නිමාවක් නැති ස්නේහ බැම්මෙන් බැඳී ජීවිතය විඳවමින් දස මසෙක් දුක් දරා තවත් ජීවියකු තිළිණ කරන්නට පාරමී පුරන්නී ඇයයි. රුහිරු ධාරා සිඳලෙන තෙක්, වියළෙන තෙක් කිරට හරවා පොවන්නී ඇයයි. ඇඟ මස් දියකර දරුවන් පෝෂණය කරන්නී ඇයයි. එබැවින් දරුවන්ගේ ලෝකයේ තුංග පහන් වැට ඇයයි. දෙවැනි බුදුන් වන්නීද ඇයයි. ලොවම පිඳුම් ලද ලොවේ උතුම් ළඳ වූ ඇය නම් අම්මාය.
සැමියාගේ අකල් වියෝවත් සමඟ ගැහැනු දරුවන්ම පස් දෙනකු හා මෙලොව තනි වූ ඇය වෙනත් සැමියකුගේ පහස සොයා නොගොස් දැරියන් පස්දෙනා හදා වඩා ගත්තාය. ඔවුන්ගේ දෑස් පෑදුවාය. ඒ රෝස මල් ඇතිරෑ මාවත් හරහා ගමන් කොට නොව, අනේකවිධ දුක් කරදර විඳිමින්ය.
මේ අයෝමය ගැහැනිය නමින් යූ. නීලම්මාය. අනූපස් වැනි වියේ පසුවන ඇය පදිංචි වී සිටින්නේ ගල්ගමුව, අතරගල්ල, එරියාව කොළණියේය. ගමේ ඇත්තන්ගේ රස කතා ගෙතීමට අද මම කැඳවා ගත්තේ යූ. නීලම්මා මාතාවය.
“මගේ උපන් ගම මහව, මල්කඩුවාව. දීග ආවේ එරියාව මහගමට. එරියාව මහගමේ ඉද්දි අතරගල්ල ව්‍යාපාරයෙන් අපට ඉඩම් ලැබුණා. ඊට පස්සේ අකරගල්ල, එරියාව කොළණියට ඇවිත් පදිංචි වුණා.
මගේ සැමියා නැතිවුණේ (මියගියේ) මාවිලෙක් කාලා. වෙලේ පැලේ පැල් රකින්න ගිහින් ඉද්දි තමයි මාවිලා කෑවේ. මාවිලා කෑවාට පසුව පාන්දර තුනට විතර උන්දෑ ගෙදර ආවා. එළිය වැටෙනකොට නැතිවුණා. සැමියා මියැදෙන විට උන්දෑට වයස අවුරුදු තිස්පහක් විතර ඇති. මට අවුරුදු විසිපහක් විතර ඇති. උන්දැ මියැදෙන විට මට දරුවෙක් හම්බවෙන්න හිටියේ. බාලම දුව තමයි ඒ හම්බවෙන්න හිටියේ.”
“කෙල්ලොම පස්දෙනෙක් එක්ක මම තනිවුණා”යි නීලම්මා මාතාව සිය අතීතය සිහිපත් කරමින් කතාවට මුලපිරුවාය.
“සැමියා මියගියාට පසුව දරුවන් හදා වඩාගෙන ජීවත් වුණේ කොහොමද?” මම මේ වයෝවෘද්ධ මාතාවගෙන් ඇසුවෙමි.
“හපුච්චියේ වින්ද දුක් කන්දරාව මේං මෙච්චරයි කියලා කියන්ඩ බෑ. දරුපැටව් පස්දෙනා එක්ක දවසේ හමාරේ බඩගින්නේ ඉන්නවා. වැව් ගාණේ ගිහින් නෙළුම් අල ගලවාගෙන ඇවිත් තම්බලා කනවා. ඔලු ඇට (ඕලු) හාල් කරලා බත් කරලා කනවා. කොහෙන් හරි මයියොක්කා (මඤ්ඤොක්කා) අලයක් ඉල්ලන් ඇවිත් තම්බලා ලුණු ටිකක් ඉහලා කෙල්ලන්ට කන්ඩ දෙනවා.
කුඹුරුවල, හේන්වල, වතුවල කුලී කරන්න ගිහින් ලැබෙන දෙයින් තමයි දරුවන්ට ඉගැන්නුවේ. කන්ඩ ගෙනත් දුන්නේ. ඒ කාලේ තිස් පැයක් (දවල් දවසක්) වැඩ කළාම කුලිය වශයෙන් දුන්නේ රැපියලයි. එහෙම නැත්නම් වී ලාහක් (සේරු පහක්) දෙනවා. ඒ කාලේ කඩවල්වල ගොඩාක් බඩු කිරලා දෙන්නේ නෑ. ශත දෙකක මිරිස් ඉල්ලුවාම කිරන්නේ නෑ. මිරිස් කරල් අහුරක් අරන් දෙනවා. ලුණු මැනලා දුන්නේ. ලුණු සේරුවක් ශත තුනයි. සීනි රාත්තල් කාලක් ශත තුනයි. ඔය වාගේ වුවමනාම බඩු විතරයි කඩෙන් ගන්නේ. මම තනියම හේන් කෙටුවා. එව්වායේ (ඒවාහි) කුරහන් වැපුරුවා. මුං, කව්පි, බඩ ඉරිඟු හිටෙව්වා. ඒත් රෑට පැල් රකින්ඩ යන්ඩ කෙනෙක් නෑ. ඒ හින්දම සතා සීපාවගෙන් විතරක් නෙමෙයි, හොරැන්ගෙනුත් බවබෝගවලට ආසානාසි (විනාශ) සිද්ධ වුණා.
මම පන්නම් කරලත් සල්ලි හෙව්වා. අකරගල්ල වැව උඩහ පන් තිබ්බා. එව්වා ගලවාගෙන ඇවිත් වේලලා රෑ තිස්සේ වට්ටි, පෙට්ටි, පැදුරු වියනවා. ඔය අකරගල්ල ඉස්කෝලේ මහත්තුරු මගෙන් පැදුරු සල්ලිවලට ගත්තා. ළමයි අතේ පණිවිඩයක් එවනවා පැදුරක් එවන්න කියලා. එතකොට මං පැදුරු යවනවා. පැදුරකට රුපියල් දෙකක් එවනවා. මම ඒ සල්ලි දරුවන්ගේ පොත්වලට දැම්මා. ගෙදර වියදමට ඒ සල්ලි වියදම් කළේ නෑ.
ඒ කාලේ ගමේ හුඟාක් අය මට උදව් කළා. මට මල්ලිලා හතර දෙනෙක් හිටියා. සැමියා මියැදෙනකොට අපේ කුඹුර හරියට අස්සද්දලා තිබුණේ නෑ. කුඹුරැ වැඩ කාලයට මල්ලිලා ඇවිත් වැඩ කරලා දීලා යනවා. දරුවෝ ලොකු මහත් වෙනතුරු මල්ලිලා හතර දෙනාගෙන් කවුරුහරි කෙනෙක් වරින් වර ඇවිත් මගෙයි දරුවන්ගෙයි තනි නොතනියට හිටියා.
අකරගල්ල ඉස්කෝලේ ලොකු මහත්තයාත් මට හරියට උදව් කළා. ඇස්. බණ්ඩා කියන ලොකු මහත්තයා තමයි එහෙම උදව් කළේ. ඉස්කෝලේ රැස්වීමකටවත් එන්න එපා කීවා. ඒ කාලයත් මොනවාහරි වැඩකට ගන්ඩ කීවා. අපේ ගමට හිටිය මුලාදෑනියා (ආරච්චි මහතා) මට පින් පඩියක් හදලා දුන්නා. මාසයකට රුපියල් 12.50 ක් දුන්නා. මම දරුවොත් එක්ක දුක් විඳිනවා දැකලා තමයි ඒ පින් පඩිය මුලාදෑනියා මට හදලා දුන්නේ.
අපට කූපන් පොත් තිබ්බා. සතියකට හාල් සේරු දෙකක් කූපන් පොතකට දුන්නා. මට ඒකත් ලොකු හයියක් වුණා. 1977 අවුරුද්දේ ඉඩම් තියෙන අයගේ කූපන් පොත් රජයට ආපහු ගත්තා. මුළු ගමේම අයගේ ගත්තත් මගේ කූපන් පොත් ගත්තේ නෑ. රජයේ නිලධාරි ඇත්තොත් මට අනුකම්පා කළා.
දහදුක් විඳලා හරි මම දරුවන්ට ඉගැන්වුවා. ලොකු දුවට අවුරුදු විසිදෙක වෙද්දි එයාට රස්සාවක් හම්බවුණා. එයා නර්ස් (හෙදියක) කෙනෙක්. ලොකු දුවට රස්සාව ලැබීමත් එක්ක මගේ දුක ටික ටික අඩු වුණා. ඊළඟට තවත් දරුවන් දෙන්නකුට රජයේ රස්සා හම්බවුණා. මම මිනිපිරියකුත් හදාගත්තා. පුංචි කාලේ ඉඳලාම එයා මම ගාව හැදුණේ. මිනිපිරීටත් මම හොඳට ඉගැන්නුවා. දැන් එයාත් ගුරුවරියක්. අද මම ඉන්නෙත් මිනිපිරී ළඟ.”
“ඔබේ සැමියා මියයන විට ඔබ තරුණ වයසෙනේ ඉඳලා තියෙන්නේ. ඉතින් වෙනත් විවාහයක් කරගන්න තිබුණානේ.”
“සැමියා මියගිහින් ටික කාලෙකට පස්සේ අපේ තාත්තා මට වෙන කසාදයක් කරලා දෙන්න ලෑස්ති වුණා. ඒත් මම කැමති වුණේ නෑ. මම තාත්තලාට කීවා, “තාත්තලාට නින්දාවක් අහන්න මම කටයුතු කරන්නේ නෑ. මම දරුපැටව් ටික හදාගෙන මෙහෙමම ඉන්නම්” කියලා. අද වනතුරු මම ඒ අයටවත්, දරුවන්ටවත් කතාවක් අහන්න ඉඩ තිබ්බේ නෑ.”
“අකරගල්ල ගොවි ජනපද ව්‍යාපාරයේ මුල් පදිංචිකාරියක ලෙස එදා ඔබ ලැබූ අත්දැකීම් මොනවාද?” මම නීලම්මා මාතාවගෙන් ඇසුවෙමි.
“මට මතක හැටියට 1956 අවුරුද්දේ විතර තමයි ජනපදයෙන් ඉඩම් ලබාදුන්නේ. ගොඩ ඉඩමේ ගෙයක් හදලා තිබුණා. ආණ්ඩුවෙන් තමයි ගෙවල් හදලා දුන්නේ. ගෙයි වහලයට පොල් අතු තමයි මුලින් බැඳලා තිබුණේ. පස්සේ උළු දුන්නා. වැසිකිළියකුත් හදලා තිබුණා. ඉඩම වටේම වැට හදාගන්න කටු කම්බි දුන්නා. කැත්තක්, උදැල්ලක්, නාරස්සනයක් (යකඩ ඉන්නක්) දුන්නා. තව පොල්, අඹ වාගේ පැල ජාති දුන්නා. ගොවිතැන් කරගන්නකම් මාසයකට රුපියල් තිහක ආධාර මුදලකුත් දුන්නා.
මේ ඉඩම් කැලෑවෙන් යටවෙලා තිබුණේ. සර්පයන් හරියට හිටියා. සැමියා රෑට නිදාගත්තේ මේ සාලේ කෑල්ලේ. එතකොට බිත්ති බැඳලා නෑ. මම දවසක් ලාම්පුවක් අරන් එළියට එනකොට සැමියා බුදියාගෙන (නිදාගෙන) හිටපු තැනට උඩින් වහලයේ රබර් පටියක් වාගේ එකක් එල්ලෙනවා දැක්කා. තව ටිකක් බලද්දි මාවිලෙක් බව දැනගත්තා. සැමියාට ඇහැරවලා ලීයක් අරන් ඇවිත් මාවිලා මරලා දැම්මා. සැමියා ජීවත්ව හිටිය කාලේ හරියට මාවිල්ලු ගෙදරට ආවා. හැබැයි උන්දැ මියැදුණාට පස්සේ මාවිල්ලු ආවේ නෑ.”
“ඔබට දැන් වයස අවුරුදු අනූපහයි. ඒ නිසා සෑහෙන කාලයක අත්දැකීම් රාශියක් ඇති. ඔය අතර අමතක නොවන සිදුවීම් කීපයක් මතක් කරමුද?”
“අපේ තාත්තාගේ උපන් ගම එරියාව. උන්දැ මාකඩුවාවට ගිහින් බින්න බැස්සා. (බිරියගේ නිවසේ පදිංචි වීම) තාත්තට ටිකක් ලියන්ඩ කියන්ඩ පුළුවන්. ඒ කාලේ වන විට අකරගල්ල වැවයි, පාළුකඩවල වැවයි කැඩිලා තිබිලා තියෙන්නේ. අපේ තාත්තා ඒජන්ත හාමුදුරුවන්ට (දිසාපති) පෙත්සමක් යවලා තියෙනවා. මී ඔය හරස් කරලා වැවක් බැන්දොත් ඒ වැවෙන් අකරගල්ල වැවටත් ඒකෙන් පාළුකඩවල වැවටත් වතුර ගන්ඩ පුළුවන් කියලා. ඒ ඉල්ලීම කීපසැරයක්ම කරලා තියෙනවා. එරියාව ගමේ ඉඳලා මැඩියාව හරහා මාකඩුවාවට යන්ට වල්පාරක් (අඩි පාරක්) එදා තිබ්බා. දවසක් අපේ තාත්තා එරියාවට ඇවිත් ආපහු ඔය වල්පාර දිගේ යද්දි මී ඔයේ තියෙන “අබකොළ වළ” කියන තැනට උඩින් මහත්තුරු වගයක් කණ්නාඩි තියාගෙන මනිනවා. (මිනුම් කටයුතු කිරීම) දැකලා තියෙනවා.
කතාව හා සේයාරූ
නිහාල් ජයවීර