2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා

වත්තල MOMO බුෆේ එක ෆස්ට් ක්ලාස්

 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 74

කොළඹට බොහොම සමීපයෙන් පිහිටලා තියෙන වත්තල, ජනාකීර්ණ වගේම දියුණු නගරයක්. වත්තල දියුණුවත් එක්ක මේ වනවිට අවන්හල් රැසක්ම ඒ ප්‍රදේශයේ දැකගන්න පුළුවන්. ඒ අතරින් වත්තල නගරයේ ඉන්න අයත් මීගමුවට, ජා ඇළට යන එන අය අතරත් වත්තල MoMo අවන්හල ගොඩක් ජනප්‍රියයි.

පරණ මීගමු පාරේ පිහිටලා තියෙන මේ අවන්හල දේශීය වගේම ඉන්දියානු, බටහිර ආහාර වර්ගවලට ප්‍රසිද්ධයි. සාමාන්‍යයෙන් රාත්‍රියේදී පිළිගැන්වෙන ශ්‍රී ලංකන් බුෆේ එක වෙනුවෙන් වත්තල ප්‍රදේශයේ ගොඩක් දෙනෙක් මෙතැනට ඇදෙනවා.

මෙතැනදි ගොඩවුණු අපි මුලින්ම බීමට තෝරාගත්තෙ Homemade Ginger Beer සහ පැෂන් ජූස්. ජින්ජර් බියර් එක නම් අපි සාමාන්‍යයෙන් රස බලන සෝඩා මිශ්‍ර වෙච්ච ජින්ජර් බියර්වලට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. සෝඩා රස කපාගෙන ඉඟුරු රසය හොඳින්ම දැනෙනවා. ඒ වගේම වෙනස් උකු ගතියකුත් ඒකෙ තියෙනවා.

පැෂන් ජූස් එකත් ඒ වගේමයි. ජූස් එක මුදුනේ පැෂන් පේස්ට් එකකුත් සමඟයි ජූස් එක පිළිගන්වන්නෙ. ඒක හරි ගාණට ගම්මිරිස් ටිකකුත් එකතු කරලා තියෙන නිසා වෙනස්ම රසයක් ලැබෙනවා. මේවාට අමතරව ලයිම් ඇන්ඩ් මින්ට් ජූස් එකත් මෙතැන තියෙන ප්‍රසිද්ධ බීම වර්ගයක්.

ආහාර වර්ග අතුරින් මෙතැන සැන්ඩ්විච් වර්ගවල ඉඳන් නාන් රොටි, බිරියානි දක්වා ලොකු පරාසයක ආහාර වර්ග තියෙනවා. ඒ සමඟ චිකන්, මට්න්, ලැම්බ් වැනි ආහාර දීසි වගේම නිර්මාංශ ආහාර දීසි කිහිපයකුත් තිබෙනවා. අපි නාන් රොටි කිහිපයක් රස විඳින වෙලාවෙදි ඒ සමඟ ගත්තු චිකන් ටික්කා දීසිය ටිකකින් ඉවර වුණා. නමුත් ඒ වෙද්දි තවත් නාන් රොටියක් දෙකක් පමණයි ඉතුරු වෙලා තිබ්බෙ. ඒ වෙලාවෙදි අපේ මේසයට ආහාර පිළිගන්වපු වේටර් මහතා අපිට වෙනත් ව්‍යංජන දීසියක් ගෙනාවෙ අය කිරීමකින් පවා තොරවයි.

අවසාන වශයෙන් බැලුවම වත්තල MoMo අවන්හලේ තියෙන හොඳම දේ තමයි ඔවුන්ගේ උණුසුම් සත්කාරශීලීත්වය. එතැන කාර්ය මණ්ඩලයේ හැමකෙනෙක්ම වගේ උපරිම පාරිභෝගික සේවාවක් ලබාදෙනවා. ආහාර වෙනුවෙන් යම් යම් නිර්දේශ දෙන්න වගේම පාරිභෝගිකයන්ගෙ හැම අවශ්‍යතාවයක්ම හොඳින් සලකා බලන්නත් ඔවුන් සැදී පැහැදී ඉන්නවා. ඉතින් එක්වරක් එතැනට ගිය කෙනෙක් නැවතත් එතැනට ගොඩවෙන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. 

I රජිත