2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

ලංකාවේ තරු හෝටල් වංසකතාව අලුතින් ලියන ෂැංග්‍රිලා

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 278

ගාලු මුවදොර පිටියට මුහුණලා නැඟුණු ෂැංග්‍රිලා හෝටලය පසුගිය බ්‍රහස්පතින්දා (16) විවෘත කෙරුණා. වසර තිහක කාලයකදී කොළඹදී සිදුවුණු වඩාත්ම අවධානය දිනාගත් හෝටල් විවෘත කිරීමේ උත්සවය හැටියටත් මෙය හඳුන්වන්න පුළුවන්. 

ජාත්‍යන්තර ෂැංග්‍රිලා හෝටල් දාමයට අයත් ලංකාවේ දෙවැනි හෝටලය තමයි ෂැංග්‍රිලා කලම්බු හෝටලය. කොළඹ නගරයේ හදවත බඳු තැනක ඉදිවී තිබෙන මේ හෝටලය ඉදිරියේදී බොහෝ විචිත්‍රවත් උත්සව, වැඩසටහන් සඳහා තෝතැන්නක් බවට පත්වන්නට නියමිතයි. මේ හෝටලයේ වර්ග මීටර 3,500ක ප්‍රමාණයක් උත්සව සහ වැඩසටහන් ආදිය සඳහාම වෙන්වී පවතිනවා. ඒ බෝල් රූම් උත්සව ශාලා දෙකක්, තවත් කුඩා ප්‍රමාණ උත්සව කාමර කිහිපයක් හා පෞද්ගලික එළිමහන් භූමියක් ද ඇතුළුවයි.

බැංකොක් සහ සිංගප්පූරුව වැනි විදේශ ගමනාන්ත සමඟ කරට කර තරග කරමින් ශ්‍රී ලංකාව එහෙමත් නැත්නම් කොළඹ, සම්මන්ත්‍රණ, රැස්වීම්, සමුළු, ව්‍යාපාරික හමුවීම් ආදියේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට ෂැංග්‍රිලා කලම්බු හෝටලයේ ආගමනයත් ලොකු හේතුවක් වේවි. ඊට අමතරව විවාහ උත්සව, සමාජ වැඩසටහන්, විචිත්‍රවත් රාත්‍රී ආහාර සාද ආදියත් මෙහිදී ඉදිරියට දැකගත හැකිවේවි.

ෂැංග්‍රිලාහි වර්ග මීට 1,580ක විශාලත්වයෙන් යුතු බෝල් රූම් ශාලාව දකුණු ආසියාවේ පිහිටි විශාලතම කුලුනු රහිත බෝල්රූම් ශාලාව ලෙස හැඳින්වීමට පුළුවන්. එහි සාමාන්‍ය උත්සව ශාලා සැරසුමකදී අමුත්තන් 1,500ක ප්‍රමාණයකුත් උපරිම අමුත්තන් 2,100ක ප්‍රමාණයකුත් සඳහා අසුන් පැනවිය හැකියි. ලෝටස් බෝල්රූම් ශාලාවේ අමුත්තන් 400ක අසුන්ගන්නත් කොක්ටේල් සාදයකට නම් අමුත්තන් 600කටත් සහභාගී වීමට ඉඩ තිබෙනවා.

ෂැංග්‍රිලා කලම්බු හෝටලයේ Suites ද ඇතුළත්ව මුළු කාමර 500ක් පවතිනවා. ඊට අමතරව සුඛෝපභෝගී නිවාස ඒකක 41කුත් ඊට ඇතුළත්. ව්‍යාපාරික හා සම්මන්ත්‍රණ සඳහා වැඩි අවධානයක් යොමු කරන ෂැංග්‍රිලා කලම්බු හෝටලය ඒ සඳහා කාමර සපයන මිල ඩොලර් 179ක් (රැපියල් 28,000ක් පමණ) ලෙස සඳහන්. 

අක්කර 10ක භූමියක පිහිටා ඇති මේ හෝටල් බිමේ ඉතාම ඉක්මනින් දැවැන්ත කාර්යාල සංකීර්ණයක්, නිවාස සංකීර්ණ දෙකක් සහ සාප්පු සංකීර්ණයක් ඉදිවීමට නියමිතයි.

හොංකොං පදනම් කරගත් ෂැංග්‍රිලා හෝටල් දාමය සතුව මේ වනවිට ලොව පුරා හෝටල් 95ක හිමිකාරීත්වය පවතිනවා. එහි මුළු කාමර එකතුව 40,000ක්. මේ සියලුම හෝටල් තරු පහේ හෝටල් වීමත් විශේෂත්වයක්. ශ්‍රී ලංකාවට අමතරව ඕස්ට්‍රේලියාව, කැනඩාව, චීනය, ප්‍රංශය, ෆීජී, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, මැලේසියාව, මාලදිවයින, මුරුටිය, මොංගෝලියාව, මියන්මාරය, පිලිපීනය, කටාරය, සිංගප්පූරුව, ඕමානය, තායිවානය, තායිලන්තය, තුර්කිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, එක්සත් රාජධානිය යන රටවල්වලත් ෂැංග්‍රිලා හෝටල් දැකගන්න පුළුවන්. 

I සනත් වීරසූරිය
සේයාරූ - නිර්මල ධනංජය

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00