2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා

නැති දෙයක් නැති Tap House

 2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 112

කොළඹ පැරැණි ලන්දේසි රෝහල් සංකීර්ණය කියන්නේ මේ වෙනකොට කොළඹ කොටුව අවට කාර්යාලවල සේවය කරන අයගෙන් හැන්දෑ වරුව පිරී ඉතිරී යන තැනක්. බොහොම ඉඩකඩ ඇතිව නිර්මාණය කරලා තියෙන මේ ලන්දේසි රෝහල් සාප්පු සහ අවන්හල් සංකීර්ණයේ බොහොම ප්‍රසිද්ධ අවන්හල් කිහිපයක්ම තියෙනවා. මේ අතරන් R and R ඉදිරිපත් කරන Tap House කියන්නෙත් ගොඩක් දෙනෙක්ගෙ ආකර්ෂණය දිනාගත් තැනක්. 

මිතුරන් කිහිපදෙනෙක් සමඟ හෝරා කිහිපයක් ගෙවන්න මෙතැන කදිමයි. කාර්ය මණ්ඩලයත් කොච්චර කාර්යබහුල වුණත් හැම කෙනෙක්ගෙම ඕනෑ එපාකම් හොයා බලනවා. බීර, මොහිටෝ, කොක්ටේල් වර්ගවල ඉඳන් බොහෝ බීම වර්ගත් විවිධ සුප් වර්ග, සැලඩ් වර්ග වගේම බර්ගර්ස්, නාසි ගුරන්, ආහාර වර්ගත් මෙතැනදී ලබාගන්න පුළුවන්. කටගැස්ම කාරියත් බොහොම රසට පිළියෙල කරලා දෙනවා.

ලන්දේසි රෝහල් සංකීර්ණයේ දෙවැනි මැද මිදුලේ පසෙකින් පිහිටා තිබෙන මේ අවන්හලේ ආසන ඇතුළත වගේම පිටතත් පිහිටා තිබෙනවා. සාමාන්‍යයෙන් සිකුරාදා හැන්දෑව කියන්නේ Tap House  එක රසවතුන්ගෙන් පිරී ඉතිරී යන වෙලාවක්. ඒ නිසාම ගොඩක් වෙලාවට පිටතින් පිහිටලා තියෙන ආසන සහ මේස මත Reserved පුවරුව දකින්න ලැබෙනවා.

ඇතැම් සතියේ දිනවල හැන්දෑවට සංගීත කණ්ඩායමකුත් එතැන ඉන්නවා. ඔවුන් ආහාර ගන්නන්ගේ ඉල්ලීම්වලටත් කන්දෙමින් ගීත වාදනය කරනවා. මේ සියලු කාරණා එක්ක බලද්දි ටැප් හවුස් අවන්හල කියන්නෙ මිතුරන් කිහිපදෙනෙකුට ඕපාදූප හෝරා කිහිපයක් ගෙවන්න හොඳටම ගැලපෙන තැනක්. 

I රජිත