2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා

කොළඹ කොටුවේ පිලාවුස් එකේ දඩිබිඩි චීස් කොත්තුව මාරයි

 2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 127

පිලාවූස් කියන්නේ කොළඹට යන එන බොහෝ දෙනෙක් ප්‍රියකරපු තවමත් ප්‍රියකරන තැනක්. සාමාන්‍යයෙන් බැලූ බැල්මට සාමාන්‍ය සයිවර් කඩයක පෙනුමක් තිබුණත් පිලාවූස් සැලකෙන්නේ කොළඹ නොම්මර එකේ කොත්තු කඩේ විදිහටයි.

පිලාවුස් කිහිපයක්ම කොළඹ වටේ තියෙනවා. ඒ අතරින් ගොඩක්ම ප්‍රසිද්ධ බම්බලපිටියේ පිලාවුස් හෝටලයයි. මධ්‍යම රාත්‍රියේදී පවා විවෘත වෙලා තියෙන මේ පිලාවුස් හෝටලය නිතරම සෙනඟ ගැවසෙන ජනාකීර්ණ තැනක්. 

කොහොම නමුත් බම්බලපිටියේ පිලාවුස් එකට සාපේක්ෂව හොඳ පිරිසිදුකමක් පවත්වාගෙන යන්න කොළඹ කොටුවේ විවෘත කරලා තියෙන පිලාවුස් එකට පුළුවන් වෙලා තියෙනවා. පැරැණි ලන්දේසි රෝහලට යාබදව පිහිටලා තියෙන මෙතැනට ගොඩක් විදේශිකයොත් එන්නෙ ලංකාවේ සයිවර් කෑම නියම රසයකින් ලබාගන්න පුළුවන් නිසා වෙන්න ඇති.

මෙතැන තියෙන කොත්තුවලින් රසවත්ම කොත්තුවක් තමයි චිකන් චීස් කොත්තුව. අනිත් කොත්තු කඩවල් චීස් කොත්තු කියලා කරන්නේ මොනතරම් බොරුවක් ද කියන දේ පිලාවුස් චීස් කොත්තුවට කට ගෑවත් දැනෙනවා. ඒක ඒ තරමටම රසවත්. මේ චීස් කොත්තුව මේසෙට එන්නෙ ටිකක් තලපයක් වගේ පෙනුමකින්. ඒකට ප්‍රධාන හේතුවත් හොඳින් චීස් දාලා හදලා තිබීම. කොත්තුව ගිලිද්දී දැනෙන්නේ හරියට චීස් සහ චිකන් අතර තරගයක් වගේ. එක රසකට තව රසක් පරදින්නෙ නැති තරමට චීස් සහ චිකන් යහමින් යොදලා තියෙනවා.

ඊට අමතරව බිරියානි, ෆ්‍රයිඩ් රයිස් වගේ ආහාර වර්ග ගොඩක් මෙතැන තියෙනවා. ඒ කොච්චර වුණත් දඩිබිඩියේ දාලා ගේන චීස් කොත්තුව තමයි පිලාවුස් ස්පෙෂල්.