මිනිසාට ‘මිනිසා’ කියන්නේ මනසින් උසස් කියන තේරුම ඇතුව බව හැම මිනිහෙක්ම දන්න දෙයක්. හැබැයි මිනිස්සුන්ගෙ මනස හැදිලා තියෙන්නෙ, හැදෙන්න ඒ කියන තරම් උසස් විදිහකට ද කියන එක නම් ලොකු ප්‍රශ්නයක්. මොකද කිව්වොත් වෙන කිසිම සත්තු කොටසක් ගාව නැති තරම් බෙදීම් වෙන්වීම් මිනිස්සු තුළ තියෙනවා.
කාලයත් එක්ක මිනිස්සු හදාගත්තු සංස්කෘතියක කියන කාරණෙත් එක්ක ලෝකෙ මිනිස්සු අතර අසමානකම් ඇතිවෙලා. කතා කරන භාෂාවේ, අදහන ආගමේ, ආචාර සමාචාර කරන විදිහේ, කන කෑමේ, අඳින පළඳින විදිහේ පටන් මේ සියලු වෙනස්වීම් ලොකු දෙයක් කරගෙන මිනිස්සු තමන් එකිනෙකාගෙන් වෙන් කරගන්නවා. ඒ විතරක් නෙමේ ඒ හැම දේකටම තමන්ගේ කියලා ලොකු ලේබලේකුත් අලවගෙන ඒ වෙනුවෙන් කැපවෙන්න, නහින්න දඟලනවා.
පහුගිය කාලෙ පුරාවටම ත්‍රීවිල්වල බයික්වල සිංහ ලේ කියලා ලොකු අකුරින් ස්ටිකර් ඇලවුණා. (ඔය ස්ටිකරේ ප්‍රාඩෝවල මොන්ටෙරෝවල ඇලවෙන්නෙ නැතුව ත්‍රීවීල්වලට බයික්වලට බෝ වුණේ ඇයි කියන එක වෙනම මාතෘකාවක්) හැබැයි ඒ සිංහලේ කට්ටිය වගේම දෙමළේ මරක්කලේ කට්ටියත් ඕන තරම් ඉන්නවා.
ඔය එක එක ලේ කතන්දර මතුවෙන්නෙම අර කියපු තම තමන්ගේ සංස්කෘතික කාරණා ටික තමන්ට නැතිවෙයි කියල බයවෙච්ච කට්ටියක් ඉන්න නිසායි.
“අරුන් එන්නෙ අපිට කෙළින්න”
“මේක උන්ට ගිය රටක්ද?”
කඩ මණ්ඩියේදී බස් හෝල්ට් එකේදි කතාවෙනවා.
හැබැයි ඔය බෙදීම සරල වැඩියි. අපේ අය බෙදන්න ගියාම ඊට වඩා ගොඩක් සූරයි. සුද්දා අපේ රටේ තිබ්බ වැඩවසම් ක්‍රමේ තහනම් කළේ, 1833දියි. එහෙම කළේ ඒකට තියෙන අප්පිරියාවකට වඩා රට කෙරුවාව ලේසි කරගන්න වුණත් සුද්දා නවත්තපු ඒ මළ උලව්ව අපි අවුරුදු දෙසීයකට ළංවෙන කාලයක් තිස්සෙ බොහොම ලස්සනට පරිස්සම් කරන් ඇවිත් තියෙනවා. මංගල දැන්වීමක මුල් වචන දෙක තුන කියෙව්වම ඒක කොච්චර හොඳට ආරක්ෂා කරගෙන ඇවිත් ද කියලා තේරෙනවා.
සිංහල බොදු ගොවි, සිංහල බොදු කරාව, බොදු මිශ්‍ර වගේ වචනවලින් තමයි මංගල දැන්වීම් පටන් ගන්නෙ. අන් සියලු සුදුසුකම්වලට කලින් ඒක තමයි මතුවෙන්නෙ.
කුල ක්‍රමේ කියන්නෙ අපේ රටෙත් තව දකුණු ආසියාවෙ රටවල් දෙක තුනකත් තියෙන කාලකන්නි සංකල්පයක්. අපේ රටේ සීයට හැත්තෑවකට වඩා බෞද්ධ. ඒත් බුදුන් වදාරපු
නජච්චා වසලෝ හෝති - නජච්චා හෝති බ්‍රාහ්මණෝ
කම්මනා වසලෝ හෝති - කම්මනා හෝති බ්‍රාහ්මණෝ
කියන ගාථාව අපේ අය තඹ සතේකටවත් මායිම් කරන්නෙ නෑ.
අනික අවුරුදු දෙසීයකට උඩදි තිබ්බ කුලේ අදට දශමයකින්වත් වලංගු වෙන්නෙ නෑ. කරාව කියලා හංවඩු ගහන එවුන්ගෙන් අද මාළු බෝට්ටුවකට නැගලා තියෙන්නෙ කීයෙන් කී දෙනාද? දුරාව කියන එවුන්ගෙන් රා බීලා තියෙන්නෙ කී දෙනාද? සමහර සලාගම එවුන් කුරුඳු ගහක් ජීවිතේට දැකලා නෑ. ගොවිගමත් එහෙමයි. කුලෙන් ගොවිගම වුණාට සමහරවිට ඉන්නෙ මහ පාරෙ. ඒත් ඒ අවලංගු කාසිය අදටත් වලංගු කරගෙන දඟලන්නෙ වෙන දේකට නෙමෙයි, අනික් අකාට වඩා තමන් උසස් කියලා පෙන්නන්නයි. හිට්ලර් කිව්වෙත් ජර්මානු ජාතිය තමයි ලෝකෙ පිරිසිදුම ලේ, ආර්ය ජාතිය කියලා. එහෙම කියලා තමයි ලක්ෂ ගාණක් යුදෙව්වන්ව අමු අමුවෙ මැරෙව්වෙ.
හැබැයි ඔය අවුල තියෙන්නෙ සිංහල සමාජයේ විතරක්මත් නෙමෙයි. දෙමළ සමාජය තුළ කුලය කියන එක සිංහල සමාජයටත් වඩා කිහිප ගුණයකින් දරුණු විදිහට පැතිරිලා තියෙනවා. ඒක කොච්චර පිරිහීමක්ද කිව්වොත් වෙල්ලාල කුලේ අය ශුද්‍ර කුලේ කෙනෙක්ගෙ ගෙදරින් වතුර වීදුරුවක් බීම පවා පිළිකුල් කරනවා. ඒ හින්දා බලාගෙන යද්දි සිංහල දෙමළ භේදයක් නැතිව ශ්‍රී ලාංකිකයෝ විදිහට අපි කුලය ඔළුව උඩ තියාගෙන වන්දනා කරන ජාතියක්. උන් උන් අතරත් මේ විදිහට ඇණ කොටාගනිද්දි සිංහල දෙමළ මුස්ලිම් තුන්ගොල්ලොම එකට අත් අල්ලගෙන එකට යන ගමනක් ගැන හිතන්නවත් පුළුවන්ද?
ජා