2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා

මැති සබේට කඩාවැටුණු ටෙලිෆෝන් රහස්

 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 291

බැඳුම්කර අවනඩුව අව් අස්සේ තවත් මහත් ආන්දෝලනාත්මක හුටපටයක් එළියට පැන්නේය. මැති ඇමැතිවරුන්ගේ දුරකතන සංවාද ටැප් කිරිල්ල පිළිබඳ අලකලංචිය ය. කොමිසම වෙත ලැබුණු බව කියන ඇලෝසියස්වරුන් හා දුරකතන කතාබහේ යෙදුණු මැති ඇමැතිවරු පිළිබඳ විස්තර එළියට ඒමත් සමඟ පාර්ලිමේන්තුව තුළ මහත් කලබගෑනියක් ද හටගත්තේය. තත්ත්වය උග්‍ර වූයේ කෝප් කමිටු සාමාජිකයන්ගේ නම් ද කියැවෙන්නට වූ කාලය. පාර්ලිමේන්තුව තුළ වරප්‍රසාද ප්‍රශ්න මතුකරන්නට විපක්ෂ මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ම ඉදිරිපත් වූහ. හිටපු ජනාධිපතිවරයා අනතුරු ඇඟවූයේ ආණ්ඩුව පොලිස් පාලනයක් කරා යන ලකුණු පහළ වී ඇති බවටය. ආණ්ඩුවේම ඇමැතිවරුන්ගේ නම් ගම් සඳහන් වීම සමහරු දුටුවේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් හැටියටය. එජාපය දියකර හැරීමේ මඩ ව්‍යාපාරයක් ලෙසටය. මේ නිසාම සමහර ඇමැතිවරු තමන්ගේ නිර්දෝෂීභාවය ගැන මාධ්‍ය මගින් කරුණු ඉදිරිපත් කරන්නටද පෙළඹුණහ

මේ සියල්ලට හේතු වූයේ බැඳුම්කර අවනඩුවේ ප්‍රධාන චරිත වන ඇලෝසියස්වරුන් හා මේ කියන මැති ඇමැතිවරු සිදුකළ දුරකතන සංවාද ටැප් කර ඇති බවට පැන නැඟුණු සැකයයි. අන්තිමේ දී බැඳුම්කර කොමිසමේ සභාපතිවරයාට මේ සැකය ඉවත් කිරීම සඳහා ප්‍රකාශයක් නිකුත් කිරීමටද සිදුවිය. ඔහු කීවේ දුරකතන ඇමැතුම් ලැබුණු දින වකවානු, කතාබහ යෙදුණු කාලය ගැන වැනි ඉලෙක්ට්‍රොනික දත්ත පමණක් තමන්ට ලැබුණු බවය. ඒ හැර එම ඇමතුම්වලදී සිදු වූ කතාබහ පිළිබඳ කිසිවක් තමන් සතු නොවූ බවය. Whatsapp, Viber, Imo, වැනි තාක්ෂණික පහසුකම් භාවිතා කළ ආකාරය පිළිබඳ තොරතුරුද හෙළිදරව්වී තිබේ. නමුත් දැන් මේ තොරතුරු රහසිගතව ලබාගැනීම සහ එළිදරව් කිරීම හේතුවෙන් මන්ත්‍රී වරප්‍රසාද කඩවූවාදැයි යන්න සෙවීමට පාර්ලිමේන්තු කමිටුවට භාරකර තිබේ.

ආණ්ඩුවට අවශ්‍ය නම් රටේ ඕනෑම කෙනෙකුගේ දුරකතන සංවාදවලට රහසිගතව සවන් දිය හැකිය. රටේ ආරක්ෂාව සඳහා වන කරුණුවලදී යම් යම් සැකසහිත පුද්ගලයන්, ආයතන, කල්ලිවල දුරකතන සංවාදවලට සවන් දීම අමුතු කාරණයක් නොවේ. එසේම කාලාන්තරයක සිටම දුරකතන සංවාද අල්ලා ගැනීමේ හෙවත් (ටැප්) කිරීමේ හැකියාව මේ රට තුළ ද පවතින බවද රහසක් නොවේ.

මේ වසර මුලදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සිදුකළ ප්‍රකාශයකට අනුව වත්මන් රජය අමෙරිකාවෙන් ජංගම දුරකතන සංවාදවලට සවන් දිය හැකි අලුත් තාක්ෂණික උපකරණ ගෙන්වා තිබේ. පසුගිය රජයේ කාලය වන විට පහසුකම් තිබුණේ ස්ථාවර දුරකතනවලට සවන් දීමට පමණක් බවත්, ජංගම දුරකතනවලට රහසේ සවන් දීමට එකල හැකියාව තිබුණේ මීටර සියයක වපසරියක් තුළ බවත් මන්ත්‍රීවරයා හෙළිදරව් කර තිබුණි. නමුත් දැන් ගෙන්වා ඇති ප්‍රබල උපාංග භාවිතයට ගන්නට නම් ඒ සඳහා දුරකතන සමාගම්වල ආධාරය අවශ්‍ය බවද ඔහු හෙළිදරව් කළේය. ඉතින් මේ කතාව නොකියා කියන්නේ (ටැප්) කිරිල්ල ප්‍රසිද්ධ රහසක් බවය.

දුරකතනයක් ටැප් - කිරීමට හෙවත් දුරකතන සංවාදයකට හොරෙන් සවන් දීමට මේ කාලයේ අලුත් තාක්ෂණික ජිමික් සහ ගැජට් ඕනෑතරම් තිබේ. ඒවා ඉතා පහසුවෙන් විවෘත වෙළෙඳපළෙන් ලබාගත හැකි අතරම අන්තර්ජාලය මගින් නිවසටම ගෙන්වා ගන්නටද හැකිය. බොහෝ රටවල ආණ්ඩු මේ උප්පරවැට්ටය විවිධ පුද්ගලයන් හා ආයතනවල ගනුදෙනු ගැන සොයාබැලීම සඳහා භාවිතා කරයි. ඒ සඳහා රහස් පොලිසිය ඔත්තුසේවා බඳු විවිධ ආයතන සහ බලයලත් පුද්ගලයන් පත් කරනු ලැබ තිබේ. පෞද්ගලික මට්ටමෙන් කෙරෙන රහස් සෙවීමේ කටයුතුවලදීද දුරකතන ටැප් කරනු දක්නට හැකිය.

දුරකතන සමාගම් සෑම එකක්ම පාහේ එක්තරා ආකාරයකට සිය පාරිභෝගිකයන්ගේ දුරකතන ටැප් කර තිබේ. දුරකතන සංවාදයක් සිදුවන දිනය වෙලාව, කතා කරන කාලය, කතාබහ සිදුවන්නේ කවර දුරකතන දෙකක් අතර ද වැනි විස්තර ඔවුන් සතුවන අතර එය ඔවුන් භාවිතා කරන්නේ සිය අයකිරීම් සඳහා බිල්පත්‍ර සකස් කිරීමටය. නමුත් අවශ්‍ය නම් මේ සමාගම්වලට නිශ්චිත දුරකතනයක් මගින් කෙරෙන කතාබහට සවන් දීමට පහසුකම් තිබේ. ඒවා පටිගත කිරීමට ද හැකියාව පවතී. නමුත් එවැන්නක් නීතිමය වශයෙන් ඉල්ලා සිටීමකදී හැරෙන්නට ඔවුන් සාමාන්‍ය සේවා යටතේ සිදුකරන්නේ නැත. සිය කීර්තිනාමය සහ විශ්වාසවන්ත භාවය රැකගැනීමට අවශ්‍ය නිසාය. නමුත්, මේ තාක්ෂණික ලෝකයේ කිසිදු දෙයක් තවදුරටත් රහස් වශයෙන් පවතින්නේ නැත. කෙනෙකුට අවශ්‍ය නම් ඉතා පහසුවෙන් තවත් අයකුගේ හෝ ආයතනයක දුරකතන කතාබහට අතරමැදින් සම්බන්ධ වී සවන් දෙන්නට හැකියාව තිබේ.

දුරකතන ටැප් කිරිල්ල ඇරඹෙන්නේ දුරකතනය වාණිජ වශයෙන් නිෂ්පාදනය ඇරුඹුණු දා සිටමය. හරියටම කියනවා නම් දුරකතන කතා පටිගත කිරීමේ පහසුව ඇරඹුණු දා සිටය. වර්ෂය වශයෙන් සඳහන් කරනවා නම් එය 1890 තරම් ඈත කාලයක ඇරඹුණකි. නමුත් එදා කෙරුණේත් අද කෙරෙන්නේත් එකම කාර්මික සෙල්ලමකි. වෙනස ඇත්තේ භාවිතා කරන උපකරණ, උපාංග ගැජට් බැජට් ආදිය වඩාත් කාර්යක්ෂම බවටත් ඉතා හුරුබුහුටි බවටත්, වෙස්වලාවෙන් යුතු ක්ෂුද්‍ර සියුම් උපකරණ ලෙසටත් නිර්මාණය වී පැවතීමය.

ඕනෑම රහස් සාකච්ඡාවක් හොරෙන් අහන්න පුළුවන් ගැජට්

දුරකතන ටැප් කිරීමේ ක්‍රියාව හැඳින්වෙන Wire tap නමැති වචනය මේ ක්‍රියාවලිය කෙතරම් සරලද යන්න පහදා දෙයි. ප්‍රධාන ක්‍රම කිහිපයක් මේ කියන Tap කිරිල්ල හෙවත් හොරෙන් සවන් දීමට භාවිතා වෙයි. එයින් වඩාත් කාර්යක්ෂම හා රහසිගත ක්‍රමය ලෙස පිළිගත හැක්කේ දුරකතනයක කතන හා ශ්‍රවණ කොටස සහිත hand set එක තුළ සංවාද සොරාගන්නා උපකරණයක් සැඟවීමයි. එය තුළ ඇති සරල වයර් පරිපථයට සවන්දෙන සහ පටිගත කරෙන උපාංග සවිකිරීමයි.

මෙහි වඩාත් ප්‍රතිඵලදායක ක්‍රමය ලෙස දැන් ඉදිරියෙන්ම ඇත්තේ දුරකතන අත් බනුව තුළ ස්ථාපිත කෙරෙන උපාංගය භාවිතයෙන්, රේඩියෝ තරංග මගින් වෙනත් ස්ථානයක සිටින තැනැත්තාට සංවාදයන් අසන්නට සැලැස්වෙන උපක්‍රමයයි.

කෙලින්ම දුරකතන සම්බන්ධතා ලබාදෙන වයර් පද්ධතියට සම්බන්ධ වීම අනෙක් ක්‍රමයයි. එහිදී දුරකතන සම්බන්ධක කුලුණු හෝ සම්බන්ධක පෙට්ටියේ සිට දුරකතනය වෙත එන වයර් බාහිර දුරකතනයකට සම්බන්ධ කර ගැනීම සිදුවේ. මේ සඳහා දුරකතන පරීක්ෂාව සහ අලුත්වැඩියාවට එන lines manවරුන් භාවිත කරන ආකාර දුරකතනයක් භාවිතා කළ හැකිය. මේ කියන දුරකතන ඩොලර් 130කට පමණ කළු කඩයෙන් ලබාගන්නට හැකිය.

වීදුරු වැසූ කාමරයක් තුළ කෙරෙන කතාබහ වුවද අල්ලාගත හැකි උපක්‍රම සහිත ගැජට් දැන් බිහිව තිබේ. අධෝරක්ත කිරණ මගින් ක්‍රියාත්මක මේ එක් ක්‍රමයකදී කාමරයක් තුළ කෙරෙන කතාබහ හේතුවෙන් ඇතිවන කම්පන තරංග අල්ලාගැනීමත්, ඒවා මැනැවින් තෝරාබේරා පෙරාගන, වර්ධනය කරගැනීමත් මගින් සවන් දීම හෝ පටිගත කරගැනීම සිදු කෙරේ. කිසියම් නිශ්චිත ප්‍රදේශයක සැරිසරන ගුවන් යානා, හෙළිකොප්ටර හෝ ඩ්‍රෝන යානා තුළ ගෙන යන සංකීර්ණ උපකරණ පද්ධති මගින් එකී ප්‍රදේශය තුළ සිදුවන දුරකතන සංවාද ග්‍රහණය කර ගැනීමට තරම් තාක්ෂණය දැන් දියුණුය.

ජංගම දුරකතන සඳහා විශේෂයෙන්ම තැනූ Apps මෙන්ම රහසිගත කුඩා ඇටවුම් උපකරණද පවතියි. දුරකතන සමාගම්වලට අයත් කුලුණු වලින් නිකුත්වන රේඩියෝ සංඥාවන් ග්‍රහණය කරගන්නා විශේෂ උපකරණ දැන් වඩාත් තීව්‍ර සංවේදී බවකින් යුතුය. මේ නිසා එම උපකරණයේ බලසීමාව තුළ ඇති කුලුණු ඔස්සේ සිදුවන කතාබහ තවදුරටත් සතර කන් රහස් මන්ත්‍රණයක් නොවේ. ජංගම දුරකතනවලට රහසිගතව සවන් දීම සඳහා දැන් රේඩියෝ සහ විකිරණ තරංග යොදාගන්නා උපකරණ ඕනෑතරම් දක්නට ලැබේ. ලිඛිත පණිවුඩයක් මිස්ඩ් කෝල් එකක් ලෙස එන ව්‍යාජ සබඳතාවයක් මගින් දුරකතනය තුළ අඩංගු සියලු විස්තර එයින් කෙරෙන කතාබහ එළියට ඇදගැනීමේ පහසුකම් දැන් තිබේ. මේ නිසා ටෙලිෆෝන් ටැප් කිරීම අද ඉතා පහසු කාරියක් බවට පත් වී හමාරයි.

ලෝකයේ බොහෝ රටවල, අපේ රටේ වාගේම දුරකතන ටැප් කිරීම තහනම්ය. නීතිපති දෙපාර්තමේන්තුවේ අවසරය මත පමණක් කළ යුතු කාරියකි. නමුත්, නීතිරීති නොතකන ආයතන සහ පුද්ගලයන් රහසිගතව තමන්ගේ ප්‍රතිවාදීන්ගේ දුරකතන ටැප් කිරිල්ල දිගටම සිදු වේ. අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයකු වන රිචඩ් නික්සයන් හට ගෙදර යන්නට සිදුවූයේද මෙබඳු නීතිවිරෝධී ටැප් කිරිල්ලක් අතේ පත්තු වීම නිසාය. එය වෝටර් ගේට් සිද්ධිය ලෙසින් ලෝ ප්‍රකට වූ ආන්දෝලනාත්මක සිදුවීමකි. ග්‍රීසියේ සහ ඉතාලියේ ද ආණ්ඩුවලට කලකට පෙර ටෙලිෆෝන් ටැප් කිරිල්ලේ චෝදනා එල්ල වී තිබුණි. මේ සියලු කාරණා කෙසේවුවත් ෆෝන් ටැප් කිරිල්ල ඔබ අද මෙය කියවන මොහොතේදීත් අප්‍රසිද්ධියේ සිදුවන තාක්ෂණික හුටපටයකි. 

♦ සුගත් පී කුලතුංගආරච්චි