අපේ රටේ පිරිමි අය සැලෝන් එකකට යන්නෙ බොහොම අඩුවෙන්. ඒ ගියත් යන්නෙ කොණ්ඩෙ කොටට කපා ගන්න විතරයි. හැබැයි හැම පිරිමියෙක්ටම විශ්වාසයෙන් යුතුව සමාජය ඉදිරියට යන්න හැකි විදිහේ පෙනුමක් ලබාදෙන්න පුළුවන් තැනකට අපි ළඟදි ගොඩවුණා. ඒ ක්‍රෙස්කැට් සංකීර්ණයේ පිහිටලා තියෙන ඩන්ස්ටන් සැලෝන් එකයි.
පිරිමි අය වෙනුවෙන්ම විවෘත වෙලා තියෙන මේ සැලෝන් එක නිර්මාණය වීම පිටිපස්සෙ ඉන්නෙ රුවන් සහ සුජාන් කියන මිතුරන් දෙදෙනායි. ඔවුන්ගෙනුත් මේ විදිහෙ සැලෝන් එකක් නිර්මාණය කිරීම ගැන මුල්ම අදහස ඇවිත් තියෙන්නෙ සුජාන්ට.
කාන්තාවන්ටම වෙන් වුණු රූපලාවන්‍යාගාර එහෙමත් නැත්නම් සැලෝන් වැහි වැහැලා තිබුණත් පිරිමින්ට ඒ වගේ අවස්ථාවක් නැති තරම්. පිරිමි අය ගොඩක් වෙලාවට යන්නෙ පාර අයිනේ තියෙන සාමාන්‍ය බාබර් සාප්පුවලටයි.
ඩන්ස්ටන් කියන්නෙ නිකම්ම නිකම් බාබර් සාප්පුවක්වත්, තවත් එක සැලෝන් එකක්වත් නෙමෙයි. ලන්ඩනය, පැරීසිය, තෝකියෝව වගේම නිව් යෝර්ක් නගරය වගේ ලෝකෙ පුරා පිහිටි සැලෝන්වල භාවිත කෙරෙන විවිධ කේෂාලංකරණ තාක්ෂණ ක්‍රම මෙතැන පාවිච්චි කෙරෙනවා. හරියට නිකම් හොලිවුඩ් චිත්‍රපටවල අපි දකින සැලෝන් වගේ.
මෙතැනට එන හැම කෙනෙක්වම පිළිගනු ලබන්නේ බොහොම මිත්‍රශීලී සුහද විදිහටයි. මට එතැනදී ලන්ඩනයේ සිට පැමිණි දක්ෂ කේෂාලංකරණ ශිල්පියෙක් වන ඩැනියෙල්ව මුණගැසුණා. ඔහු කොච්චර දක්ෂද කියනවා නම් ඔහුට තිබුණේ මැජික් අත් දෙකක්. ලස්සනට අත් එහා මෙහා කරමින් කොණ්ඩය සරසන්න ඔහුට පුළුවන්. මෙතැන ඉන්න අනිත් අයවත් පුහුණු කරලා තියෙන්නේ ඩැනියෙල්.
කොණ්ඩය කැපීම, සායම් කිරීම, හෙයා ස්පා, ෆේෂල්, හෙඩ් මසාජ්, රැවුල් විලාසිතා, නියපොතු විලාසිතා වගේ ගොඩක් දේවල් මෙතැනදී සිදුකරගන්න පුළුවන්.
I ධනූ
ඡායාරූප - You’re My Favorite