පසුගිය ඉරිදා සවස ටෙලි නාට්‍ය නිෂ්පාදකවරයෙකු යැයි කියා ගත් පුද්ගලයෙක් මා හමුවීමට පැමිණියේය.
“මොනවද ඔබතුමා නිෂ්පාදනය කරපු ටෙලි නාට්‍ය?”
මම විමසුවෙමි.
“දැන්නම් නම් මතකත් නෑ. දෙසීයකට වඩා හැදුවා.”
“හැබෑට... මොන චැනල්වලද ඒවා ගියේ?”
“එකක්වත් තාම පෙන්නුවේ නෑ. රූපවාහිනීකාරයෝ ඒවා ගන්ඩ බෑ කියනවනෙ.”
“ඉතින් මාර පාඩුවක්නෙ. ටෙලි නාට්‍ය දෙසිය ගාණක් පෙන්නන්ඩ බැරි වුණා කියන්නෙ මහ කැත වැඩක් නෙ.”
“මොනව කරන්ඩද මහත්තයො, ඒගොල්ලො කියනවා ඒවා පෙන්නුවොත් ඒ චැනල් වහලා දාන්ඩ වෙයිලු. කුහකයො, ඉරිසියාකාරයො.”
“ෂා... ෂා... ඔබතුමාට හරි අසාධාරණයක්නෙ වෙලා තියෙන්නෙ.”
“ඕවා මොනවද මහත්තයො. ඊට වැඩිය පාඩු මට සිද්ධ වුණා. මගේ නෝනා ප්‍රධාන නළුවා එක්ක පැනලා ගියා. මගෙ ලොකු දුව ඩිරෙක්ටර් එක්ක පැනලා ගියා. පොඩි දුව ඇසිස්ටන් ඩිරෙක්ටර් එක්ක පැනලා ගියා. පුතා, ප්‍රධාන නිළිය එක්ක පැනලා ගියා. නැන්දම්මා මේකප් ආටිස්ට් එක්ක පැනලා ගියා.”
“ඔහොම තමයි. ඔය වගේ වැඩ කරනකොට ලාභ - පාඩු දෙකම වෙනවා.”
“මොනව කරන්ඩද, ඒත් මම කලාවට තියෙන ආදරේ හින්දා ඒ සේරම ඉවසුවා.”
නිෂ්පාදකවරයා තම අත පැළඳි රත්තරන් බ්‍රේස්ලටය පිරිමදිමින් මඳ සිනාවක් පෑවේය. කෙසේ වෙතත් ඔහු මා හමුවන්නට පැමිණි කාරණය පැහැදිලි වූයේ ඉන් මොහොතකට පසුවය.
“මම මහත්තයව මුණගැහෙන්න ආවෙ හොඳ තිර නාට්‍යයක් ලියා ගන්ඩ.” ඔහු කීය.
“මම නම් දැන් ටෙලි නාට්‍ය ලියන එක අතෑරලා ඉන්නෙ.”
“අපොයි ඒ මොකද, මහත්තය ලියපුවත් පෙන්නන්ඩ බැරුව ගියාද.”
“නෑ... නෑ... එහෙම දේකට නෙවෙයි. දෙයියනේ කියලා පාරේ බැහැලා යන්ඩ ඕනේ නිසා.”
“එහෙම කියන්ඩ එපා මහත්තයා. අපි හොඳ ටෙලියක් ගහමු. දැන් බලන්ඩ අර කූඹි කතාවක් තියෙන්නෙ. මටත් අන්න ඒ වගේ නාට්‍ය පිටපතක් ලියල දෙන්ඩකෝ මහත්තයො. කියන ගාණක් ගෙවන්නම්.”
“ගාණේ නෙවෙයි ප්‍රශ්නෙ. ඇයි අපි ඒ වගේම නාට්‍යයක් කරන්ඩ හදන්නෙ?”
“ඒකම නෙවෙයිනෙ. ඒ වගේ වෙන කූඹි වර්ගයක්. නයි කූඹි, තෙල් කූඹි... එහෙමත් නැත්නම් දිමියො, කඩියො, ඇඹලයො... කූඹි වර්ග කොච්චර ඉන්නවද?”
“කූඹි කොච්චර හිටියත් මම කැමති නෑ ඒ වගේ අනුකරණවලට. වෙන කාට හරි කියලා බලන්ඩ.”
“අනේ එහෙම කියන්ඩ එපා මහත්තයො. මාව ගොඩදාලා දෙන්ඩ. මහත්තයත් ගොඩවෙන්ඩ. මට වෙන බිස්නස් නැතුව නෙවෙයි. ඒත් මම කලාවට ආදරෙයි. අපි හොඳ වැඩක් කරමු.”
නිෂ්පාදකවරයා තම කරේ පැළඳි බලු දම්වැලක් තරම් මහත් රන් මාලය, දබරුඟිල්ලෙන් ඇද සකස් කර ගත්තේය. එය උකස් කළහොත් ටෙලි නාට්‍යයක් නොව “බෙන්හර්” වැනි චිත්‍රපටයක් වුව නිපදවිය හැකියැයි මට සිතුණි.
“මහත්තයා ඒක ෆලෝ කරන්ඩ අකමැතිනම් මම මෙහෙම යෝජනාවක් කරන්නම්. මහත්තයා නේද තට්ටු ගෙවල් ලිව්වෙ.”
“ඔව්.”
“අන්න බලන්ඩ. ඒක ඒ කාලෙ නැගලම ගියානෙ. ලියමුකො ඒ වගේ එකක්.”
“ඒව ඒ කාලෙ වැඩනෙ. දැන් මට ඒවා ලියන්ඩ අමාරුයි.”
“මොනවද අමාරු මහත්තයට මම දෙන්නම් කතා වස්තු ඕන තරම්. ඒ කාලෙ වගේයැ දැන්නෙ නියම තට්ටු ගෙවල් තියෙන්නෙ. අපි ලියමුකො තට්ටු දෙසීයේ තට්ටු ගෙවල් කියලා පිටපතක්.”
නිෂ්පාදකවරයා තමාගේ නැවුම් සංකල්පය ගැන ආඩම්බරයෙන් පුළුල් සිනාවක් පෑවේය.
“මේ දවස්වල තට්ටු ගෙවල් ගැන ලියන්න ගිහින් මටත් එෆ්.සී.අයි.ඩී. යන්ඩ වෙයි.” මම පසු බෑවෙමි.
“එහෙමනම් අපි හින්දි හරි කොරියන් හරි මෙගා නාට්‍යයක් වගේ එකක් ලියමුද?”
“බැරිකමක් නම් නෑ. ඒත් ඒවට කොස්ටියුම් හොයන්ඩම කෝටි ගාණක් යයි.”
“ඒකත් ඇත්ත තමයි. ඒ වගේ රෙද්දක්වත් මැදගන්ඩ අපේ ප්‍රඩක්ෂන්වල එවුන්ට බෑනෙ. බලන්ඩකො උන්ගෙ සූට් බූට්වල ලස්සන. උන් කොච්චර රණ්ඩු වුණත් විලාප තිය තියා ඇඬුවත් අපි කට ඇරන් බලන් ඉන්නෙ ඒ ඇඳුම්වල ලස්සන හින්දනෙ. අපරාදෙ කියන්ඩ බෑ කොල්ලො කෙල්ලො ටිකත් ලස්සනයි.”
නිෂ්පාදකවරයා ද හඬ කැවූ ටෙලිනාට්‍ය ලෝලියෙකු බව පැහැදිලිය. මොහු මගේ කාලය නාස්ති කරන බව හැඟෙත්ම මම නොඉසිලිමත්ව පුටුවේ ඒ මේ අත ඇඹරැණෙමි. එහෙත් නිෂ්පාදක ඔහුගේ පුටුවේ හරිබරි ගැසුණේය. යන පාටක් නැත.
“මහත්තයා මට තව අයිඩියා එකක් ආවා. කාලීන ප්‍රශ්නයක් ගැන නාට්‍යයක් ලියමු. නම මම දෙන්නම් තෙල් නැව තාම නෑ. මල් හතයි නේද?”
“අපි නාට්‍ය හදනකොට නැව ඇවිල්ල ආපහු ගිහිල්ලත් තියෙයි. කාලීන ප්‍රශ්න ගැන ලියන්න ඕනෙ නාට්‍ය නෙවෙයි. කතුවැකි.”
“ඒකත් අතරිමුකො. අපි මෙහෙම කරමු. මම ඇඩ්වාන්ස් එකක් දීලා යන්නම්. මහත්තය හොඳ පිටපතක් ලියලා තියන්ඩ. මම මහත්තයට නිදහස දෙනවා.”
“අනේ ඇඩ්වාන්ස් එපා. හොඳ පිටපතක් ලියැවුණොත් මම කියන්නම්. ෆෝන් නම්බර් එක දීලා යන්ඩ.”
නිෂ්පාදකවරයා ගිය සැණින් බිරිය මගේ ඇඟට ගොඩවුණාය.
“අපරාදෙනෙ. ගෙදරටම ගෙනාපු ඇඩ්වාන්ස් එක එපා කිව්වනෙ. මේ අවුරුද්දෙ අන්තිමේ කොච්චර වැඩ තියෙනවද? ඔයාට නම් කූඹියෙක්ගෙ තරම් මොළයක් නෑනෙ.”
“ඔය එක එකාට ඕනෙ ජාතියෙ දහජරාවල් ලියල මම පාරෙ බැහලා යන්නෙ කොහොමද?”
“පාරේ බහින්නෙ මොකටද. කොටස් පන්සීයක් දාහක් ලියා ගත්තනම් ඇල්ටෝ එකක් ගන්ඩ තිබ්බා.”
කපිලකුමාර කාලිංග