2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

යොවුන් කෙටිකතා පොත් දෙකක්

 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 390

දරුවා තාරුණ්‍යයට පා තැබීමට පෙරහුරු ලබන්නේ යොවුන් වියෙනි. යොවුන් වියේ දරුවන් උදෙසාම නිර්මාණය වූ වෙළෙඳ භාණ්ඩ, ඇඳුම් විලාසිතා, පමණක් නොව බැංකු ගිණුම් පවා බහුලය. එහෙත් ඔවුන්ට වෙන්වූ සාහිත්‍යය නම් දුර්වලය. ඒ අඩුව සපුරාලීම සඳහා ප්‍රවීණ පරිවර්තක බොබී ජී. බොතේජු උත්සාහ දරා ඇත්තේ යොවුන් කෙටිකතා කෘති දෙකක් පරිවර්තනය කිරීමෙනි. ඒවා ගොඩගේ පොත් මැඳුරෙන් පළ කර තිබේ. වැඩිහිටියන්ට වෙන්වූ කෙටිකතා පරිවර්තන බිහිවුවද අප රටේ යොවුන් කෙටිකතා පරිවර්තන දුලබය.

“උභතෝකෝටික” රාමේන්ද්‍ර කුමාර නම් සම්මානනීය ඉන්දීය ලේඛකයා ලියූ කෙටිකතා කිහිපයකි. ත්‍රාසජනක අත්දැකීම්, වීර කතා ආදී තේමා ඔස්සේ යොවුන් පාඨකයා ඇමතූ ලේඛකයන් දැන් වෙනස් තේමා ඔස්සේ ජීවිතයේ ගැඹුර ඔවුන්ට අවබෝධ කරවීමට උත්සාහ දරන බව මෙහි කෙටිකතා කියවන විට පැහැදිලි වේ. නූතන ගැටවර පරපුර මුහුණදෙන ගැටලු ඔහු තේමා කරගනී. ඒ අතරම සමාජ සාරධර්ම සුරුකීමේ වැදගත්කම ද ඔහු පෙන්වා දෙයි.

උභතෝකෝටික කෙටි කතාවෙන් කියවෙන්නේ ළමා ක්‍රිකට් ක්‍රීඩකයෙකුට තම මවගේ හෘදයාබාධ සැත්කම කිරීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමේ ගැටලුවයි. පපී මානියා කතාවෙන් විස්තර වන්නේ බිජිලි නම් බැල්ලක සම්බන්ධ සිද්ධියකි. යථාවබෝධය, මගේ ප්‍රබෝධය, මගේ ගුරුතුමිය, මඩකඩිති, සරැංගලය, එල්ලය හා වෙඩි තැබීම, දේශප්‍රේමය ඇතුළු කෙටිකතා 15 කින් මෙම කෘතිය සමන්විතය.

පාසල් මිත්‍රයා සහ තවත් බල්ගේරියානු කතා කෘතිය රසවත් කතා 16 ක එකතුවකි. මෙහි කතුවරයා ඈන්ජල් කෝර්ලුචේන්ය. ඔහු අමිහිරි අත්දැකීම් පාදක කරගෙන කතා ලිවීමේ ශූරයෙක් ලෙස සැලකේ. බල්ගේරියානු භූමිය එහි පාරිසරික සුන්දරත්වය හා පසේ සාරවත්භාවය ආදී කරුණුවලින් ඔහුගේ නිර්මාණ පොහොසත්ය. මෙම කතා ජනකතා මෙන් සරල බස් වහරකින් රචනා කර තිබේ. දුෂ්කරතා ජයගෙන ඉදිරියට ගමන් කිරීමේ වැදගත්කම මේ බොහෝ කතාවලින් පැහැදිලි කෙරේ.

බොබී ජී. බොතේජු යොවුන් පාඨකයන්ට ගැලපෙන සරල බස් වහරක් මෙම පරිවර්තන සඳහා යොදාගෙන ඇත.

 පාඨක

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00