2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

කටේ ඇදයට ප්‍රතිකාර

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 524

පක්ෂඝාතය හෙවත් අංශභාගය සමඟ හෝ තනිව ඇතිවිය හැකි රෝග තත්ත්වයක් ලෙස අර්දිත හැඳින්විය හැක. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මෙය වාත දෝෂය දූෂණය වීමෙන් හටගන්නා රෝගයක් ලෙස විස්තර කෙරේ. බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව Facial Paralysis ලෙස හඳුන්වන මෙය ස්නායු රෝග ගණයට ගැනේ. මුහුණ හා ඒ ආශ්‍රිත ප්‍රදේශයට ස්නායු සපයන Facial News නැතහොත් වක්ත්‍ර ස්නායුව පීඩාවට ලක්වීම නිසා රෝග ලක්ෂණ හට ගනී.

ස්නායුව පීඩාවට ලක්වීමට බලපාන හේතුව අනුව රෝග ලක්ෂණ ක්ෂණික හෝ ක්‍රම ක්‍රමයෙන් ඇතිවිය හැක. උදාහරණයක් ලෙසින් ආඝාතයකදී (Stroke) එකවර රෝග ලක්ෂණ හටගනී. ස්නායුව පීඩා වන්නේ අර්බුදයක් නිසා නම් එහි වර්ධනයත් සමඟම රෝග ලක්ෂණ ක්‍රම ක්‍රමයෙන් හටගනී.

එමෙන්ම,

• යම් ආසාදිත තත්ත්වයන් (Infection)

• හිසට සිදුවන අනතුරක් හේතුවෙන් (Trauma)

• හිසෙහි හෝ ගෙලෙහි ඇතිවන අර්බුද නිසා (Tumors)

• ආඝාතය (Stroke)

හේතුවෙන් ප්‍රධානම ස්නායුව පීඩාවට පත්විය හැක.

මෙම ස්නායුව හත්වැනි කපාල ස්නායුවයි. එමඟින් මුහුණ හා ඒ ආශ්‍රිත මාංශ පේශි ක්‍රියාකාරීත්වය, රස සංවේදනය, කඳුළු ග්‍රන්ථි හා ඛේට ග්‍රන්ථිවල ක්‍රියාකාරීත්වය පාලනය කරනු ලබයි.

ස්නායුව පීඩාවට ලක්වීමෙන් ඇතිවන රෝග ලක්ෂණ

• මුහුණේ එක් අර්ධයක මාංශ පේශි ක්‍රියාකාරීත්වය අකර්මණ්‍ය වීම. කලාතුරකින් රෝග ලක්ෂණය මුහුණේ දෙපසම දැකිය හැක.

• ඇසිපිය වැසීමට නොහැකිවීම. කඳුළු ගැලීම අඩුවීම.

• කට පැත්තට ඇදී යාම.

• ආහාර ගිලීමට ඇති අපහසුව.

• කතා කිරීමට ඇති අපහසුව. ඇතැම් අයට ගොත ගැසීම, වචන පැටලීම, හඬ පිට නොවීම ආදියද ඇතිවිය හැක.

• රස සංවේදනය නොදැනීම.

• කන හෝ කන් පිටුපස වේදනාව.

• ශබ්දවලට සංවේදිතාවය වැඩිවීම.

මෙවැනි රෝග තත්ත්වයන් ඇතිවීමට බලපාන හේතුව අනුව රෝග ලක්ෂණය වර්ධනය වීමට ගන්නා කාලය හා රෝග ලක්ෂණවලට තීව්‍රතාවය මෙන්ම රෝගය සුවවීමට ගන්නා කාලය තීරණය වේ.

රෝගය සඳහා ප්‍රතිකාර

• මේ සඳහා කරනු ලබන ප්‍රතිකාරය තීරණය කරනු ලබන්නේ අදාළ වෛද්‍යවරයා විසිනි.

•ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව සාර්ථක ප්‍රතිකාර ඇති අතර ඖෂධ පානය, මෙන්ම තැවීම් මඟින්ද ප්‍රතිකාර කරනු ලැබේ.

• අභ්‍යන්තර හා බාහිර ආයුර්වේද ඖෂධීය ප්‍රතිකාර මඟින් මෙවැනි රෝගීන්ට ප්‍රතිකාර කෙරේ.

• ඊට අමතරව යෝග ව්‍යායාම් භාවිතයෙන්ද නිසි කලට ප්‍රතිකාරවලට යොමුවීමෙන්ද ආයුර්වේදයෙන් &අර්දිත* රෝගය සඳහා සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක.

ආයුර්වේද වෛද්‍ය කුමුදුනී ද සිල්වා