සුදු ලූනු දේශීය වෙදකමේ සහ ආයුර්වේදයේ මහ අනර්ඝ ඖෂධයක් ලෙස සඳහන් කර ඇත. වසර දහස් ගණනක් පුරා මිනිසාගේ නිවසේ බොහෝ රෝග ගණනාවකට ඖෂයක් සේ සුදු ලූනු භාවිතාකොට ඇත. මෙය ආහාරයක් ලෙස භාවිත කළ හැක. ඒ නිසා එහි ප්‍රයෝජන තවත් වැඩිය.
විශේෂයෙන් අතීතයේදී හෘදයාබාධ වැළඳුණු අවස්ථාවන්හිදී සුදු ලූණු ප්‍රතිකාර සඳහා භාවිත කර ඇත. මෙය වේදනා නාශක ඖෂධයකි. සුදු ලූනු අමෘතයක් හා සමාන ගුණයක් ඇති ඖෂධයක් ලෙසින් ආයුර්වේදයේ සඳහන් වේ. සුදු ලූනුවල අල, කොළ, මල්, නටු, ඇට යන සියල්ලම ඖෂධ පිණිස ලබාගනී.
ආයුර්වේදයට අනුව සුදු ලූනු උෂ්ණ ගුණ, රළු ගුණ ඇත. නමුත් මෙය පමණ ඉක්මවා නොගොස් ප්‍රමාණයට ගතහොත් එය අදාළ රෝගයට අමෘත ගුණ ලැබේ. ආයුර්වේදයට අනුව සුදු ලූනු ආහාර හොඳින් දිරවීමට උදවු කරයි. එසේම සුවදායී ඖෂධයකි. විශේෂයෙන් සවස් කාලයේදී වැඩිහිටියන්ට මෙම රෝගී තත්ත්වය උත්සන්න වේ. මෙවිට හුස්ම ගැනීමට ද තරමක් අපහසු වේ. එසේම ආහාර ගැනීමට ද අරුචියක් පවතී. එවැනි තත්ත්වයක් ඇතිවිට සුදු ලූනු බික් දෙක තුනක් තම්බා බීමට ගතහැකි වන අතර එසේම පුළුස්සා ද ආහාරයට ගැනීමට ද හැකියා ඇත.
ආයුර්වේදයට අනුව සුදු ලූනු ක්‍රියාකරනුයේ ආමාශය පහළ මහ බඩවැල ආශ්‍රයේය. එමනිසා බඩ පුරවා දැමීමේදී ඇතිවන වේදනව සමනය කර ගැනීමට සුදු ලූනු ක්‍රියාකාරී වේ. එසේම මළ හොඳින් පිට කිරීමටද, වාතය හොඳින් පිට කිරීමටද සුදු ලූනු ඉතාම වැදගත් වේ. ආයුර්වේදයට අනුව ලුණු රස හැර ආයුර්වේදයේ සමබර ආහාරයක අත්‍යාවශ්‍ය අනෙකුත් රස සියල්ලම සුදු ලූනු අන්තර්ගත වේ.
දිනපතා සුදු ලූනු බික් හතරක් පහක් පුරුද්දක් ලෙසින් ගන්නේනම් හදවත් රෝගවලින් එක් රෝගයක් වැළදීමට හේතුවන කොලොස්ටරෝල් රුධිරය සෑදීම වළක්වාගක හැක. එමෙන්ම කොලොස්ටරෝල් පවතින රෝගීන්ද කොලොස්ටරෝල් ප්‍රමාණය අඩුකර ගැනීමට මෙය මහත් උදවුවකි.
සුදු ලූනු ආහාර හොඳින් දිරවීමට උදවු කරයි. වර්තමානයේ බොහෝ සංකර ආහාර රටාවන් හේතුවෙන් මිනිසාගේ ශරීරය තුළ එන්සයිම හෝමෝන විකෘති තත්ත්වයට පත්වී ඇත. එනම් ශරීරයේ ක්‍රියාකාරීත්වය දුර්වල වී ඇත. නමුත් ආහාර දිරවීමට උපකාරී වන ඖෂධයක් ලෙසින් සුදු ලූනු හැඳින්විය හැක. මළබද්ධය වැලැක්වීමට සුදු ලූනු ඉතා ගුණදායකය. මළ පිටවීම දීර්ඝ කාලයක් ඇතිවූවිට අර්ශස්, ගුද මාර්ගය ආශ්‍රිත පැලීම් වැනි රෝගාධාබ ද ඇතිවේ. මෙය තවදුරටත් කල් ගතවූවිට, නොසලකා හැරීමෙන් පිළිකාම තත්ත්වයන් ඇතිවිය හැක. මේ නිසා මේ පිළිබඳව සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ.
සුදු ලූනු ආහාර රුචිය ඇති කරවන ඖෂධයකි. විශේෂයෙන් මස් මාංශ අනුභව කරනාවිටදී ඒ සමඟ සුදු ලූනු ඒ සමඟ සුදු ලූනු වැඩිපුර එක්කර ගැනීම සුදුසුය. මස් මාංශවල පවතින ශරීරයට අහිතකර කොලොස්ටරෝල් සුදු ලූනු මඟින් විනාශ කෙරේ.
සුදු ලූනුවල පවතින ආවේණික දුගන්ධයක් හේතුවෙන් බොහෝ දෙනා සුදු ලූනු කෑමට ප්‍රිය නොකරති. නමුත් සුදු ලූනු මී පැණිවල බහා තැබීමෙන් එම දුගන්ධය දුරු වේ. සුදු ලූනු සහ මී පැණි එක්කලවිට දුගන්ධය දුරුවී ගුණය ද වැඩිවේ. නියමිත ප්‍රමිතියෙන් යුතු මී පැණිවල දැමූ සුදු ලූනු අනුභවය දියවැඩියා රෝගීන්ටද අගුණ නැත.
සුදු ලූනු යනු රසායනික ගුණයෙන් සමන්විත ඖෂධයකි. මිනිසා වියපත් භාවයට නොදී හැමදාමත් තරුණකම රැක ගැනීමට හැකි ඖෂධයකි. සුදු ලූනුවල නියම ගුණය ලබා ගැනීමේදී උක් හකුරු, සීනි ආදිය භාවිතා නොකළ යුතුය. සුදු ලූනුවල රසායනික විද්‍යාවට අනුව පවතින එක්තරා තෙල් වර්ගයක් හේතුවෙන් එය අනුභව කළවිට එය ශරීරය පුරා ව්‍යාප්ත වේ. එවිට මෙම තෙල් කොටස මළ මුත්‍රාවල පමණක් නොව ආශ්වාස ප්‍රාශ්වාස මෙන්ම දහඩිය සමඟද සිරුරෙන් පිට කෙරේ. එම නිසා මෙය ශරීරය පුරා ක්‍රියාකාරීවන ඖෂධයකි.
අතීතයේදී මිනිසුන් පපුවේ “ඇම්ම” ලෙසින් හැඳින්වූ හෘද්‍යාබාධ සුව කිරීම සඳහා උළු හාල් සහ සුදු ලූනු යොදා ගත්හ. හෘද්‍යාබාධය යනු ඉතා වේදනාකාරී මාරාන්තික රෝගයකි. එය වේදනා නාශක ඖෂධයක් ලෙසින් හැඳින්වේ. හෘදයේ ක්‍රියාකාරීත්වය සමතුලිතව පවත්වාගෙන යාමට සුදු ලූනු උපකාරී වේ. අධික රුධිර පීඩනය අඩුකිරීමට ද මෙය ඉවහල් වේ.
දියවැඩියා රෝගීන්ට රුධිරයේ සීනි සමස්තයක් ලෙසින් එක මට්ටමක පවත්වාගෙන යාමට ඉවහල් වේ. නිරෝගී පුද්ගලයින්ට රුධිරයේ සීනි ප්‍රමාණය වැඩීම වළක්වා ගැනීමට ද ඉතාම ගුණ ඖෂධයකි. කුෂ්ඨ රෝග සඳහා ද ආයුර්වේදයේදී සුදු ලූනු ආලේපනයක් ලෙස භාවිත කෙරේ. එය වෛද්‍ය උපදෙස් අනුව භාවිත කිරීම අවශ්‍යය.
මහ බඩවැල පෙනහළු, සහ ගුද මාර්ගය ආශ්‍රිත පිළිකාමය තත්ත්වයන් සඳහා සුදු ලූනු ඉතා ගුණදායක වේ. මෙවැනි රෝගීන්ගේ ආහාරවලට වැඩිපු සුදු ලූනු එක්කර ගැනීම අවශ්‍යය. ආමාශගත පණුවන් සඳහා ද පණු රෝග සඳහා ද සුදු ලූනු ආහාරයට ගැනීම ඉතා යෝග්‍ය වේ. ශරීරයේ පටකවල ඇතිවන ඉදිමුම අඩුකර ගැනීමට ආධාර වෙයි.
වර්තමානයේදී විශාල ගැටලුවක් වන ලිංගික බෙලහීනතාවය මගහැර ලිංගික ශක්තිය ඇතිකරලීමේ ගුණය සුදු ලූනුවල අඩංගුය. පිරිමි වඳභාවයට ප්‍රධාන හේතුවක් වන ශුක්‍රාණුවල තත්ත්වය වැඩි දියුණු කර වැඩිපුර ශුක්‍රාණු නිපදවා වඳභාවය දුරුකර දැමීමේ හැකියාවක් ද සුදු ලූනුවල පවතී.
කිසිවිටෙකත් සුදු ලූනු අමුවෙන් ආහාරයට නොගත යුතුය. ආහාරයට ගත යුතු වන්නේ තම්බා හෝ පුළුස්සාය. එසේත් නැත්නම් සුදු ලූනු අව්වේ වේලා කුඩුකර ගත යුතුය. තද අවුවේ සිටිද්දී ආහාරයට ගැනීම නුසුදුසුය. එමෙන්ම කිසියම් දීර්ඝකාලීන රෝගයක් ඇතිවිට වෛද්‍ය උපදෙස් මත සුදු ලූනු ගැනීම සුදුසුය. සුදු ලූනු ගත් විගස ජලය භාවිත කිරීමෙන් වළකින්න.
විශේෂඥ වෛද්‍ය
එස්. එම්. නිමාලි සොලොහොකාර
ආයුර්වේ මහ රෝහල
කුරුණෑගල.