කිසිවකුත් දකින්නට නොසිටි රාත්‍රියේ රාජගිරිය මාදින්නාගොඩ ප්‍රදේශයේ අන්ධකාරය තරමකට මැකී තිබුණේ විදුලි පහන් ආලෝකය නිසාය. මධ්‍යම රාත්‍රිය ගෙවී හෝරා දෙකක් පමණ ඉක්මවා තිබූ හෙයින් මාර්ගයේ රථ වාහනයක් හෝ නොවීය. ඒ මොහොතේ වේලාව අලුයම 1.50ට ආසන්නය. රාජගිරිය දෙස සිට මාදින්නාගොඩ පාරේ අධික වේගයෙන් ධාවනය වන රතු පැහැති කැබ් රථයකි. ඊට මීටර් හතළිහක පමණ පසු පසින් පෙර කී වේගයෙන්නම ධාවනය වන නිල් පැහැති මෝටර් රථයකි. කැබ් රථයේ පසුපස තරුණ ගැටවුන් පිරිසක් නැගීගෙනය. පැමිණි වේගයෙන්ම කැබ් රථය ඉදිරියේ වූ වංගුවක් ඔස්සේ ගියා පමණය. වේගය නිසා වම් පසට ඇලවූ රථය ටික දුරක් යන තෙක් ධාවනය වූයේ වම්පස රෝද දෙකෙන් පමණි. එසැණින් පෙරළී ගිය කැබ් රථය පාරේ වම්පස කෙළවර තිබූ තාප්පයක හැප්පී හානි විය. ක්ෂණයකින් ඒ පසු පසින් ආ මෝටර් රථය කැබ් රථයේ කෙළවර ගැටී ඒ වේගයෙන්ම පාරේ දකුණු පස තාප්පයක හැපී නතර විය. පෙරළුණු කැබ් රථයේ පසුපස සිටි තරුණයන් එකා දෙන්නා නැගිටින බවක් පෙනුණේ ඉන් අනතුරුවය.
මේ ආකාරයට සිදු වූ මාරක රිය අනතුර අසලනිවෙසක සවිකර තිබූ සී.සී.ටී.වී කැමරාවක පටිගත වී තිබුණේ චිත්‍රපටයක ජවනිකාවක් හා සමානවය.
වේගයෙන් පැමිණි කැබ් රථය පාර පසෙක තාප්පය කඩාගෙන පෙරළී මොහොතක් යන්නයට මත්තෙන් කැබ් රථය ගැටුණු ඉදිකරමින් පැවති දෙමහල් ගොඩනැගිල්ලේ ඉහළ කොටසක් කඩාගෙන වැටුණේ අපහසුවෙන් සිටවීමට උත්සාහ ගනිමින් සිටි කැබ් රථයේ ආ තරුණයාගේ හිස මතටය. රිය අනතුර නිසා එම රථ දෙක පදවාගෙන ආ රියදුරු වශයෙන් ක්‍රියා කළ තරුණයන් දෙදෙනා ඇතුලු අට දෙනෙකු තුවාල ලැබූ අතර බරපතළ තත්ත්වයේ පසු වූ අයෙක් එදිනම මරණයට පත්විය. තවත් තරුණයෙක් බරපතළ තත්ත්වයෙන් පසු වූ අතර තරුණයන් හතර දෙනෙක් සුළු තුවාල ලබා සිටියහ.
අනතුරත් සමඟ වාර්තා වූයේ ඊට මුහණ දුන් තරුණයන් පිරිස කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන සිසුන් පිරිසක් බවය. අනතුර සිදුවූ අවස්ථාවේ කැබ් රථයේ තරුණ සිසුන් 10 දෙනකු සහ මෝටර් රථයේ සිසුන් දෙදෙනකු සිට තිබුණි. අනතුර සිදු වූ අවස්ථාවේ එතැනට රැස් වූ අසල්වාසීහු තුවාලකරුවන් මුදවාගෙන 1990 අංකය අමතා හදිසි ගිලන් රථ සේවය කැඳවා එමගින් තුවාලකරුවන් රෝහල්ගත කරන්නට පියවර ගත්හ. එහිදී අනතුරින් බරපතළ තුවාල ලැබා සිටි ගල්කිස්ස ඉසුරු උයන ප්‍රෙද්ශයේ පදිංචි අමාන් තිමිල් මොහොමඩ් (18) ජීවිතක්ෂයට පත්ව තිබුණේ අවාසනාන්ත ලෙසය.
අනතුරට පත් පිරිස කොළඹ රාජකීය විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසකි. ඔවුහු පාසලේ පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රදර්ශනයක සංවිධායක කමිටුවේ සාමාජිකයෝ වූහ. අනතුර සිදුවූ ඉකුත් 12 දින අලුයම එළැඹෙන්නට පෙර දවසේ සන්ධ්‍යා කාලයේ පටන් පාසල් පරිශ්‍රයේ සිටි ඔවුන් මධ්‍යම රාත්‍රිය ආසන්න වෙමින් තිබියදී පාසලෙන් පිටවී ගොස් තිබුණි. එසේ ආ පිරිස නාවල ප්‍රදේශයේ අවන්හලකට ගොස් රාත්‍රී ආහාර වේල භුක්ති විඳ ඇති බවද කියයි.
එතැනින් පිටත් වූ පිරිස බුත්ගමුව මාර්ගය ඔස්සේ ගොතටුව දෙසට ගොස් මිතුරකු සිය නිවසට ඇරලවා නැවත ගමන් ආරම්භ කර තිබිණි. පසුව මහනියර හන්දියෙන් හැරවූ රථ දෙක මාදින්නාගොඩ පාරේ ධාවනය වෙමින් තිබියදී රථයේ වේගය පාලනය කර ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් රථ දෙකම එකම ස්ථානයකදී අනතුරට පත්ව තිබුණි.
අනතුරට පත් රථ දෙකෙහිම රියදුරන් වශයෙන් කටයුතු කර තිබුණේ පාසල් සිසුන් දෙදෙනෙකි. අධික වේගය සහ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් අනතුර සිදුව ඇති බව වැලිකඩ පොලිසියේ රථවාහන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අයි. පී. ටී. අයි. රණසිංහ මහතා පැවසීය. කැබ් රථය පැදවූ පාසල් සිසුවාට රියදුරු බලපත්‍රයක් ඇති බවට ඔහුගේ මවුපියන් විසින් පොලීසියට දන්වා තිබුණ ද එය සනාථ කර පොලීසියට ඉදිරිපත් කර තිබුණේ නැත. අනතුර සිදුවූ මොහොතේ ඒ අසලින් ගමන් ගන්නට ආ යතුරු පැදිකරුවෙක් සිදුවීම සියැසින් දැක තිබෙන අතර ඔහු මාධ්‍ය හමුවේ මෙසේ පැවසුවේය.
“මමත් බේරුණේ අනූ නවයෙන්. මම බයිසිකලයෙන් කන්ද නගිමින් හිටියේ. ආපු ගමන් මම පාරට දැම්ම නම් මාත් හප්පාගෙන යන්නේ. හෙන ස්පීඩ් ආවේ. වාහන දෙකම පාලනය කරගන්න බැරිවුණා එයාලට. හැප්පෙද්දිම උඩ තිබුණු කොන්ක්‍රීට් එක කඩාගෙන වැටිලා තිබුණේ.”
මේ අතර සිසුවාගේ පියා අදහස් දැක්වූයේ මෙසේය. “මගේ පුතා නැති වුණාට පස්සේ මොනවා කතා කරන්නද දෙයියනේ... පුතා ඊයේ දවල් 11ට මට කියලා ගියේ. එයා උත්සව සංවිධායක කමිටුවේ හිටියේ. ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලයේදී සාමාන්‍ය පෙළ විභාගයට ඒ 9ක් අරගෙන පාස්වෙලා රාජකීයට ගියේ.”
අධික වේගයත් අපරික්ෂාකාරී බවත් රිය අනතුරුවලට ප්‍රබල සාධකයන්ය. පාසල් වියේ දරුවන් පිරිසක් මෙසේ අනතුරට පත්වීම ඛේදජනකය. ඔවුන්ට රියදුරු බලපත්‍රයක් ඇතත් නැතත් පාසල් වියේ දරුවන් මේ ආකාරයට රිය පැදවීමට යෙදවීම සම්බන්ධයෙන් මවුපියන් ද කර ඇත්තේ බරපතළ වැරැද්දකි. එය කිසිවකුටත් අනුමත කළ නොහැකිය. දරුවන්ට රිය ධාවනයට හැකියාව තිබුණත් ගැටවර වියේ යෞවනයන්ට ඊට අනුබල නොදී අවවාද කරන්නට මවුපියන්ට හැකියාව තිබුණේ නම් මේ දරු පිරිස තවමත් නිරුපද්‍රිතවය.
♦ සමන්ත ප්‍රදීප් විල්තෙර