“බොහොම බලගතුයි. දක්ෂ වගේම හොඳ පෙනුමක් තියෙන වාසනාවන්ත තරුණයෙක්"
“ඔව් ඔව් සහතික ඇත්ත. ඔය කිව්වෙ බලාගෙන හිටියා වගේ... වෙන මොනවද ඉතින් පේන්නෙ? “ කාලෙකට පස්සෙ හරිහමන් දේකට සල්ලි වියදම් කරා කියන සන්තෝෂයෙන් ඇඟ අරක් ගත් පරිවාර ග්‍රහයොත් වෙලිලා ගියා.
“දැන් මහත්තයෝ මේකනෙ. මහත්තයාගේ සෙනසුරු මහ දසාව ගෙවී ගෙවී, හතේ ඉන්න කුජය ටික ටික බැල්ම දානවා. එතකොට ශනි දෝෂ කාරිය සැර බාල වෙලා ගිහින් බ්‍රහස්පති තමා ඉස්සරහට ඉන්නෙ.
දැන් ඔය ටෙක්නිකල් ඩීටේල්ස් අපිට මොකෝ? ඔය කියන ග්‍රහයො එහාට මෙහාට අවලමේ ගිහින් අපිට වෙන දේනෙ දැනගන්න ඕනෙ.
“හා හා හරි හරි ඉතින් එහෙම වුණාම මොකෝ වෙන්නෙ? සෙනසුරා නම් අනිවාරෙන්ම අතක් පයක් කඩනවලු නෙහ්?”
“අ... අ.. හම් හම්... ඇක්සිඩැන්ට් එකක් හරි, අසනීපයක් හරි ආවොත් තමා" ඒකත් හරි ඉතින්. අතක් පයක් කැඩෙන්න ඇක්සිඩන්ට් එකක් වෙන්න එපායැ. ඉතින් දැන් ඕක මේ යකාම කියන්න ඕනෙද
“ඒක නේන්නන්.. දැන් ඕක වළකන්න මොකෝ? මැණික් මුද්දක් දාන්න වෙයිද? බෝධි පූජා?”
“ඔව්වොව්.. ඒවා නරක නෑ. හැබැයි ඉතින් හොඳම දේ වැඩිය අනතුරුදායක වැඩවල නොයෙදෙන එක තමා"
මම ඒක තරයේ සිහියට ගත්තා. පස්සෙ කතා කරලා මුද්දක් හරි, සුරයක් හරි ඉල්ල ගන්නවා වැඩි හොඳට. දැන් ඔය ක්‍රිකට් ගහන උන් වුණත් බෝල් ගාඩ් දාන්නෙ, මොකෝ වැදුනට පස්සෙ පසුතැවිලි වෙලා වැඩක් නෑනෙ. ඊළගට මට මතක් වුණේ මේ උතුම් මාතෘ භූමියේ අභිවෘද්ධිය සහ ඉදිරි ගමන වෙනුවෙන් අපිට කරන්න පුළුවන් ලොකුම දේ වන රටින් පිටවී වෙන රටකට යන එක ගැන.
“ඉස්සර එක් කෙනෙක් කිව්වා විදේශ රැකියා යෝග තියෙනවා කියලා"
“ආආආ හිටින්ට... ඔව් ඔව්.. හැබැයි ඉතින් ටිකක් මහන්සි වෙලා.. රට රැකියා පුරප්පාඩු හොයලා ඉල්ලුම් කරන්න වෙයි" වැඩේ හරි වගේ !
“මම මොනවද කරන්න ඕනෙ ඉතින්.. නැද්ද විදේශ ටුවර්වලට අධිපති දෙයියෙක්?”
“එහෙමටම දෙයක්නම් ඕනෙ නෑ... ම්ම්ම්ම්ම්.. හැබැයි රජෝ මම මේ ඊළඟට කියන දේවල් ටිකනම් හරියටම තියෙන්ඩ ඕනෙ"
“මොනවද? මොනවද?”
“පාස්පෝට් එකයි වීසයි"
(මුගෙ ආච්චිට ! ඒක මූ කියන්න ඕනෙද ) විදේශ ගමන් ටිකක් පරක්කු වෙන නිසා මේ ඉන්න කාලෙ පණ ගැටගහගන්න එක ගැනත් කල්පනා කරන්න ඕන.
“එතකොට ධන ලාබ? මේ දවස්වල අමාරුවෙන් තමා ජීවත් වෙන්නෙ"
“ම්ම්ම්ම්ම්... රවි නම් හත්වැන්නෙ ස්ථානගත වෙන එක..."
“ඔව් ඔව් හොඳයිද?”
“හොඳයි නම් තමයි... ඒකට හැබැයි වෙනදට වඩා මහන්සිවෙලා වෙන රුකියාවක් හරි කරලා හම්බු කරන්න වෙනවා"
“හා... රවී ඉන්න හින්ද හරියයි නෙහ්"
“ඔව් ඔව් රවී එක්ක ඉඳලා හරි ගිය අයත් ඉන්නවා... හැබැයි පරිස්සමෙන්.. වෙන මොනවද දැනගන්න ඕනෙ?”
“විවාහය එහෙම"
“සිකුරා හත්වැන්නේ ස්ථානගත වීම නම් හොඳ ලකුණක්. ඒකේ හොද ප්‍රතිඵල ගන්න නම් ඔය පත්තරේක මංගල දැන්වීමක් කාරිය දාලා, දන්න කියන කපු මහත්තයෙක්ට කියලා බලන්න"
“මට ඉතින් මේ ආව එකේ ආරක්ෂවට නම් මොනාහරි ඕනෙමයි. අපේ ගෙදර හොල්මන් ඉන්නවා කියලා මට හොඳටම දැනිලා තියෙනවා"
“ඒ කොහොමෙයි"
“ඔන්න දවසක් දා මහ දවල් අපේ දොර දඩාස් ගාලා වැහුණා. ඊට පස්..."
“හා හා මම දන්නවා"
“අනේ ඔබතුමා දන්නවද? පෙරේතයෝ අල්ලන්න හොඳ කට්ටඩියෙක් දන්නවද? කුප්පියක දාලා"
“නෑ නෑ ඒවා ඉස්සරහට බලමු. දැන් ගොඩින් බේරගමු... දුවේ දුවේ....."
කොහෙන්ද ඉඳන් කඩා පාත්වුණ දුවෙක් හක්ගෙඩියක් දීලා යන්න ගියා.
“ෂහ්... නියමයිනේ. හක්ගෙඩියක්. මේකෙ කොයි පැත්තටද කැරකිලා තියෙන්නෙ?”
“ඒකනම් මම් දන්නෙ නෑ. ඔය අපේ දුව කොහෙද ට්‍රිප් එකක් යද්දි දැකලා උස්සන් ඇවිත්. මම් මේක මහත්තයට දෙන්නම්"
“හානේ නිකන්? ඔබතුමාට නම් බුදු බව අත්වෙන්න ඕනෙ. දැන් මේකට මම පුද පූජා කරන්නෙ කොහොමද?”
“එහෙම ලොකු දෙයක් නෑ. ගෙදර ගිහින් හොඳ බරට හිටින්ඩ වැලි පුරවන්ඩ මේකට"
“හා හා ඊට පස්සෙ දුම අල්ලලා"
“නෑ නෑ.. ඊට පස්සෙ දොර ඇරපු වෙලාවට අඩේට තියන්න"
“ඒ මොකෝ.?”
“නෑ ඉතින් අර දොර එකපාර වැහෙන්නෙ හුළඟට වෙන්ඩැ. ඕක තියන්න හරි යයි"
“ඔබතුමා මාව විහිළුවකට ගත්තද? මට මේ තියෙන දහසක් ප්‍රශ්නවලට දුක්වලට උත්තර හොයාගන්න මම ආවේ"
“දුකනම් ඉතින් හැමෝටම උරුමනේ මහත්තයෝ. මම ඒකටත් පිළියමක් කරන්නම්"
“කියන්නකො බලන්න"
මහත්තයා මේ දුන්න රුපියල් සීයත් අරන් යන්න. යමින් ගමන් පාන් රාත්තලකුයි. ඒ ෆෝ කොළ තුනක් හතරක් විතරයි ගන්න"
“හා හා හරි හරි"
“ගෙදර ඇවිත් අර එක කොළේක ඔය මහත්තයාට තියෙන සියලුම ප්‍රශ්න ලියන්න"
“හරි හරි ඊට පස්සෙ ඒක රෝල් කරනවා. මම දන්නවා මේ වීඩියෝ එකේ තිබ්බෙ ඕක... මේ මෙන්න මේක
“ඉන්නකෝ මහත්තයා... ඊට පස්සෙ අනිත් කොළේ අරන් අර ප්‍රශ්න එක එකක් එන්න හේතු වෙන වෙනම ලියන්න"
“ඊට පස්සේ ඒකත් රෝල් කරනවා"
“නෑ.. ගන්න අනිත් කොළෙත් අරන් ඒකෙ ලියන්න අර ප්‍රශ්නවලට හේතු වළක්වලා ප්‍රශ්නයත් වළක්වන්න මහත්තයාට කරන්න පුළුවන් දේවල්"
“ඊට පස්සෙ කොළ තුනම රෝල් කරලා පාන් ගෙඩියේ හිලකුත් හදලා"
“නෑ නෑ එහෙම නෙවේ.. ඊළඟට තියෙන්නෙ නොපසුබට උත්සාහයෙන් අර තුන්වන කොළේ ලියපු ඒවා ක්‍රියාත්මක කරවන එක"
“එතකොට අර පාන් ගෙඩිය මොකටද?”
“ආආ ඒක.. මහත්තයාගේ ප්‍රශ්න ගොඩත් එක්ක ඔය ඔක්කොම ලියලා ඉවර වෙද්දි රෑ බෝ වෙයිනෙ.. මොනාහරි හොද්දක් හදාගෙන අර පාන් ගෙඩිය කන්න.. බඩගිනිනෙ"
“ඈ යකෝ කපුවෝ... මම තොගෙ ළඟට ආවෙ බඩගිනි වුණාම පාන් කන හැටි දැනගන්නද? රට යන්න වීසා ඕනෙය... පරිස්සං වුණොත් අනතුරු වෙන්නෙ නැතිය.. ඒවත් තෝම කියන්න ඕනෙද? මනුස්සයෙක් ප්‍රශ්නයක් තියාගෙන මේ වගේ තැනකට එන්නෙ මොකක් හරි සහනයක් හොයාගෙන.. ග්‍රහ අපල වලින් මිදෙන්න... පෙරේත කුම්භාණ්ඩ දෝස වලින් මිදෙන්න.... දීපිය මගෙ රැපියල් සීය.. මම යනවා"
මම ගස්සාගෙන නැගිටන් කාමරේ දොර ළඟටම ගියා.. ආපහු හැරෙන්න වුණේ අර පිස්සගේ අන්තිම වතාවටත් කතා කරන්න ගත්ත නිසා
“මහත්තයෝ... එළියෙ ඉන්න හතුරන්ට අපිට කිසිම හානියක් කරන්ඩ බෑ, ඇතුළෙ හතුරෝ නැත්නම් !"
(අන්තිම වාක්‍යය ගත්තේ අප්‍රිකානු කියුමකින්..)
- අනීවාරතේ