♦ රැකියා දස ලක්ෂය වෙනුවට හැම තරුණයකුටම බදු තොරතුරු ෆයිල්
♦ ආණ්ඩුව නොකීවත් මේවා මූල්‍ය අරමුදලේ කොන්දේසි
වත්මන් ආණ්ඩුව බලයට පත්වූයේ අලුතින් රැකීරක්ෂා දස ලක්ෂයක් ඇති කරන සැලැස්මක් සහිතවය. රට දියුණුකර ජනතා අපේක්ෂා සාක්ෂාත් කරනබව දේශපාලනඥයෝ පොරොන්දු දුන්හ. ජනතාවගේ බලාපොරොත්තුව වූයේ යහපත් ආර්ථික රාමුවකි. කෙටි කාලයක් තුළ පැත්ත වෙනස් වී තිබේ. සෑම පුද්ගලයකුටම ආදායම් බදු අංකයක් නිකුත් කරන බව නිලධාරීන් කියන්නට පටන් ගෙන ඇත. බදුතොරතුරු ලිපිෙගානු විවෘත කරන බවද කියයි. ඒවා විවෘත කරන්නේ බදු අය කරගැනීම පිණිසය. මෙම පැති දෙක අතර පරස්පරයක් තිබේ. ආදායම් බදු ගෙවන්නට හැකි තරමට රැකීරක්ෂා ලැබී සෑම දරු පවුලක්ම දියුණු වී තිබේද? ජනතාව දුෂ්කර තැනකය. පොල්ගෙඩියක මිල දරා ගත නොහැකිව සිටින ජනතාවට බදු අංකයක් නිකුත් කිරීම හාත්ස්‍යෝත්පාදක ප‍්‍රයත්නයකි. ජනතාව අත ඇති මුදලින් තව තවත් බදු අයකරනු වෙනුවට රාජ්‍ය ආදායම නංවන කාර්යක්ෂම ක‍්‍රියාවලියක් අවශ්‍යව ඇත. මහජන නියෝජිතයන් මෙකී කරැණ අවධානයට ගත යුතුය.
බදු තොරතුරු ලිපිගොනු මගින් පුරවැසියන්ට බදු අංකයක් නිකුත් කරන්නට යෝජනා කරන්නේ ඇයි? බදු වංචා කිරීම වළක්වා නීතියට අනුව බදු අය කරනු සඳහා යැයි විශ්වාස කළ හැකිය. ආණ්ඩුව නොබෝදා විද්‍යුත් හැඳුනුම්පතක් නියම කළේය. එහි පුරවැසියාගේ සියලු තොරතුරු ඇතුළත්ය. එයින් වැසියන්ගේ පෞද්ගලිකත්වය හෙළිදරව් කෙරේ.
රථවාහනවලට විශේෂ මෙවලමක් අමුණා ගමන් කරන තැන සොයා බලන්නට යයි. එයින් අරමුණු කරන්නේ කුමක්ද? ශ‍්‍රී ලාංකේය ජනතාව රොබෝවරුන් මෙන් පරිගණක පද්ධති වලින් පාලනය කරන්නට අවශ්‍යද? සෑම පුරවැසියකුටම බදු අංකය එයට එකතු වූ අලුත් අදහසය. ගමන් කරන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරන සැලැස්මකටදැයි විමසීමට සිදුවී තිබේ.
අවුරුදු දහ අටට වැඩි සියලු රටවැසියන් බදු ගෙවීමට ඇති හැකියාව ගැන සොයා බලන සියුම් පරීක්ෂාවක් සේ මෙය සූදානම් කර තිබේ. ඉදිරි වසර දෙක තුළ ආදායම් බදු ආදායම දෙගුණ කරගැනීමට මෙයින් හැකිවන අතර වෛද්‍යවරුන් හා උපකාරක පන්ති ගුරුවරුන් මෙහිලා වැඩි අවධානය යොමු කර ඇති පිරිසකි. වසර 2020 වනවිට රුපියල් බිලියන 1,200 ක බදු ආදායමක් සොයන්නට මෙම ක්ෂේත‍්‍ර දෙක පමණක් අවධානයට ගැනීම ප‍්‍රමාණවත් නැති බව දන්නා ආණ්ඩුව ඔවුන් ගේ නම පෙරමුණෙහි තබා සියලු රටවැසියන්ගේ දත්ත එකතු කරන සූදානමක් බව තේරුම් ගැනීම අපහසු නැත. ආදායම් බදු දෙපාර්තමේන්තුව සූක්ෂම විය යුතුය. රජයේ සංවර්ධන කාර්යය දෙස අවධානයෙන් සිටිය යුතු අතර ආයෝජන අංශ ආදායම් මට්ටම වැඩිවූ ක්ෂේත‍්‍ර සේ හඳුනා ගැනීමට පියවර ගත යුතුය. වෛද්‍යවරයකු හෝ ටියුෂන් ගුරුවරුයකු රාජ්‍ය සංවර්ධනයේ තීරණාත්මක තැන් සේ සලකන්නට නැඹුරු වී ඇත්නම් නිදහසින් පසු මෙරට සංවර්ධනයේ අභ්‍යන්තරය කෙබඳු එකක්ද යන්න එයින් මැනවින් තේරුම්ගත හැකිය.
ශ‍්‍රී ලංකාවේ රජයේ ආදායම හා වියදම අතර පරතරය ඉහළ නැග ඇති බව මූල්‍ය වාර්තා පෙන්වයි. විශේෂයෙන් පාලනය කරගත නොහැකි තරමට වියදම වැඩිවී ඇත. එයට සරිලන අන්දමට ආදායම වැඩි කරගැනීමට පියවර ගන්නා ලෙස රජයට ණය දෙන ආයතනවලට උපදෙස් දී ඇත. ශ‍්‍රී ලංකා ආණ්ඩුව ණය ඉල්ලන ආයතන මෙරට ආදායම වැඩි කරගන්නා සේ බලකරන්නේ ඇයි? ණය නිකුත් කිරීම ගැන ප‍්‍රශ්නයක් නොවේ. නිකුත් කරන ණය වල වාරිකය හා පොලිය ආපසු අය කරගැනීමට හැකි පරිසරයක් සාක්ෂාත් කරගනු සඳහාය. බැංකුවකින් ණයක් ගන්නට යන ගනුදෙනුකරුවකුගෙන් කළමනාකරු පළමුවෙන් අහන්නේ ණය ගන්නේ මොනවාට ද යන්න ගැන නොවේ. ගෙවන්නේ කොහොමද යන්නය. ණයවාරිකය ගෙවා ගන්නට නොහැකි කිසිම ගනුදෙනුකරුවකුට ණය දෙන්නට බැංකු කැමති නැත. ණය නොදී නොහැකිම තැනක දී ආදායම වැඩි කරගැනීමට හැකි මාර්ගවලට අනුබලදෙයි. ශ‍්‍රී ලංකාව එවැනි ඉරණමකට පත්ව සිටී. පසුගිය වසරේ දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 1.5 ක තාවකාලික ණය සංචිතයක් නිකුත් කළේය. 2009 වසරේ දී ද එවැනි ණයක් ගෙන එය ගෙවා අවසන් කර නැවතත් අපහසුවට පත්වූ රට යළි ණය සංචිතය ඉල්ලා ගත් බවව අමතක කළ යුතු නැත. මෙම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය රටට වාරික වශයෙන් ලැබෙන්නේ රටේ පාලකයන් මූල්‍ය පැවැත්ම වෙනස් කරනවාද යන කාරණය මෙරටට පැමිණ පරීක්ෂා කර බැලීමෙන් පසුවය. අය වැය පරතරය අඩු කරගැනීම, ආර්ථික ප‍්‍රතිංස්කරණය, අපනයන නැංවීම සහ සෘජු බදු ආදායම වැඩි කරගැනීම ඇතුළු කරුණු ගණනාවක් මෙම ණය ගැනීමේ දී පනවා තිබේ. ආණ්ඩුව මේවා කොන්දේසි සේ පිළිගැනීමට මැලිකමක් දක්වයි. නමුත් එම අදහස් නියෝග වශයෙන් ජනතාව වෙත පනවමින් තිබේ. රජයේ ආදායම වැඩි කරගැනීම සඳහා දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් ආදායම් බදු වැඩි කරගැනීම අරමුණු කරගෙන ඇත. ජනතාව එදිනෙදා ගනුදෙනු කරන සෑම ව්‍යුහයක්ම ආක‍්‍රමණය කර ඒවා සොයා බලා බදු පැනවීම පහසු කරගෙන බදු අංක නිකුත් කරන්නේ ඒ අනුවය. ජනතාවගේ ආණ්ඩුවක් නමුත් අක‍්‍රමවත් මූල්‍ය පාලනය අභිමුවෙහි රාජ්‍යයෙහි බලය බාහිර ආයතනයක ග‍්‍රහණයට නතු වෙන්නේ මෙකී ආකාරයටය.
අලුත් රෙගුලාසි පැනවුවහොත් රජයේ අන්තර් ආයතන සම්බන්ධය මත ජනතාවගේ සියලු ආදායම් මාර්ග අනාවරණය කරගත හැකිය. වාණිජ බැංකුවල ගිණුම්, ක්‍රෙඩිට් කාඩ්, වාහන හෝ ඉඩම් මිලදී ගැනීම් පමණක් නොව ණය තොරතුරු කාර්යාංශයේ දත්ත ද මේවාට වහල් කරගන්නට ඉඩ ඇති බව පැවසේ. බැංකු ගිණුමකට මුදල් ඉතිරි කරන ප‍්‍රමාණය සලකා බලා ඒවායෙන් දැනටමත් බදු අයකරමින් සිටින ආණ්ඩුව එම මුදල් ලැබෙන ප‍්‍රමාණය සලකා පුද්ගල ආදායම් බදු පැනවීමට තීරණය කළහොත් මෙරට බැංකු හා මුල්‍ය අංශය බරපතළ අර්බුදයකට යා හැකි අතර ජනතාව බැංකු වලට පරිබාහිර තැන් වල ධනය පවත්වාගෙන යන්නට ඉඩ ඇති බව මෙහි දී මතක් කර දිය යුතුය.
1995 වසරේ දී රටට ශ‍්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් සියයට 20.4 ක බදු ආදායමක් උපයා ගත හැකි වී ඇති බව මහ බැංකු වාර්තා පෙන්වයි. 2015 වන විට රජයේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් සලකන විට සියයට 10.85 දක්වා පහතට වැටී තිබේ. එම බදු ප‍්‍රතිශතය සියයට 15-16 අතර ගණනක් දක්වා වැඩි කරගන්නට රජයට උපදෙස් ලැබී ඇත. එයට අනුව ජනගහනයෙන් මිලියන දහතුනක් රැකී රක්ෂා කරන මට්ටමක ඉන්නා බව හිතන ආණ්ඩුවේ ආදායම් බදු දෙපාර්තමේන්තුව එම සියලුදෙනා වෙනුවෙන් බදු ලිපි ගොනු ආරම්භ කිරීම ඉතාම පහසු දෙයක් යැයි කල්පනා කරන බව පෙනේ.
පසුගිය කාලයේ දී හිටපු මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ රට තුළ ආදායම් බදු ලිපි ගොනු 694,000 ක් පවත්වාගෙන යන බවය. මෙම ලිපි ගොනු ගණන ලක්ෂ දහ හතර දක්වා වැඩි කර ගැනීම ඉලක්කය බවව හෙතෙම හෙළිදරව් කළ බව සිහිපත් කළ යුතුය. අවුරුද්දක් ගතවීමට ද කලින් මෙම ලක්ෂ දහ හතර වෙනුවට සම්පූර්ණ වැඩි වයස් ජනගහනයේ සෑම කෙනකුම වෙනුවෙන් ලිපිගොනු විවෘත කර ඔවුන්ගේ දත්ත ණය කාර්යාංශයෙන් පවා ගන්නතට තැත් කිරීම යුක්ති සහගත ද යන්න ප‍්‍රශ්න කළ යුතුව තිබේ.
රජයේ ආදායම වැඩි කරගැනීමේ අරමුණ ගැන කරන ලද විවාදයක දී පාර්ලිමේන්තුවේ දී අනාවරණය කරන ලද කරුණු ද මෙහි දී පෙන්වා දිය යුතුය. මූල්‍ය අරමුදල පෙන්වා දෙන අන්දමට ම රජයේ ණය බර ඉහළ ගොස් ඇති බව එහි දී කියා තිබේ. ඒක පුද්ගල ණය ප‍්‍රමාණය 2000 වසරේ දී රුපියල් 64,000 ක සිට 2015 වන විට එක පුද්ගලයකුගේ ණය ප‍්‍රමාණය රුපියල් මිලියන හතර දක්වා වැඩි වී ඇත. ආණ්ඩුව කියන අන්දමට මෙම ණය බර වැඩි වූ තරමට ඒවායේ වාරිකය හා පොලිය ගෙවන්නට ලැබෙන ආදායම ප‍්‍රමාණවත් වී නැත. වත්මන් ආණ්ඩුවේ දේශපාලනඥයන් නිතර දක්වන අන්දමට අසාර්ථක, ආදායම් රහිත විශාල ව්‍යාපෘති රටට බලහත්කාරයෙන් පටවා තිබේ. ඒවායෙන් ආදායමක් නැත. මෙම ව්‍යාපෘති වෙනුවෙන් ලබා ගත් ණය ඒක පුද්ගල ණය වශයෙන් පෙන්වන ආණ්ඩුව ඒවා ගෙවන්නට ජනතාවගේ බැංකු ගිණුමේ ඇති ඉලක්කම් සොයා බැලීම සදාචාරාත්මක ප‍්‍රවේශයක්ද? ආණ්ඩුව ගත් ණය සම්පූර්ණයෙන් ජනතාවගේ අතට ලැබී ඒවායෙන් ඉතාමත් ඉසුරුමත් ජීවිත ගත කරන පුරවැසියන් ආණ්ඩුවට නියමිත බදු නොගෙවා වංචනික ජීවිත ගත කරන බවට වක‍්‍ර අවලාදයක් නැගීම සුදුසු නැත. එය නොගැලපෙන තර්කයකි.
ඇති නැති පරතරය ජනතාවගේ ජීවිත ගැන හරස් කඩකි. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සකස් කරන ඉලක්කම් දෙස බැලුවහොත් මෑත කාලය තුළ මෙරට ජනතාවගේ ඇති නැති පරතරය වැඩිවී ඇති බව සාක්ෂි සහිතව සටහන්ව ඇති බව පෙනේ. බැංකු හා ක්‍රෙඩිට් කාඩ්වලින් ජනතාව හුවමාරු කරගන්නා මුදල් ගැන සොයා බලන්නට සූදානම් වන ආදායම් බදු දෙපාර්තමේන්තුව මෙකී ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත සමග එකතු වෙන්නට තීරණය නොකරන්නේ මන්ද?
අනෙක් කාරණාව ඉතාම වැදගත්ය. ඉතාම ලෙහෙසියන් අති විශාල මුදල් උපයාගන්නා අලුත් මාර්ග රට පුරා හැදී තිබේ. ඒවායේ ගනුදෙනු සිදුවන්නේ බැංකු පොත් හරහා නොවේ. අති විශාල ධනයක් උපයා ගත් ආණ්ඩුවල හිතෛශීන් ඒවා මෙරට තැන්පත් කරන්නේ නැත. ස්විස් ගිණුම්වල නම සඳහන්ව ඇති ලාංකිකයන් ගැන තොරතුරු එහි එක පැත්තකි. මෙරට දේශපාලන පක්ෂ වලට මුදල් යොදවන කළු ආර්ථිකය එහි අනෙක් පැත්තයි. අද වන විට රට පුරා විශාල ආන්දෝලනයක් මතුවී ඇති කාරණා දෙස බලන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කොපමණ අසරණ ආයතනයක් ද යන්න මැනැවින් තහවුරු වෙයි. දුප්පත් ජනතාවගේ බැංකු ගිණුම ගැන සොයා බලන්නට පෙර මෙරට ආර්ථිකයේ කළු හා සුදු බව ගැන නිශ්චිත ගණන් ගැනීමක් අවශ්‍ය බව මතක් කරන්නට අවශ්‍යය.
I ගාමිණී සරත් ගොඩකන්ද