විල්පත්තුව ඉඩම් මංකොල්ලයට එහා ගිය සංවිධානාත්මක වැව් ගොඩ කිරීමේ ජාවාරමක් පිළිබඳව කල්පිටියෙන් වාර්තා වෙයි. කල්පිටිය තෙහෙලිය වැව මේ වනවිට සම්පූර්ණයෙන්ම ගොඩකර ගොඩනැගිලි ඉදිකර ඇති අතර නෙළුම්කුලම වැවේද පොල් සිටුවා ඇති බවද වාර්තා වී තිබේ. මහා පරිමාණ ඉඩම් මංකොල්ලකරුවන් සිටින දිස්ත්‍රික්කයක් ලෙස වාර්තා වන පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දහසයකින් සමන්විත වන අතර හොර ඔප්පු හදන ඉඩම් මංකොල්ලකරුවන් බහුලව සිටින ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ලෙස හැඳින්වෙන්නේද කල්පිටියයි. වගුරු බිම් කොටුකර ක්‍රමක්‍රමයෙන් නොදැනෙන සේ ගොඩකර ප්‍රකාශන ඔප්පු සකසා අලෙවි කිරීමේ ජාවාරම සිදුවේ. මිලදී ගන්නා පුද්ගලයන් ජලය බැස යාමට ඇති මාර්ග වසා දමා ඉදිකරන ගොඩනැගිලි වැසි කාලවලදී ජලය බැස නොයාමට හේතුවක් වී තිබේ.
සුළු පිරිසකගේ එවැනි ක්‍රියාවන් හේතුවෙන් ජලය බැස යාමට ඇති මාර්ග අවහිරවී නිවාසවලද ජලය පිරී විශාල ජනතාවක් පීඩාවට පත්වන අතර වැසි කාලයේදී ඒකරාශී වන ජලය බැස්සවීමට සහ ජලයෙන් පීඩාවට පත්වන අයට ආහාර පාන ලබාදීම සඳහා රජයට විශාල බරක් දැරීමටද සිදුවී ඇත. අතීතයේ පටන් පැවතෙන ජලය බැස යන මාර්ග සහා වැව් ගොඩකර සිදුකරන පරිසර විනාශය පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමු නොවීම තුළ දිගින් දිගමට එවැනි ක්‍රියා සිදුවෙමින් පවතී. එවැනි සිදුවීමක් ගැන කල්පිටියෙන් වාර්තා වූ සිද්ධියක් මෙසේය.
පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ඒත්තාල නෙළුම්කුලම වැවෙහි පොල් සිටුවීමට කිසියම් පිරිසකට අවසර ලබාදී තිබිණි. එය වාර්තාවීමත් සමඟ ඒකරාශීවූ ගම්වාසීන්ට කළ නොකළ යුත්තේ කුමක්දැයි ප්‍රශ්නයක් මතුවූයේ කාගේ බලයක් උපයෝගී කර ගනිමින් මෙම ක්‍රියාව සිදුකරනවාද යන ප්‍රශ්නය පැන නැගුණු බැවිනි. අත යට සිදුවූ මුදල් ගනුදෙනුවක් මත මෙම අවසරය ලබාදී ඇති බවත් ප්‍රදේශයේ ප්‍රධාන රාජ්‍ය නිලධාරියා වන ප්‍රදේශීය ලේකම්වරයාටද නොදැනෙන සේ වැව සංවර්ධනය කිරීමේ මුවාවෙන් වැව විකිණීමක් සිදුවී ඇති බවටත් කතාවක් පැතිරිණි.
දස දහස් ගණනක් ප්‍රයෝජනයට ගන්නා වැවෙහි හොර රහසේම පොල් සිටුවීම ආරම්භ වී ඇත්තේ වැව ප්‍රතිසංස්කරණය කිරීමට ආරම්භ කිරීමත් සමඟ බව වාර්තා විය. ගමේ විශාල ජනතාවක් ප්‍රයෝජනය ගන්නා වැව පොල් වත්තක් කිරීමෙන් ගමට ඇති එකම වැවද අහිමිවන බව දැන ගැනීමෙන් පසු ගම්වැසියන් විසින් කල්පිටිය ප්‍රාදේශීය ලේකම්වරයාව සහා කල්පිටිය පෙලීසියේ ස්ථානාධිපතිවරයාව දැනුවත් කර ඇත.
මහජන පැමිණිලි ලැබෙන තෙක් වැවෙහි සිදුවෙන කිසිම කටයුත්තක් පිළිබඳ කිසිම රාජ්‍ය හෝ පෞද්ගලික ආයාතනයක් තමන්ව දැනුම්වත් කර නොමැති බව කල්පිටිය ප්‍රදේශීය ලේකම්වරයා ප්‍රකාශ කිරීමත් හොර රහසේ සිදුකෙරෙන මෙම කටයුත්ත තුළ කුමක් හෝ යටි අරමුණක් ඇති බවත් ජනතාව තුළ සැකයක් ඇතිවීම නිසා එය ජනමාධ්‍ය මගින් හෙළිකර සිදුකරන මහා අපරාධය වැළැක්වීම ප්‍රදේශවාසීන්ගේ අරමුණ විය. අප එම ස්ථානයට යාමට පෙර කළ සොයාබැලීමේදී දැනගැනීමට ලැබුණේ වයඹ සංවර්ධන අමාත්‍යංශයෙන් මුදල් ලබාගෙන පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සේවය කරන උසස් නිලධාරියකු විසින් කොන්ත්‍රාත් ලබාගෙන උප කොන්ත්‍රාත්කරුවන් යොදා වැව අලුත්වැඩියා කිරීම සිදුකරන බවටයි. එසේ කීවද ඒ පිළිබඳ නිශ්චිත තොරතුරක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් කල්පිටිය ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් විමසුවද ඔහු ඒ පිළිබඳ කිසිවක් නොදැන සිටීම ගැටලුවක් විය.
පසුගිය දිනක අප එහි යනවිට වැවෙහි අක්කර තුනක පමණ කොටසක ගලවා රැගෙනවිත් සිටුවන ලද පොල්ගස් සහා කුඩා පොල් පැළ දැක ගැනීමට හැකිවීය. ගම්වාසින් සියයකට වැඩි පිරිසක් එම ස්ථානයේ ඒකරාශී වී සිටි අතර කල්පිටිය පොලිසියේ ස්ථානාධිපති ලක්ෂ්මන් රංවලආරච්චි මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ද වූහ.
එහිදී ලැබුණු තොරතුරු අනුව පෙරදින එම ස්ථානයට පැමිණි වයඹ පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂක ඉංජිනේරු මල්කාන්ති තල්ගහපිටිය ඇතුළු කණ්ඩායමක් 2015 ගූගල් සිතියමට අනුව අක්කර අටක පමණ ප්‍රමාණයක් පමණක් වැවට අයිති බවත් එය ලබාගන්නා ලෙස ගම්වාසීන්ට පැවසීමත් සමඟ කුපිත වූ ජනතාව ඉවත් කිරීමට කල්පිටිය පොලීසියට මැදිහත් වීමට සිදුවී ඇත.
පුත්තලම කල්පිටිය මාර්ගයේ ඒත්තාල මංසන්ධියෙන් වමට හැරී තලවිල දේවස්ථානය දක්වා දිවෙන ජුබිලි මාර්ගයේ මීටර හත්සියයක් පමණ යනවිට හමුවන නෙළුම්වැව අතීතයේ පටන් තලවිල වන්දනාවේ යන බැතිමතුන් ස්නානය කිරීමට සහ නෙළුම් මල් කැඩීමට භාවිත කර තිබේ.
කරත්තවලින් පැමිණෙන වන්දනාකරුවන් ගොන් කරත්ත ලිහා ගිමන් හැරීමටද මෙම වැව ප්‍රදේශය භාවිත කර ඇත. රාජ්‍ය නිලධාරීන් නිහඬව සිටීම තුළ ගැටලුව උග්‍රවීමෙන් සිදුවන මහජන සාමය කඩවීම අවම කර ගැනීම සඳහා වැවේ නිරවුල් භාවය පිළිබඳ පැහැදිලි කර ගැනීමට 2017.10.30 වන දින අධිකරණයේ පිහිට පැතීමට සිදුවන්නේ කල්පිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාටයි.
කල්පිටිය සංචාරක අධිකරණයට කරුණු වාර්තා කරමින් ලබාගත් නියෝගයක් ප්‍රාදේශීය ලේකම්වරයාට සහා වාරිමාර්ග පළාත් අධ්‍යක්ෂතුමියට ලබාදී ඒ මගින් වැවෙහී සීමා මායිම් මැනුම් කර වැවට අයත් භූමිය කණු යොදා වෙන්කරවීමට කල්පිටිය පොලීසියට හැකිවිය. මැනුම් කටයුතු කිරීමෙන් පසුව කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සැලැස්ම අනුව සඳහන්ව තිබූ අක්කර දහතුනයි පර්චස් විසිනවයට පොල් ගස් සහ පැළ සිටුවා තිබූ ප්‍රදේශය, හෝටලයක් ඉදිකිරීමට කොන්ක්‍රිට් කණු සිටුවා ඇති ප්‍රදේශය සහ පොල්වත්තක කොටසක්ද වැවට අයත් විය.
2017.11.14 වන දින ඒත්තාල නෙළුම්වැවට පැමිණි වාරිමාර්ග අධ්‍යක්ෂවරිය සහ නිලධාරීන් පිරිස අධිකරණ නියෝගය ලැබී දින දාහතරකට පසුව වැවේ සිටුවා තිබූ වැඩුණු පොල්ගස් සහ පැළ බැකෝ යන්ත්‍රයකින් ඉවත් කිරීම සිදුවීය. ඉවත් කරන ලද පොල් පැළ අනවසරයෙන් පොල් සිටවූ අයට රැගෙන ගොස් ලබාදී ඇති අතර වැවේ අනවසර වෙනත් ඉදිකිරීම් ඉවත් කිරීමට කටයුතු නොකළේ මන්දැයි විමසීමේදි එය ප්‍රාදේශීය ලේකම්වරයාගේ තීරණයක් බව සඳහන් විය.
වාරිමාර්ග අධ්‍යක්ෂවරියගෙන් තොරතුරු නොලැබීමත් අනවසර ඉදිකිරීම් කිහිපයක් පිළිබඳ අවධානය යොමු නොකිරීමත් වැව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වෙන්කර ඇති මුදලට සිදුකරන වැඩ විෂය පිළිබඳව ජනතාවට දැන ගැනීමට ඒ පිළිබඳ සටහන් කළ නාම පුවරුවක් නෙළුම්කුලම හෙවත් තාමරක්කුලම වැවේ නොතිබීම ප්‍රධාන ගැටලුවක් වී ඇත. වාරිමාර්ග අධ්‍යක්ෂවරිය යම් පුද්ගලයන් ලවා කොන්ත්‍රාත් කටයුතු සිදුකරන බවට ඇති චෝදනා ඇය ප්‍රතික්ෂේප කළද ජනතාවට සත්‍ය තොරතුරු දැන ගැනීමට අවස්ථාවක් ලබා නොදීම තුළ ජනතාව තුළ සැකය එසේම පවතී.
වැව පිළිසකර කිරීමට රුපියල් ලක්ෂ පහළොවක් වෙන්කර වැව ආරම්භ කර ඇති බවත් ඉදිරියේදී වැව සම්පූර්ණ පිළිසකර කිරීමට රුපියල් මිලියන විසිහතරක් වෙන්කර ගෙන ඇති බවත් කියයි. වැවට වෙන්කර ඇති මුදල් ප්‍රමාණය සහ වැඩ විෂය පිළිබඳ පුවරුවක් වැව ආරම්භයේදී ප්‍රදර්ශනය කළේ නම් කිසිවකුටත් කිසිවක් පිළිබඳ චෝදනා කිරීමට අවස්ථාව නොලැබෙනු ඇත.
ලැබෙන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කිරීමට වයඔ පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂවරිය උත්සහ කළද ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් නොකර සංවර්ධන කටයුතු සිදුකිරීමට යාම හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ වාරිමාර්ග ගැටලු රාශියක් නිර්මාණය වී ඇති බව පුත්තලම දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ කමිටුවේදී තහවුරු විය. කල්පිටිය වැවේ පොල් සිටුවීම මහජනතාව මගින් වර්තා වුවද වැව සකස් කිරීම වැවට බලයලත් පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් සිදුකරන බව වාර්තා වීමත් ඒ අවස්ථාවේදී පොල් සිටුවීමේ සිදුවීම තුළත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට නිහඬව සිටීමට සිදුවූ බවද දිස්ත්‍රික් කමිටුවේදී ප්‍රකාශ විය.
ප්‍රදේශයේ සිටින රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් නොකර සිදුකරන පළාත් වාරිමාර්ග සංවර්ධන කටයුතු හේතුවෙන් මහජන කැළඹීම් සහා රාජ්‍ය නිලධාරීන් අපහසුතාවයට පත්වීම වැළැක්වීම සඳහා එදා සිට පැවත එන ක්‍රමවේදයට ගැටලු මතු නොවන ආකාරයෙන් සංවර්ධන කටයුතු සිදුකරන ලෙසත් එසේ කිරීමට නොහැකි නම් එම සංවර්ධන කටයුතු නොකර සිටීම වඩා යහපත් බවත් වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ආණමඩුව ආසන සංවිධායක එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත රංගේබංඩාර මහතා දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී ප්‍රකාශ කළ අතර වයඹ පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂකවරියගේ ක්‍රියා කලාපය බොහෝ දෙනෙකුගේ විවේචනයටද ලක්විය.
♦ රෝවන් පෙරේරා - පුත්තලම