තාක්ෂණය අද වෙද්දි මුළු ලෝකෙම වෙලා ගෙන ඉවරයි. හරියට බූවල්ලෙක් වගේ තමන්ගේ අඬු හැම අස්සක් මුල්ලක් නෑරම විහිදුවලයි ඉන්නෙ. දුප්පත් පෝසත් භේදයක් පවා නැතිව තාක්ෂණය ලෝකෙ වෙලාගෙන ඉන්න හින්දම සමහරුන්ට අනුව මිනිස්සු තාක්ෂණයේ වහලෙක් වෙලා. ස්මාට් ෆෝන් එක ඔබන මිනිහා, අන්තර්ජාලයේ වරු ගණන් ගත කරන මිනිහා කියන මිනිස් කැටගරි සේරම තාක්ෂණයේ වහලෙක් විදිහට සමහරු සලකනවා.
හැබැයි තාක්ෂණයට එහෙම කියන කවුරුවත් සංස්කෘතියට ඇඟිල්ල දික් කරන්න ලෑස්ති නැහැ. සංස්කෘතියේ තියෙන සමහර යල් පැන ගියපු තැන්, ඒ කියන්නෙ අතීතයට අදාළ වෙච්ච හැබැයි අදට අදාළ නොවෙන තැන් අදට ඔබින විදිහට හදාගන්න උනන්දු වෙන්නෙ බොහොම ටිකදෙනයි. අනිත් ගොඩක් අය පරණ සංස්කෘතික රාමුවෙම හිරවෙලා දුක් විඳිනවා.
පහුගිය දවසක බස් එකේ එද්දි ළඟ තිබුණු සීට් එකේ වාඩිවුණා වයස අවුරුදු පනහක විතර ගෑනු කෙනෙක්. උන්දැගෙ පෙනුම අපි අර කියන පොෂ් ජාතියෙ පෙනුමක් නෙමේ. සරල ගැමි ගතියක් තිබුණෙ. උදේ වරුව හින්දා බස් එක වේගෙන් එන්නෙ නෑ. හෙමිහිට කොට කොට ට්‍රැෆික් එකේ ඉස්සරහට එනවා. ටිකක් වෙලා වීදුරුවෙන් එහා පැත්ත බලාගෙන හිටපු මේ ගෑනු කෙනා හෑන්ඩ් බෑග් එකට අත දාලා එයාගෙ ස්මාට් ෆෝන් එක එළියට ගත්තා. ඒ වගේම හෙඩ් සෙට් එකත්. උයන්න පිහින්න ගිහින්ම වෙන්නැති, තැනින් තැන කැපුම් පාරවල් තියෙන තමන්ගෙ ඇඟිලි තුඩු එහා මෙහා කරලා කැමැති සින්දුවක් තෝරගත්තා. දැන් උන්දැ එයාගෙම ලෝකෙක අතරමං වෙලා ට්‍රැෆික් එක අස්සෙ සින්දුවක් රස විඳිනවා.
ෆෝන් එකේ සිංදුවක් අහන එක තරුණ පරම්පරාවට විතරක් වෙන් වෙච්ච දෙයක් විදිහටයි අපේ සමාජය විශ්වාස කරන්නෙ. තවත් සමහරු හිතන විදිහට තරැණ කෙල්ලෝ කොල්ලෝ පවා බස් එකේ, පාරේ තොටේ යන ගමන් ෆෝන් එකට වයර් අමුණගෙන සිංදු අහන්නෙ නැති පොෂ් එකක්, කැටයමක් පාන්න ඕන නිසායි. ඒත් තමන්ගෙ බාහිර පෙනුමෙන් කිසිම පොෂ් බවක් පෙන්වන්න උත්සාහ කළේ නැති මේ ගෑනු කෙනා, තමන්ගෙ අවශ්‍යතාවය වෙනුවෙන් තාක්ෂණය පාවිච්චි කළා.
අපේ රටේ මිනිස්සු ගොඩක් දේවල්වලට වයස කියන දේත් බාධාවක් කරගෙන තියෙනවා. වයස ගෑනු කෙනෙක් කලිසමක් ඇන්දොත් ඒක හරිම නුහුරු දර්ශනයක් විදිහට ඒක දිහා බලාගෙන ඉන්නවා. ඒක නුහුරු වෙන්න පුළුවන්. ඒත් ඒක ඒ කෙනාගෙ කැමැත්ත.
අපි කාලෙත් එක්ක වෙනස් වෙන්න ඕනෙ. හැබැයි මෑතක ඉඳන් අපි නොතිබ්බ සංස්කෘතියක් අපේ රටේ මවා ගන්න හදනවා. සුද්දා එන්න කලින් සාමාන්‍ය ගෑනු උඩුකය විවෘතව හිටපු ජාතියක් වෙච්චි අපි සුද්දටම එපා වෙච්ච සුද්දගෙ වික්ටෝරියානු සංස්කෘතිය තාමත් රකින්නෙ ඒක සුද්දගෙන් ආපු දෙයක් කියලා දන්නෙවත් නැතුවයි.
ඇන්ටන් ජෝන්ස් අවුරුදු ගාණකට කලින් කියපු අදටත් ජනප්‍රිය සින්දුවක් තමයි ‘අඳින්න මිනි ගවුම අඳින්න’ කියන ගීතය. මීට දශක තුන හතරකට කලින් සිනමා නිළියන්ගෙ ඉඳලා සාමාන්‍ය කෙල්ලත් කොට ගවුම් ඇන්දා. ඒත් දැන් අවුරුදු විස්සක විතර වෙලේ ඉඳන් කෙල්ලෙක්ගේ කකුල්, හරිම ගුප්ත වස්තුවක් විදිහට සලකන්න අපේ රටේ අය පුරුදු වෙලා. කෙල්ලෙක්ගෙ කකුල් දැක්කම කොල්ලො විතරක් නෙමේ අන්කල්ලත් කිති කැවෙන තරමට මේ අවුල වැඩිවෙලා.
සංස්කෘතිය කියන්නේ අපිට කලින් හිටපු මිනිස්සු කෑව බීව ඇන්ද කරපු විදිහටයි. එදා කරපු දේවල් අදත් ඒ විදිහටම කරලා අපි සංස්කෘතිය රකිනවා කියලා කුහකයෝ විදිහට ලෝකෙට කෑගහනවට වඩා එදා සංස්කෘතියෙ තිබුණු දේවල් දිහා විවෘතව බලලා, හැබැයි ඒකට ගරහන්නෙ නැතිව අදට ගැලපෙන සංස්කෘතියක් හදාගන්න එක වටිනවා. ජීවත්වෙනවා කියන්නෙ අන්න ඒකටයි.
ජා