2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා

උඹලා ගොඩේ උන්

 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 196

කුරුණෑගල බස් නවත්තන තැන් නෑ කියලා දන්නවද? එහේ තියෙන්නේ, බස් හිටෝන තැන්. ඒක ටිකක් අමුතු කතාවක් වගේ තේරුණත් මේ පුංචි රටේ එකම භාෂාව කථාකරන අපි අතර ඒ විදියෙ වෙනස්කම් තාමත් තියෙනවා. ලෝක සිතියමේ පුංචි තිතක් වගේ තියෙන මේ රට ඇතුළෙ එහෙම වෙනසක් තියෙන්න පුළුවන් කියලා මේ රටෙන් පිට කෙනෙක් එක්වරම පිළිගත්තෙ නැති වුණත් කෙනෙක් විස්මයට පත්කරන්න පුළුවන් විදියෙ සුන්දර භාෂා භාවිතයෙ විවිධත්වයක් අපේ රට තුළදි දකින්න පුළුවන්. 

මේ නිසා දවස් බාගයකටත් අඩු කාලයකින් රටේ එහා කෙළවරේ ඉඳන් මෙහා කෙළවරට එද්දි කොළඹින්  “සුවඳ බලලා” ආපු කෙනෙක් පැය හතරකින් පහකින් කන්ද නැගලා උඩහා පැත්තට ගියාම වෙන්නෙ “සුවඳ අහන්න” කෙනෙක් “කොහොමද” කියලා අහලා ටික දුරක් යද්දි හමුවෙන තවත් කෙනෙක් අහන්නෙ “කොහොමෙයි” කියලා.  උඩරට පැත්තෙ ගෙදරකට ගොඩ වැදුනම උඩරට මැණිකෙ කෙනෙක් “යන්ට කලින් දවල්ට කාලා ඉන්ට ඈ” කියලා සුහද ආරාධනාවක් කරද්දි දකුණ පැත්තෙ කුමාරියක් “මං ගිය සතියෙ ලියුමක් දෑවා ඇයි උත්තරයක් නේව්වේ” කියලා බොහොම සෙනෙහෙවන්ත විදියට අහන්න පුළුවන්.

මේ භාෂා භාවිතය මොනතරම් සුන්දර වුණත් ඒ භාවිතය පිටි පස්සෙ තියෙන්නෙ ඒ තරම් සුන්දර කථාවක් නෙමෙයි. අපේ රට වගේ විසි තිස් ගණන් ලොකු රටවල පවා දකින්න නැති භාෂා වෙනසක් මේ පුංචි රටේ මිනිස්සු අතර තිබුණට අපි බොහොමයක් කරන්නෙ ඒ සුන්දරත්වය, ඒකෙ තියෙන වටිනාකම ඉස්මතු කරනවට වඩා තවත් කෙනෙක්ට අපහාස කරන්න විහිළුවලට ලක්කරන්න අපහසුතාවයට පත්කරන්න ඒක යොදා ගන්න එක. මේ සුන්දරත්වය ඇතුලෙ සැඟවිලා තියෙන අසුන්දර කථාව ඒක. “උඹලා ගොඩේ උන්” කතාවෙ පොඩි හරි වෙනසක් තිබුණොත් ලැබෙන්නෙ එහෙම පිළිගැනීමක්. 

එකම භාෂාවක් ඇතුළෙ මේ වගේ විවිධත්වයක් දකින්න ලැබෙන්නෙ පොහොසත් භාෂාවක විතරයි. අපි එවැනි පොහොසත් භාෂාවක සාඩම්බර උරැමකරුවන් වුණත් අවාසනාවට අද අපිට ඒ වටිනාකම දැනෙන්නෙ නෑ. අපේ භාෂාවෙ තියෙන සුන්දරත්වයට අපිම අපහාස කරගන්න තරම් පහත් මට්ටමට අපි වැටිලා ඉවරයි. මේ නිසාම හොඳ සුන්දර වචන රැසක් සඟවා ගෙන බොහොම රළු විදියට එකිනෙකා සමඟ සන්නිවේදනය කරන්න අපි උත්සාහ කරනවා. අපේ භාෂාවෙ ඇතැම් වචන භාවිතය නිසා අපිට සමාජයෙන් කොන්වෙන්න හේතුවෙයි කියන හීන මානය අපි බොහෝ දෙනෙකුට තියෙනවා. මේ නිසා එහෙන් මෙහෙන් ඇහිඳ ගත්ත ඉංග්‍රිසි කෑලි දාලා අපි කතා කරනවා. ඒක ලජ්ජාවෙන්න ඕන කාරණයක් වුණත් අපි ඒක ආඩම්බර විය යුතු හේතුවක් විදියට දකිනවා.

භාෂාවක් ඕන වෙන්නෙ තව කෙනෙක් එක්ක හොඳ සන්නිවේදනයක් පවත්වා ගෙන යන්න. නිකම් ඔහේ කියලා දාන චවන ගොඩකට වඩා සුන්දර, රසවත් එක වචනයකට ඒ සන්නිවේදනය ඉතාම හොඳින් කරන්න පුළුවන්. ඒ සන්නිවේදනය කරන අය හදවතින්ම සම්බන්ධ කරන්න පුළුවන්. “ලියුමක් දෑවා ඇයි උත්තර නේව්වේ” කියද්දි දැනෙන ආදරණීය හැඟීම “ලියුමක් දැම්මා ඇයි උත්තර එව්වෙ නැත්තෙ” කියලා අහද්දි දැනෙන්නේ නැත්තෙ ඒ නිසා. 

මේ නිසා කරන්න ඕන අපේ භාෂා රටාවේ විවිධත්වයට ගරු කරන එක. ලෝකය වඩා ලස්සන වෙන්නෙ එක වගේ අය ඉන්න කොට නෙමෙයි. වෙනස් අය ඉන්න කොට. භාෂාවත් එහෙමයි. හැමෝම එක විදියට කතා කරනවට වඩා එකම දේ වෙනස් විදියට කියද්දි මොන තරම් ලස්සනද?  සුන්දරද?

ඒ නිසා වැස්සෙ ගෙදරට එන කෙනක් “කුඩේ ඇකිළුවත්”, “කුඩේ බෑවත්” වැඩිය කලබල වෙන්න ඕන නෑ. දෙන්නම කරන්නෙ එකම දේ. ලොතරැයියක් ඇදුනත් ලොතරැයියක් වැටුණත් ලැබෙන්නෙ එකම සතුට. අපි හැමෝම කැමති සතුටෙන් ඉන්න. ඒ නිසා කෙනෙක්ගෙ වචනයකට හිනා වෙනවට වඩා කෙනෙක්ගෙ සතුට දිහා බලලා සිනහ වෙන එක වටිනවා නේද. ඒක අපේ දේශයේ හෙට දවස යහපත් කරන්න හේතු වෙයි.

හැබැයි ඉතිං එහෙම කිව්වා කියලා මාතර පැත්තෙ ගිහින් “ඊයේ පොල් ලෙලි ගැහුවද?” කියලා එහෙම අහන්න යන්න එපා. අහන්න ඕනම නම් “ඊයේ පොල් එව්වද?” කියලා ඇහුවට කාරි නෑ. ඒ ඇයි කියලා හිටන් හොඳටම හිතවත් මාතර ළමයෙක්ගෙන් අහලා බලන්න. අපේ දේශයෙ භාෂාව මොනතරම් පොහොසත්ද කියලා ඔබටම බලාගන්න පුළුවන්. 

 අසිරු කරුණාරත්න