කඳුකරයේ අගනුවර එහෙමත් නැත්නම් මහනුවර කියන්නේ ලංකාවේ ජනප්‍රියතම සංචාරක කේන්ද්‍රයක්. මහනුවර තවත් විශේෂත්වයක් තමයි එහේ සංචාරක නවාතැන්වලින් සියයට පනහක්ම කුඩා පරිමාණයේ සංචාරක හෝටල් සහ බංගලායි. එයිනුත් මාපානාවතුර ප්‍රදේශයේ එවන් සංචාරක නවාතැන් රැසක් පිහිටා තිබෙනවා. මූන් හිල්ස් හෝටලය ඒ අතර විශේෂ තැනක්.
හරිත පැහැයෙන් පොහොසත් පරිසරයක පිහිටා තිබෙන මේ හෝටලයේ ඇති මුළු කාමර සංඛ්‍යාව පහක්. ඒ Triple කාමර දෙකක් හා Double කාමර තුනක් වශයෙන්. මේ කාමර සතුව වයිෆයි, DVD, පැතලි තිර රූපවාහිනී වගේ බොහෝමයක් පහසුකම් පවතිනවා. ඒ නිසාම නාගරික තදබදයෙන්, ගාලගෝට්ටියෙන් මිදුණු බොහොම විවේකී නිවාඩුවකට ඔබින තැනක් විදිහට මෙතැන හැඳින්විය හැකියි.
හෝටලයේ අවන්හලේ සිටියදී දකින්න ලැබෙන්නේ ඉතාම මනරම් හාත්පස දර්ශනයක්. අංශක 270ක් තරමේ පුළුල් පරාසයක හන්තාන, බහිරවකන්ද සහ හුන්නස්ගිරිය යන කඳු පන්තීන් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ වගේම එතැනට අවට වෙසෙන කුරුලු පන්ති සහ තවත් සතුන් බොහෝමයක් දකින්නත් හැකියාව ලැබෙනවා.
මේ හෝටලය දේශීය ආහාරපාන වගේම ඉංග්‍රීසි, ජපන්, ඉතාලි ආදී ආහාර රටාවල කෑමබීමත් පිළියල කරනවා. ඒ කවර ආහාරයක් වුණත් සැබෑ රසය ආරක්ෂා වන විදිහට ඉදිරිපත් කිරීම ප්‍රශංසනීයයි.
මෙහි සිට ගඩලාදෙණිය, ලංකාතිලක, ඇම්බැක්කේ වැනි පෞරාණික සිද්ධස්ථාන වගේම පේරාදෙණිය උද්භිද උද්‍යානය, නකල්ස්, වික්ටෝරියා ගොල්ෆ් ක්‍රීඩාපිටිය, වික්ටෝරියා වේල්ල සහ ලංකා තේ කෞතුකාගාරය වගේ ස්ථාන රැසකට පහසුවෙන් ළඟාවිය හැකියි.
♦ සනත් වීරසූරිය
සේයාරූ - ශාන් බන්දු වීරසිංහ