පස්දුන් කෝරළේ
පිටිසර කැකිල්ල වත්තේ
උස් ගරාදි ලොකු දොර පලු
ලේ පැල්ලම් තැවරුණු
ගරා වැටුණු බිත්ති හතර
අසූනමයේ කැරලි කාලේ
අප්පොච්චගෙ පිට පුච්චපු
වධකාගාරේ
දැන් පෙන්නනවා බයිස්කෝප්
රූට හවසට
වීඩියෝ සුනිල් පළාතෙම
හරි ප්‍රසිද්ධ
පරණ ප්‍රොජෙක්ටරේ දාලා
කරන්ට් එකත් නැතිව
පෙන්නනවා පික්චර්
හින්දි ඉංගිරීසි සිංහල හෙම
ලාම්පුතෙල් ජෙනියෙන්
ඉස්සරහම ලොකුම සාලෙ
පේළියකට බංකු තියලා
සත පහටලු ටිකට් කැඩුවෙ
කබර ඇක්මා ඒ කාලේ
දැන් රුපියල් පහක්
පිටිපස්සෙම දෙවැනි බාගෙ
ගමේ ඉන්න නාකියො ටික
වැඩිහිටියොට කාම සූත්‍රෙ
දන්න අඳුරන අයට විතරලු
හිතවතා සුනිල් රුපියල් දහයක්
ළඟදි පෙන්නපු අලුත්ම එක
“කෑවොත් කපෝතියි”
කඩු පයිට් එකක්
සුදුවා ගහපු ඇක්මා
පෙරළන් ඇන්නලු කළුවරේම
පෙස්සන් මිල්ට ට
කිරි පිහියෙන්
අඩු වයසින් කොළඹට ගිය
තොල් දෙක රතු
පියයුරු ලොකු
ලංසි වත්තෙ සුද්දි
පයිට් අස්සෙ හීන් කෙඳිරි
හරි බිස්නස් රෑට හවසට
රතු පාටට ලේ වැගිරුන
දහස් ගණන් සුසුම් වැටුණ
විප්ලවයට නටඹුන් වුණ
වධකාගාරේ
දැන් පෙන්නනවා බයිස්කෝප්
රෑට හවසට
වීඩියෝ සුනිල්
පළාතෙම හරි ප්‍රසිද්ධ
(මාර්ක් - ආඛ්‍යාන ටුෂාන් වීරරත්න)