මුන්දැ ඒ මහත්තුරුන්ගෙන් අහලා තියෙනවා මොකද කරන්නේ කියලා. වැවක් බඳින්න මනිනවා කියලා මහත්තුරු කියලා තියෙනවා. ඊට පස්සේ මුන්දෑ කියලා තියෙනවා මෙහේ මැනලා හරියන්නේ නෑ. මීට පහළින් තියෙනවා අබකොළ වළ කියලා තැනක්. එතැන තමයි වැව හදන්න හොඳම තැන කියලා. ඉංජිනේරුවොත් ඇවිත් මුන්දැ කියපු තැන මැනලා එතැන තමයි වැව බැන්දේ. අබකොළ වැව කියලා අද කියන්නේ ඒකට.
අපේ තාත්තාගේ නම ඩබ්ලිව්.එම්. උඩයාරේ. ඩඩ්ලි සේනානායක මහත්තයා අබකොළ වැවට ආපු අවස්ථාවක මේ පුරාණ කතාව අහලා අපේ තාත්තත් එක්ක ෆොටෝ ගහලත් තියෙනවා. මී ඔය වීරයා කියලා තාත්තා ගැන පත්තරේක විස්තරයකුත් ඒ කාලේ ගියා. ඩඩ්ලි සේනානායක මහත්තයයි තාත්තයි එකට හිටපු ෆොටෝ එකකුත් ඒකේ දාලා තිබුණා.
මං අර කලින් කීවේ මුලාදෑනියෙක් මට පිං පඩියක් හදලා දුන්නා කියලා. ගිරිබාවේ ආරච්චි මහත්තයා තමයි ඒ මුලාදෑනියා. ඒ ඇත්තෝ මට කළේ ලොකු උපකාරයක්නේ. කරපු උපකාර අමතක කරන්ඩ හොඳ නැති නිසා මුල්ම පිං පඩිය ගත්තු දවසේ මං ඒ සල්ලි ඔක්කොම අරන් මුලාදෑනියා ළඟට ගියා. ඒ ගිහින් බුලත් අතක අර සල්ලි තියලා මුලාදෑනිට දුන්නා. මුලාදෑනි බුලත් අතයි සල්ලියි අරන් බුලත් අත විතරක් තියාගෙන සල්ලි ටික මට ආපහු දුන්නා. ඕං ඒ කාලේ නිලධාරි ඇත්තන් කටයුතු කරපු හැටි.
ඔය නාකොළගනේට එහා බුලුපෙත්තවැටිය කියන කැලෑවේ මං වංගියක් (වතාවක්) හේනක් කැපුවා. ගෙදර ඉඳලා හැතැප්ම තුනහමාරක් දුරයි. ඕකේ කව්පි, මුං, බඩ ඉරිඟු හදලා තියෙනවා. මගේ පැටික්කියෝ හේනට එක්කන් ගිහින් කව්පි කැඩුවේ. ඒ අය කඩන කව්පි ගෝනියකට දාගෙන මං පිසන්ට ගෙදරට ගේනවා. ආයි හේනට යනවා. කඩන කව්පි අරන් එනවා. අපේ ගෙදර පිරිමි නෑනේ. ඉතින් ඔළුවෙන්ම තමයි කව්පි ඇද්දේ.
ඔය හේනේ බඩ ඉරිඟු පැහෙනකොට හොරැ කඩනවා. කවුරු කඩනවාද හොයාගන්ඩ බැරි වුණා. දවසක් උදේ පාන්දරින්ම මං හේනට ගිහින් පඳුරක් අස්සේ හැංගිලා හිටියා. අවුරුදු දාහතරක - පහළොවක ගැටව් දෙන්නෙක් හේනට ඇවිත් බඩ ඉරිඟු ගෙඩි (කරල්) දෙකක් කැඩුවා. මං පඳුර ඇතුළෙන් එළියට ඇවිත්, උඹලට ලැජ්ජා නැද්ද මේ කණවැන්දුම් ගෑනිගේ හේනට පැනලා බඩ ඉරිඟු කඩන්න කියලා මං කීවා. කොල්ලෝ කියනවා, අනේ බත් අම්මේ (ලොකු අම්මා) උඹේද මේ හේන. අපි ඒ ගැන දන්නේ නෑනේ කියා. පස්සේ හොයා බලද්දි තමයි දැනගත්තේ අල්ලපු හේනේ ගොයියා තමයි මේ කොල්ලෝ එවලා බඩ ඉරිඟු කඩවලා තියෙන්නේ කියලා. එහෙම අරියාදුත් (අලාභ) මට කළා.
දවසක් මං ගමේ කට්ටියක් එක්ක අටමස්ථානය වැඳපුදා ගන්ඩ අනුරාධපුරේ ගියා. කෝච්චියේ තමයි ගියේ. අටමස්ථානේ වැඳගෙන ආපහු ගමට එන්ඩ ආවා. ඒ ආවෙත් කෝච්චියෙන්මයි. එනකොට රෑ වුණා. අපි කට්ටිය ආපු කෝච්චි පෙට්ටියේ හිටපු කට්ටියක් ගහගත්තා. අපි කීපදෙනෙක් වෙන පෙට්ටියකට ගියා. අපේ නඩය දැන් කඩන්දු වෙලා. (වෙන්වෙලා) කෝච්චිය ස්ටේෂමක නතර කළා. අපි හිතුවේ ගල්ගමුව ස්ටේෂම කියලා. අපි හතර දෙනෙක් කෝච්චියෙන් බැස්සා. බැහැලා බලනකොට තමයි දැනගත්තේ අපි බැහැලා තියෙන්නේ ඔට්ටුකුලම (වර්තමානයේ සෙනරත්ගම) ස්ටේෂමෙන්.
ඒ කාලේ ලයිට් (විදුලි බලය) නෑ. ස්ටේෂමේ මහත්තයෙක් කුප්පි ලාම්පුවක් ගෙනත් අපි ළඟ තියලා ආපහු ගියා. දැන් අපි ගෑනු තුන්දෙනයි පිරිමියකුයි විතරයි ස්ටේෂමේ ඉන්නේ. ගෑනු තුන්දෙනෙක් තියාගෙන ඉන්ඩ මුන්දෑ (පිරිමියා) බය වුණා. මුන්දෑ අපිවත් එකතු කරගෙන කෝච්චි පාර දිගේම ගල්ගමුවට එන්ඩ ආවා. කෝච්චි පාර දිගටම තුත්තිරියයි, මානා කැලෑවයි. කොහොම හරි පයින්ම මහගල්කඩවලට ආවා. ඒ දවස්වල ඔය අපි ආපු ඉසව්වේ හරියට හොරු ඉන්නවා කියලා පස්සේ දැනගත්තා.
මඟදිම අපි කතා වුණා මේ ඇබැද්දිය ගමට ගිහින් නොකියන්න. ඇයි ඉතින් ලැජ්ජාවේ බෑනේ. අපි හතරදෙනා ගමට එනකොට උදේ නමයට දහයට ඇති. මගේ ඥාති දුවක් ඇහුවා, පුංචි අම්මේ මොකද වුණේ කියලා. මට බොරැ කියන්න බෑ. මං ඇත්තම කීවා. ඕක දැනගත්තු අය අර තුන්දෙනාට කොළොප්පම් කරන්ඩ පටන් අරන්. මං කතාව කීවා කියලා ඒගොල්ලෝ මට බැන්නා.
එදා ගමට වඩා අද ගම ගොඩාක් වෙනස්දැයි මා ඇසූ පැනයට මේ වයෝවෘද්ධ මව දුන්නේ මෙවැනි පිළිතුරකි.
අපොයි ඔව්. අහසට පොළොව වගෙයි.
එදා පිරිමින්ට වඩා ගෑනු අපි තමයි පවුලේ නඩත්තුවට ඔට්ටු වුණේ. දවල් දවසේ හේනේ, කුඹුරේ, වත්තේ පිටියේ වැඩ කරලා දරුපැටවුන්ට කන්ඩ මොකුත් රත් කරලා දෙනවා. ඊට පස්සේ රෑ තිස්සේ වී කොටනවා. ඒ කාලේ වී මෝල් තිබුණේ නෑනේ. ගෑනු අපි තුන් හතර දෙනෙක් එකතුවෙලා දෙමෝලෙන් තමයි වී කොටන්නේ. වංගෙඩි දෙකක් තියාගෙන දෙන්නෙක් දෙපැත්තෙන් ඉන්නවා. තව කෙනෙක් මැද ඉන්නවා. මැද ඉන්න කෙනා වංගෙඩි දෙකේම වී කොටනවා. මාරුවෙන් මාරුවට තමයි එහෙම වී කොටන්නේ. දෙපැත්තේ ඉන්න දෙන්නා තමන් ළඟ ඇති වංගෙඩි දෙකේ වී කොටනවා. දෙමෝලෙන් වී කොටනවා කියන්නේ ඒකට. එහෙම කරනකොට හොමපියක් (කම්මැලිකමක්) නෑ. එක රුයකට වී බුසලක් විතර කොටනවා.
වී කොටන්නේ නැති දවස්වල කුරහන් අඹරනවා. එහෙම නැත්නම් පන්නම් කරනවා. ඒ කාලේ ගමේ හැම ගෙදරකම වාගේ මිටිහාල් මුට්ටියක් තිබුණානේ. හාල් ගරන්න නෑඹිලියට ගන්න හාල්වලින් මිටක් අරන් මුට්ටියකට දානවා. මිටිහාල් කීවේ එහෙම මුට්ටියට දාන හාල්වලට. මිටිහාල් මුට්ටිය පිරුණාම ඒ හාල් විකුණලා සල්ලි ගන්නවා. එහෙම එකතු කරන සල්ලි මං නම් වියදම් කළේ පන්සලේ වැඩවලට. පින්කම්වලට.
ඔය අතරගල්ල වානේ පන්සලේ වැඩඉන්න පිළිම වහන්සේ බැන්දේ ගෑනු අපි එකතුවෙලා. ඒ කාලේ පිළිම හදන්න බදාමවලට ගත්තේ හුණුගල්. අපි හුණුගල් ගෙනත් වනේ (වංගෙඩියේ) දාලා කොටනවා. ඊළඟට කුරහන් ගලෙන් අඹරනවා. මුට්ටියක කඩපිම්මක් (රෙදි කැබැල්ලක්) බැඳලා ඒ හුණුගල් කුඩු කඩපිම්මට දාලා සීල වැඩිකර ගන්නවා. (පෙරාගන්නවා/ බේරාගන්නවා) ආන් එහෙම කරලා ගන්න බදාම තමයි ඔය පිළිම වහන්සේ හදන්න ගත්තේ. හුණුගල් කොටලාම වංගෙඩි, මෝල්ගස් පැලුණා. අද ඉතින් මේ මොකවත් නෑනේ. ගම හුඟක් වෙනස් වෙලා.
අව්-වැසි, දවල්-රෑ නොබලා මහපොළොව, සතා සීපාවා සමඟ පොරබඳිමින් ජීවිත පහක් ජීවත් කරවීමට හුදෙකලා සටනක නිරත වී ඉන් ජය ලබා අද ඒ ජයග්‍රහණවල සතුට විඳිමින් ජීවිතයේ සැදෑ සමයත් පසුකර සිටින මේ වයෝවෘද්ධ මාතාවට තවත් බොහෝ කලක් ජීවත් වීමට වරම් ලැබේවායි පතමින් අපි ඇගෙන් සමුගත්තෙමු.
ගල්ගමුව - නිහාල් ජයවීර