මීට අවුරුදු තුනකට විතර උඩදි දර්ගා ටවුන් කලබලේ වෙලාවෙදිත් ඊට පස්සෙ ඇතිවෙච්ච එක එක සිද්ධිවලදිත් ෆේස්බුකිය පුරා හමා ගිය ලොකු රැල්ලක් තමයි Stand against racism කියන්නෙ. සිංහලෙන් කිව්වොත් ‘වර්ගවාදෙට එරෙහිව පෙළගැහෙමු’ කියන එකයි. සිංහල දෙමළ මුස්ලිම් කියන අපි හැමෝම එකම මිනිසුන් කියන එක තමයි ඔය විදිහට පෝස්ට් දාපු කමෙන්ට්ස් දාපු බහුතරයකගෙ මතය වුණේ. ඒක රැල්ලක් වුණත් ඒ වෙලාවේ අවශ්‍යම වෙලා තිබුණු රැල්ලක් බවට තර්කයක් නෑ.
ඒත් අපේ මිනිස්සුන්ගේ පුරුද්දක් තමයි මොකක් හරි සිද්ධියක් වුණාට පස්සෙ ඒකෙ මතුපිට දැකලා ඒ ගැන අදහස් පළ කළාට, ඒ සිද්ධියේ මුල් ඇදපු පොළොවෙ පස් යටට වෙලා හැංගිලා ඉන්න බිජුව මොකක්ද කියලා හොයන්න මහන්සි වෙන්නෙ නෑ. ඕක ලංකාවෙ විතරක් නෙමෙයි මුළු ලෝකෙම, සමස්ත මනුෂ්‍ය සංහතියෙම තියෙන ප්‍රශ්නයක්.
වර්ගවාදෙ කියන කතාව ඇතුළාන්තෙ දිහා බැලුවම පේන්න තියෙන්නෙ මිනිස්සු නිතරම හිත ඇතුළෙන් තමන් අනිකාට වඩා වෙනස් කියලා හිතන්න දඟලන එකයි. ඕකට ජාතිය ආගම විතරක් ගාව ගන්න ඕනෙත් නෑ. කාර් එකක් පදින මනුස්සයා හිතන්නෙ තමන් ත්‍රීවීල් එකක් පදින එකාට වඩා වෙනස් කියලයි. ත්‍රීවිල් එකක් පදින මනුස්සයා කාර් එකක් පදින එකා ගැන හිතන්නෙත් එහෙමයි. මේ විදිහට සමාජයේ අහන්න දකින්න තියෙන හැම දේකින්ම මේ වෙනසට මිනිස්සුන්ගෙ තියෙන නැඹුරුව හොඳට බලාගන්න පුළුවන්.
එහෙම වුණත් සමාජ මාධ්‍ය දියුණු ලෝකෙ මිනිස්සුන්ගේ කුහක බව දස දහස් ගුණයකින් වැඩිවෙලා ගිහින්. තමන්ගෙ හිතට ඇත්තට දැනෙන හැඟීම් පැත්තකින් තියෙද්දි ශාන්තුවරයින් වගේ කතාකරන්න හැසිරෙන්න මිනිස්සු සමාජ මාධ්‍ය පාවිච්චි කරනවා.
වර්ගවාදෙට අපි විරුද්ධයි, ජාතිවාදෙට අපි විරුද්ධයි කියලා කියන මහ ඈයෝ තමන්ගෙ ළමයෙක් කසාද බන්දන්න යද්දි වරිගෙ නොසොයා ඉන්නවද? කුලේ බලන්නෙ නැතිව ඉන්නවද? කියලා හොයන්න සමීක්ෂණ කරන්න ඕන නෑ. පත්තර පිටු අතර ඒක ඕනවටත් වඩා හොඳට සාක්ෂි ඇතුව දකින්න පුළුවන්.
අනික් අතට අපේ හිත ඇතුළෙ ගුලිවෙලා මිරිකි මිරිකි තියෙන වර්ගවාදෙ, ආගම්වාදෙ වගේම වර්ණ වාදෙත් හිත ඇතුළෙ වැඩකරන්නෙ අපිටත් නොදැනීමයි. ආසියාතිකයෝ විදිහට අපේ ඔලුවේ වැඩ කරන්නෙම අපි කළු මිනිස්සු කියන හැඟීමයි. සුදු හමක් තියෙන සුද්දෝ කියලා කියන පිරිසක් අපේ රට යටත් කරගෙන හිටි හින්දා අපි සුද්දන්ට, සුදු හමට වෛර කරනවා. කල්ලෝ පව් කියලා හිතනවා.
හොඳ උදාහරණයක් දෙන්න පුළුවන්. ඔලිම්පික් තරගෙකදි සුදු හම තියෙන ක්‍රීඩකයෙකුයි, කළු හම තියෙන ක්‍රීඩකයෙකුයි ඉන්න බොක්සිං තරගයක් බලද්දි අපේ වැඩිදෙනෙක් සපෝට් කරන්නෙ කල්ලට. කල්ලා දින්නොත් අපි හිත යටින් සතුටු වෙනවා. සුද්දට හොඳ වැඩේ කියලා හිතෙනවා. එංගලන්තෙ, ඕස්ට්‍රේලියාවෙ ක්‍රිකට් ටීම් පේන්න බැරි අපේ අයියලාට ක්‍රිස් ගේල්ලා, ඩැරන් සාමිලා පට්ට පොරවල් වෙන්නෙත් ඔය හේතුව හින්දමයි.
වැදගත්ම කාරණේ මේ ඇත්ත තේරුම් ගන්න එකයි. අපි උඩින් මතුපිටින් කොච්චර හොඳ මිනිස්සු කියලා පෙන්නන්න හැදුවත් ඇතුළෙන් අඟුරු වගේ කළු පාට මිනිස්සු. හැබැයි ඒ කළු බව දැනගන්න එක තමයි කළු බවින් අත් මිදෙන්න නම් කරන්න තියෙන පළවෙනි වැඩේ. එක රටක ඉපදිලා, වෙන රටක විප්ලවේ කරලා, තවත් රටකදි මියැදුණු චේ වගේ මිනිහෙක් (දේශපාලනික අර්ථයෙන් නෙමෙයි) වෙන්න පුළුවන් එතකොටයි.
ජා