2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා

අලුත් ලෝකේ අල්ලා ගන්න රටට අලුත් ප්ලෑනක්

 2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 174
ලෝක බැංකුවේ යෝජනාවක් මත 2011 – 2030 යන කාල‍යේ රටේ භෞතික සංවර්ධනය උදෙසා මේ වනවිට රජය ජාතික භෞතික සැලසුම යනුවෙන් රටේ සංවර්ධනය සඳහා සංවර්ධන සැලසුමක් සකස් කර තිබේ. පසුගිය ආණ්ඩුව මගින් ආරම්භ කළ මෙය වර්තමාන යහපාලන රජය විසින් ද කරගෙන යනු ලබයි. 2030 වනවිට අප රටෙහි ලෝක නාවික මධ්‍යස්ථානයක්, ගුවන් මධ්‍යස්ථානයක්, ආර්ථික මධ්‍යස්ථානයක් හා අධ්‍යාපන මධ්‍යස්ථානයක් මෙම සැලසුම් මගින් ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඉදිරි දශකය සඳහා මේ යටතේ නව සැලසුම් කිහිපයක්ම ක්‍රියාවට නැංවීමට මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයද කටයුතු යොදනු ඇත. 
 
 
ආර්ථික, සංවර්ධන කලාප, මහානගර ව්‍යාපෘති, දුම්රිය හා අධිවේගී මාර්ග ඇතුළු සියලුම සංවර්ධන ව්‍යාපෘති මෙන්ම බස්නාහිර පළාත වෙනුවෙන් සිදුකරන මහානගර ව්‍යාපෘතියට අමතරව ගාල්ල, මහනුවර, අනුරාධපුරය සහ යාපනය කේන්ද්‍ර කරගනිමින් උපාය මාර්ග සැලසුම් නගර බිහිකිරීමට නියමිතව ඇත. එමෙන්ම මෙම වැඩසටහන යටතේ ත්‍රිකුණාමලය සහ හම්බන්තොට යන නගර මේ තත්ත්වය යටතේ විශේෂ ආර්ථික කලාප ලෙස දියුණු කෙරෙනු ඇත.
මෙම සැලසුම් ක්‍රියාත්මක කරන ඕනෑම රටක් මෙම ක්‍රියාවලිය යාවත්කාලීන කිරීම අවශ්‍ය වන අතර මෙම නගර භෞතික සැලසුම ලබන වසරේ සිට නව මුහුණුවරකින් ක්‍රියාත්මක වන්නේ ඒ අනුවය.
ඒ අනුව ගත් කළ 2030 වසර වනවිට මහානගර කලාප තුළ පදිංචි කිරීමට නියමිත ජන සංඛ්‍යාව දැක්වෙන්නේ මෙසේය.
 
නගර කලාප  /  පදිංචි කරනු ලබන ජනගහනය
 
බස්නාහිර නගර කලාපය මිලියන 3.5
දකුණු මහ නගර කලාපය මිලියන 1
ගාල්ල නගර කලාපය මිලියන 1
නැගෙනහිර නගර කලාපය මිලියන 1
උතුරුමැද මහ නගර කලාපය මිලියන 4
යාපනය මහ නගර කලාපය    මිලියන 1
 
මේ වනවිට මෙරට පවතින ආර්ථික සමාජීය දියුණුව සඳහා භෞතික පසුබිම සකසන ආකාරය මෙහි ප්‍රධාන අරමුණ වී ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට, සමාජීය සංවර්ධනයට මෙන්ම පරිසර සංරක්ෂණ කටයුතු සඳහා ද මෙම භෞතික සැලැසුම යටතේ අංගයන් ක්‍රියාත්මක වේ.
 
2050 වසර වනවිට ජනගහනය සමඟ නාගරික සංවර්ධන කටයුතු සඳහා මෙම ව්‍යාපෘතිය මගින් ඉඩකඩ වෙන්කර තිබේ. ඒ අනුව කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා සංවර්ධන තීරුවකට අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීම ආරම්භ වනු ඇත. කළුතර, පානදුර සිට කොළඹ හරහා රාගම, ගම්පහ, වේයන්ගොඩ, කුරුණෑගල, දඹුල්ල, කන්තලේ යන සංවර්ධන තීරුවෙහි ලංකාවේ ජනගහනයෙන් 1/3ක් පදිංචි වීමට බොහෝ ඉඩකඩ ඇත.
මෙම ප්‍රදේශ සඳහා විධිමත් සංවර්ධන ක්‍රියාවලියක් ක්‍රියාවට නංවා මෙම වැඩසටහන අරඹන අතර ඒ මගින් බොහෝ ජනතාවට ලාභ ප්‍රයෝජන රැසක් හිමි වීමට නියමිතය.
 
ජලය, විදුලිය, ගෑස් මෙන්ම ඉදිකිරීමට නියමිත මධ්‍යම අධිවේගී මාර්ගයේ කටයුතු ද මෙම සැලැස්ම තුළින් සංවර්ධනය කෙරෙනු ඇති අතර එමගින් බොහෝ ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමට හැකි වනු ඇත.
ජාත්‍යන්තර ගුවන් තොටුපළ දෙකක් සහ ප්‍රධාන කලාපීය වරායන් දෙකක් දැනටමත් මෙම ආර්ථික කවුළුව තුළ පවතින ගෝලීය සැපයුම් දාමයට ශක්තිමත්ව සම්බන්ධ වීමත් සමඟ වැඩි හුවමාරැවක් සහ වැඩි වෙළෙඳාමක් උදෙසා ඇති වන අධික ඉල්ලුම සපුරාලීමට හැකිවන අන්දමින් ගුවන් තොටුපළ සහ වරාය සංවර්ධනය කරලීමේ කටයුතු මෙම වැඩසටහනේ මේ වනවිටද ක්‍රියාවට නැංවෙමින් තිබේ. 
 

අතමිට සරුකරන ආර්ථික මෙහෙයුමක්

 

මෙලෙස සැලසුම් කර ඇති සියලුම නගර ව්‍යාපෘති ආශ්‍රිතව විශේෂ කැලිකසළ බෙදාහැරීමේ ව්‍යාපෘති, බලශක්ති නිෂ්පාදන ව්‍යාපෘති සහ ජල කළමනාකාරණ ව්‍යාපෘති සැලසුම් කර ඇත.
කලාපයේ ප්‍රධාන ගුණාත්මක ආහාර අගයන රටක් ලෙස ජාත්‍යන්තරය පවා ජයගෙන සිටින අප රටේ දිගු කාලීන වැඩපිළිවෙළක් බවට පත්කිරීම සඳහා වන අංග රැසක්ද මෙමගින් ක්‍රියාවට නැංවේ.
මධ්‍යම සහ බස්නාහිර ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති යටතේ මහනුවර නගරය පේරාදෙණියේ සිට කුණ්ඩසාලේ දක්වා විහිදෙන නව සැලැස්මක් මේ යටතේ ඇත. උතුරු පළාතේ මෙන්ම පොළොන්නරු පුරවරයේ ද වැඩසටහන් රාශියක් සිදු කිරීමට නියමිතය.
භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ජගත් මුණසිංහ මෙසේ කියයි.
 
“2020 වසර වෙනකොට කෙටි කාලීන වශයෙන් ළඟාකර ගතයුතු භෞතික සැලසුම් ඉලක්ක හා මධ්‍ය කාලීන වශයෙන් 2030 දක්වා ලබාගත යුතු අරමුණු මෙන්ම දීර්ඝකාලීන ලෙස මෙමගින් සංවර්ධන වැඩපිළිවළවල් ක්‍රියාවට නැංවීමට නියමිතයි. මේ සම්බන්ධව අපි විසින් කරන ලද අධ්‍යයනයෙන් අනතුරුව පළමුවෙන් අපි දැකපු දේ තමයි ලංකාවේ දැනට තියන ඉඩම්වල සහ පරිසරයේ සංවර්ධනය විය යුතු අංග තිබෙන බව. ඒ වගේම ලංකාවේ ජනතාව ජීවත් වන පරිසර ආරක්ෂක වැඩසටහන් ක්‍රියාවට නංවනවා. මධ්‍යම කඳුකරය සංරක්ෂණය කිරීමටත් අපි බලාපොරොත්තු වනවා. ඒ වගේම ප්‍රධාන සංවර්ධන තීරුවට අමතරව තවත් සංවර්ධන තීරු තුනක් ක්‍රියාවට නැංවීමට නියමිතයි. එහි දෙවැනි වැඩපිළිවෙළ යටතේ අම්බලන්ගොඩ සිට ඇඹිලිපිටිය ද ඇතුළත්ව තිස්සමහාරාමය දක්වාත් වාලච්චේන සිට මඩකලපුව හරහා අම්පාර දක්වාත් ක්‍රියාවට නැංවීමට නියමිතය. මෙහි තුන්වන පියවර ලෙස යාපනයේ සිට කිලිනොච්චිය දක්වාත් සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවෙන අතර එම ප්‍රදේශවල සැහැල්ලු කර්මාන්ත සංවර්ධනය ඇතුළු තවත් බොහෝ සංවර්ධන කටයුතු මේ මගින් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
 

උඩ පහත දෙරට යාවෙන අධිෙව්ගී පාරක්

 
නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්ක, කොළඹ, මහනුවර අධිවේගී මාර්ගයට හා මත්තල හරහා දක්ෂිණ අධිවේගී මාර්ගයට සම්බන්ධ කිරීමෙන් මධ්‍යම කඳුකරය පුරා පැතිරෙන අනු ආර්ථික කවුළුවක් නිර්මාණය කිරීමට ද මෙම වැඩපිළිවෙළ යටතේ ක්‍රියාවට නැංවේ.
 
සියලු ලාංකික ජනතාවට යමක් කමක් ලැබෙන ආර්ථිකයක් ගොඩනැගීම සැලසුම්සහගතව කළයුත්තක් වන අතර ඒ අනුව යමින් මෙරට ස්වභාවික පිහිටීම ද ලෝක තලයේ ආර්ථික ක්‍රියාකාරකම්වලට ගලපා ගැනීමට අප සූදානම් විය යුතුය යන ස්ථාවරයේ සිට මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවෙනු ඇත.
 
 හසිත් අංජන
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00