දිය බිඳකි මා
හිරු එළියෙ වියැකෙන
වැහි බිඳුව පිනි බිඳුව
ආයෙ ආයෙම ඉපදෙන
ගංඟා ඇළදොළ
වැසිකිළි වළවල් මඩකඩිති
මා නොසිටි තැන් නොමැත
අධිපීඩන ජලබවුසරයක
තෙරපී සිටිය පෙර දවසක
ලැබුණි දහඩියෙන් පෙඟුණු
නුඹ සිරුරු සිපගන්න
හිරු එළියෙ වියැකෙමින් ගෙවන දිවියට
නුඹලයි කියා දුන්නෙ දහිරිය
හිරුටත් එදිරිව නැගෙන්නට
අතඅරින්නම බලකෙරෙන තැන්වලත්
තව තවත් දහිරියෙන්
බදා වැළඳගන්නට
පහසු මං සොයා
මංමුලා නොවන්නට
වෙහෙසකර මාවතේ
දෑස් ඇරගෙන ඇවිදින්න
බොරු වළවල් උගුල්
පසුකර දහසක්
නිම්නය සොයන ගමනක
මිරිඟුවක් ළඟ නිදි නොවැද
හෙටත් හිරු පායාවි
පැතුමන් රැගෙන පිපෙන මල් බලන්නට
සිහින අරගෙන එන්න
හිරු එළියෙ වියැකෙන්න කළියෙන්
සතුරු කඳවුරෙහි සිටින
දිය බිඳකි මා
හෙට දවසෙ
ජයග්රහණයේ සිසිලස රැගෙන
නුඹලා සිප වැළඳ
වියැකී යන්නට පෙරුම් පුරණා
රිවිහාර පින්නදූව