත් පාරිභෝගිකයාට සිදුව තිබේ. පොලියට අමතරව ප්‍රමාද ගාස්තු ලෙස දඩ ද වාර්ෂික ගාස්තු ද මෙම ආයතනවලින් අය කරන නිසා පාරිභෝගිකයාට සහනයක් නොලැබේ. මෙම අයකිරීම් පිළිබඳ සම්මතයක් නොමැති අතර විවිධ බැංකු නොයෙක් ආකාරයට අය කරමින් පාරිභෝගිකයා සූරාකන බවක් දක්නට ඇත. මෙම තත්ත්වය පාලනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව හෝ වගකිව යුතු ආයතන කිසිදු පියවරක් ගෙන නැත.
මෙවර ණය පොලිය වැඩිකර තිබීම පිළිබඳව විමසූ විට ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු ලියුම්කරුට පැවසුවේ පොලිය වැඩිකර නොමැති අතර මහ බැංකුව කර ඇත්තේ මෙතෙක් පැවති පොලී සීමාව ඉවත් කිරීම පමණක් බවය. ඒ අනුව සුදුසු පොලී අනුපාතිකයක් තෝරාගැනීමට බැංකුවලට හැකි අතර ක්‍රෙඩිට් කාඩ් නිකුත් කරන බැංකු අතර දැඩි තරගකාරී බවක් තිබෙන නිසා අසාධාරණ ලෙස පොලී ප්‍රතිශතය වැඩි නොකරනු ඇතැයි ඔහු පැවසීය. එසේ වුවද මෙතෙක් පැවැති සියයට 24 පොලී අනුපාතය සියයට 28 දක්වා වැඩි කිරීමට බොහෝ බැංකු තීරණය කර ඇති අතර එය ක්‍රියාත්මකය. සෙසු බැංකු ද ඉතා ඉක්මනින් එය ක්‍රියාත්මක කරන බව දැනගන්නට තිබේ. මෙතෙක් පොලී මුදල වැඩි නොකළ බැංකුවකින් විමසූ විට එහි සාමාන්‍යාධිකාරිවරයා පැවැසුවේ සෙසු බැංකු වැඩි කරන පොලිය ගැන සලකා බලා ඉදිරියේ දී තම ප්‍රතිශතය ද ඉහළ නැංවීමට කළමනාකාරීත්වය කටයුතු කරනු ඇති බවය. එසේම මෙතෙක් කල් බොහෝ බැංකුවල පොලිය සමාන වූ නිසා අනාගතයේදීද මෙම තත්ත්වය රැකගැනීමට සිදුවන බව ඔහු කීය.
ශ්‍රී ලංකාවේ ක්‍රෙඩිට් කාඩ් ක්‍රමය ආරම්භ වූයේ 1989 වසරේ දී වන අතර 2017 දෙවැනි කාර්තුව වන විට වාණිජ බැංකු 13 ක් සහ එක් මුල්‍ය සමාගමකට ක්‍රෙඩිට් කාඩ් සඳහා බලපත්‍ර හිමිව තිබේ. ජනතාවගේ ජීවන වියදම ඉහළ යන විට ඔවුන් වැඩි වැඩියෙන් ණයපත්වලට යොමුවීම වැළැක්විය නොහැකි අතර අනාගතයේ දී පොලිය ගැන නොසලකා ක්‍රෙඩිට් කාඩ්වලට ඇති ඉල්ලුම ඉහළ නගිනු ඇත. මෙම තත්ත්වය පුද්ගලයාගේ ආර්ථිකයට අහිතකර අතර අනාගතයේ දී මෙලෙස අසීමාන්තිකව ජනතාවට ණයවීමට ඉඩහැරීම සමස්ත ආර්ථිකයටම විශාල ගැටලුවක් වනු ඇති බව ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහසය.
I යසවර්ධන රුද්රිගූ