2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

සික්ස් පැක්ස් මොළයක්!

 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 174

ජීවිතේ ඉස්සරහට යද්දි යද්දි එක එක ජාතියේ රැළිවලට අපි අහුවෙන එක සාමාන්‍ය දෙයක්. ඕලෙවෙල් පන්තියෙදි ඉස් ඉස්සෙල්ලාම සෙන්ට් කුප්පිය හලාගන්න කෙල්ලො කොල්ලො ඊට පස්සෙ තමන්ටම කියලා කෙල්ලෙක් කොල්ලෙක් හොයාගන්නවා. ඒකත් රැල්ලක්. ඊට පස්සෙ තමන්ටම කියලා බයික් එකක්, කාර් එකක් වගේ රැලි ගොඩක් පස්සෙ පන්නන්න ගන්නවා. හරියට සර්ෆින්කාරයෙක් වගේ. මෙහෙම යද්දි අවුරුදු විසි පහ විතර වෙද්දි මුණගැහෙන තව රැල්ලක් තමයි ජිම් රැල්ල කියන්නෙ. 

ජිම් එක කියන්නෙ මේ වෙනකොට කෙල්ලො කොල්ලෝ කියල භේදයක් නැතුව වගේම වයස් භේදයක් නැතුවත් ජනප්‍රිය වෙලා තියෙන රැල්ලක්. සමහරු ජිම් යන්නේ සික්ස් පැක්ස් හදාගන්න. තව සමහරුන්ට ඕනෙ කළගෙඩි වගේ තියෙන බඩවල් බස්සගන්න. කෙල්ලෝ බහුතරේකට ඕනෙ කොකාකෝලා බෝතලේ වගේ ඇඟක්. ඔය අතරේ මඟුලට මාසයක් දෙකක් කල් තියලා ජිම් එන කෙල්ලොත් ඉන්නවා. මොක නැතත් මඟුල් ෆොටෝ එකවත් හරියට තියෙන්න එපෑයැ කියලා හිතලා වෙන්නැති. 

මේ විදිහට එක එක අයට ජිම් එන්න තියෙන්නෙ එක එක හේතු. හැබැයි ඒ එක හේතුවකටවත් හේතු නෙමේ කියලා කියන්නත් බෑ. 

ඇත්තටම ජිම් එක කියන්නෙ වෙනම සංස්කෘතියක්. දුවන, පාගන, උස්සන මැෂින් පිරැණු යකඩ බාර්, ඩම් බෙල්ස් විසිරුණු ජිම් එක කියන්නෙ වෙනම ලෝකයක්. බස් එකේදී ළඟ ඉන්න එකාගේ කිහිල්ලෙ පුසුඹට නාහේ සීල් කරගන්න ඈයෝ ජිම් එකේ දාඩිය ගඳ විඳ විඳ වරු ගණන් ගෙවන්නෙ ඒකයි. 

ඔය සේරම අස්සෙ ජිම් යන කෙල්ලෝ කොල්ලෝ සේරම ඉන්ස්ට්‍රක්ටර් අයියට මල් තියලා වඳින්නෙ නැති එක විතරයි. මිනිහා කියන්නෙ මොකක්ද දේව භාෂිතය වගේ තමයි සලකන්නෙ. 

අනිත් පැත්තට බැලුවම ජිම් එක කියන්නෙත් තවත් එක ඇබ්බැහියක්. හරියට අරක්කු, සිගරට්, ගංජාවලට ඇබ්බැහි වෙනවා වගේ දෙයක්. මොකද ඒ ඇබ්බැහියෙ සෞන්දර්යෙ අඳුනන්නෙ ඒකට ඇබ්බැහි වුණු එකයි. කතාබහ කරන මාතෘකා, එකිනෙකාට උදව්පදව් කරගන්න අපූරුව, ආහාර පාලනය වගේ ගොඩක් සහෘද මාතෘකා මේ අයට තියෙනවා. දවස ගාණෙ කණ්ණාඩිය ඉස්සරහට ගිහින් තමන්ගෙම ඇඟ දිහා ජීවිතේට නොදැක්ක දෙයක් දිහා බලනවා වගේ හැරි හැරී බලන එකත් ඒකෙම කොටසක්. 
මේ හැම අතින්ම බැලුවම ජිම් එක කියන්නේ කමියුනිටි සෙන්ටර් එකක්. මේකෙ විවිධ තරාතිරම්වල, විවිධ වයස් මට්ටම්වල කට්ටිය ඉන්නවා. අවුඩියේ, බී.එම්.ඩබ්ලිව්. එකේ ඉඳන් ඇල්ටෝ එකේ ස්කූටරේ යන කෙනාත් මෙතැනට එනවා. එක වගේ ඇඳ පැළඳගෙන එකට ව්‍යායාම කරනවා. අනික් කෙනාට පොඩි සහයෝගයක් දෙන්න බාර් එකට යන්තම් ඇඟිල්ල තියලා උස්සලා දෙනවා. මොකද මේ හැම කෙනෙක්ම ජිම් එකට ඇතුළු වෙන්නෙ එකම අරමුණකින්. ඒ තමයි ඇඟ හදා ගැනීම. ඒ පොදු අරමුණ වෙනුවෙන් එයාලා එකිනෙකාට උදව් කර ගන්නවා. යූ ට්යුබ් එකේ අලුතින් දැක්ක වර්ක් අවුට් වීඩියෝ එකක් ගැන කතාවෙනවා. එහෙම නැත්නම් ලංකාවට අලුතින්ම ආපු ප්‍රෝටීන් එකක් ගැන කියනවා. මේ විදිහට ශරීර සෞඛ්‍යය කියන මාතෘකාව මහා පොදු සාධකය කරගත්තු කමියුනිටි එකක් නිර්මාණය වෙනවා. ඒක හරි ලස්සන වැඩක්. 

හැබැයි ඇඟ හදාගන්න, ෂේප් කරගන්න මහන්සි වෙන අයගෙන් කීදෙනෙක් තමන්ගෙ මොළේ හදාගන්න, මොළේ ෂාප් කරගන්න ඔය තරම් මහන්සි වෙනවද කියන එක දරුණු ප්‍රශ්නයක්. වරු ගණන් යකඩ උස්ස උස්ස ඇඟට දුක් දෙමින්, ඇඟ හදාගන්නවා කියන අරමුණේ එකත්පස්ව පිහිටලා ඉන්න පුළුවන් වුණාට ඔළුව හදාගන්න පොතක් පත්තරයක් කියවන්න ඔය ගොඩක් අයට වෙලාවක් නැහැ. 

පහුගිය දවස්වල ලෝක රූ රැජන තරගයත් විශ්ව රූ රැජන තරගයත් පැවැත්වුණා. ඒ තරගවලින් දිනපු කෙල්ලෝ දෙන්නා දිහා බලද්දි ඒ අය තමන්ගෙන් විනිසුරු මඬුල්ල අහන ප්‍රශ්නවලට දෙන උත්තර දැක්කම එයාලගේ රූමත්කම තරමටම බුද්ධියත් වැඩිලා තියෙන බව පැහැදිලි වෙනවා. හැබැයි අවාසනාවකට වගේ අපේ රටේ ගොඩක් අය තාමත් හිතන් ඉන්නෙ රූප රැජනියෝ තෝරගන්නෙ මූණයි ඇඟයි විතරක් බලලා කියලයි. ගමේ අවුරුදු කුමාරියෝ තෝරන්නෙ එහෙම වුණාට රූප රැජනියෙක් වෙන්න නම් බුද්ධියත් ගොඩක් වැදගත්. මුහුණෙ ලස්සනට, ඇඟේ ලස්සනට යටින් තියෙන ස්මාට් බව පේන්නේ ඒ දිහා ඕනකමින් බැලුවොත් විතරයි. 

 ජා