2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

විදුලි අර්බුද වවන මණ්ඩලේ ලොක්කෝ

 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 140

විදුලි නිෂ්පාදනය සඳහා අවශ්‍ය විදුලි බලාගාර ඉදිකිරීම ප්‍රමාද කිරීම නිසා ලංකා විදුලි බල මණ්ඩලයට රුපියල් බිලියන 50ක පමණ පාඩුවක් සිදුව ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පසුගියදා වාර්තා කළේය. අඩු මිලට විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා බලාගාර ඉදිකිරීම පසෙක තබා පෞද්ගලික අංශයෙන් වැඩි මිලට විදුලිය මිලදීගෙන අඩු මිලට පාරිභෝගිකයාට දීම නිසා මණ්ඩලය අඛණ්ඩව පාඩු ලබන අතර මෙය තවදුරටත් පැවතියහොත් විදුලි බල මණ්ඩලය විශාල දුෂ්කරතාවකට පත්වන අතර විදුලි බිල වැඩිවීමෙන් ජනතාව ද අසීරුවට පත්වෙන බවට කොමිසම අනතුරු අඟවා ඇත. විදුලි බල මණ්ඩලය ඉදිරියට වැඩිවන ඉල්ලුමට අවශ්‍ය තරම් සැපයීමේ ජනන සැලැස්මක් ක්‍රියාත්මක කරනු වෙනුවට දැඩි නියඟය හා විවිධ හේතු නිසා විදුලිය විදුලිය නිෂ්පාදනය පහළ ගිය විට නිතරම පුරුදු වී තිබෙන්නේ අමාත්‍ය මණ්ඩලයට බැරෑරුම්කම වාර්තා කර වැඩි මිලට පෞද්ගලික අංශයෙන් ඉන්ධන මගින් නිෂ්පාදිත විදුලිය ලබාගැනීමටය. මේ නිසා විදුලි බල මණ්ඩලය විශාල අලාභයක් ලබන අතර මණ්ඩලය ලබාගන්නා ඉන්ධනවලට හිමි මුදල් නොගෙවීම නිසා විදුලි බල මණ්ඩලය ද මේ වන විට අර්බුදයකට ලක්ව තිබේ. මේ ගැටලුව පිළිබඳව අදාළ සංවිධාන කිහිපයක් සමඟ අපි සාකච්ඡාවක නිරත වීමු.

උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ සභාපති අශෝක අබේගුණවර්ධන

මුලදී අනාගත විදුලි ජනන සැලසුමක් මණ්ඩලය සකස් කළ අතර එහි සඳහන් වන්නේ ඉදිරියේ ඉල්ලුමට සරිලන ලෙසට අවශ්‍ය බලාගාර ඉදිකිරීමයි. සාම්පූර්වල මෙගා වොට්ස් 500ක ධාරිතාවෙන් යුතු ගල් අඟුරු බලාගාරයක් ඉදිකිරීම ගැන මේ අනුව සංවාදයක් ඇති විය. 2010 දී ආරම්භ කළ මෙය 2016 දී අවසන් කර ක්‍රියාත්මක කළ යුතුව තිබුණි. එහෙත් ඇතැමුන් විවිධ හේතු ඉදිරිපත් කරමින් මෙය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කළ බව දක්නට ලැබුණි.

2016 වසරේ දී තීරණය කළේ එම වසරේ ආරම්භ කර 2023 දී ව්‍යාපෘතිය නිම කිරීමටයි. එහෙත් ඊළඟට ප්‍රශ්නයක් මතුවූයේ 2023 වන විට ගල් අඟුරු බලාගාර කල්පනින නිසා වෙනත් විකල්පයකට යා යුතුය යන්න පිළිබඳවයි. එහෙත් තවම ඒ පිළිබඳ විසඳුමක් නැත. 2016 දී සැලසුම් කළ ලෙසට ගල් අඟුරු බලාගාරය තැනුවා නම් 2025 වන විට අපට තෙල් බලාගාර අවශ්‍ය නොවන්නට ඉඩ තිබුණි. එහෙත් මෙම තත්ත්වය මත අද දක්වාම සහ ඉදිරියටත් ඉන්ධන බලාගාරවලින් විදුලිය ලබාගැනීමට අපට සිදුව ඇත. 2023 වන විට ගල් අඟුරු බලාගාරයක වැඩ අවසන් කළහොත් ඉදිරියට වසර 20 පමණ හෝ ඒවා ප්‍රයෝජනයට ගත යුතුයි. එහෙත් ඒ වන විට ලොව ගල් අඟුරු බලාගාර ඉවත් වෙමින් පවතිනු ඇත.

ගල් අඟුරු බලාගාර නිසා ලොව උෂ්ණත්වය අනාගතයේ දී සෙන්ටිග්‍රේට් අංශක 5-6 කින් ඉහළ නගිනු ඇති බවට පරිසරවේදීන් පෙන්වා දී තිබේ.

ජනාධිපතිවරයා ඉන්දියාවට ගොස් සාකච්ඡා කිරීමෙන් අනතුරුව ස්වභාවික ගෑස් බලාගාරයක් තැනීම ඊළඟ සැලසුම විය. එහෙත් මේ පිළිබඳ පැවැති තාක්ෂණික කමිටු රැස්වීම්වලට මණ්ඩලයේ ඉංජිනේරුවන් සහභාගි වීම ප්‍රතික්ෂේප කර ඇත. එයට හේතුව තමන් විසින් ඉදිරිපත් කරනු ලැබූ ජාතික විදුලි බල සැලසුමක් මහජන උපයෝගිතා කොමිසම ප්‍රතික්ෂේප කළාය යන හේතුවයි. මෙය ඇතිකරගත් බොරු ආරවුලක් වන අතර ප්‍රස්තුත කාරණය හා කිසිදු සම්බන්ධයක් නොමැත. මෙම තත්ත්වය මත විදුලි අර්බුදයට යෝජිත ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කිරීම ගැටලුවක්ව තිබේ.

2017 වසර වන විට පෞද්ගලික විදුලි බලාගාරවලින් ඒකකය රුපියල් 40 බැගින් අධිමිලට විදුලිය ගැනීමට කටයුතු කරයි. මෙය විශාල වංචාකාරී කුමන්ත්‍රණයක් බවට මේ වන විට තොරතුරු හෙළි වී තිබේ. මෙය දිගටම කළ හැක්කක් නොවේ. සෑම වසරකම අපේ රටේ විදුලි ඉල්ලුම සියයට 5කින් ඉහළ යයි. මේ තත්ත්වය හමුවේ ඉදිරියේ දී වැඩිවන ඉල්ලුම සපුරාලන සැලසුමකට යා යුතුය. එහෙම නැතුව පැලැස්තර විසඳුම්වලින් ප්‍රතිඵලයක් ගත නොහැකියි. ඒ නිසා 2023 වන විටවත් ක්‍රියාත්මක කළ හැකි සැලසුමක් සෑදීම අවශ්‍ය වේ.

කනගාටුවට කරුණක් වන්නේ මේ වන විට කිසිදු ස්ථාවර බලාගාරයක් තැනීමේ සැලසුමක් ආණ්ඩුවට නොමැති වීමයි. නිවර්තන කලාපීය රටක් නිසා පුනර්ජනනීය බලශක්තියෙන් ඉදිරියට යාම අපට පහසු වේ. අපේ රටේ මන්නාරම් ද්‍රෝණියේ ස්වභාවික වායු පවතින නිසා මේ පිළිබඳ සලකා බැලිය යුතුය.

සූර්ය බලශක්ති විදුලි බලාගාර ඉක්මනින් තැනීමට හැකි නමුත් ඒ පිළිබඳ අවධානය යොමු කිරීම අවමය. එහිදී සිදුවන්නේ පිටතින් ගෙනෙන කොටස් එකතු කර බලාගාර තැනීමය. දැන්වත් ක්ෂණික අවශ්‍යතාවක් ලෙස සලකා මෙයට යොමුවීම වැදගත් වේ. 2020 වසර වන විට සූර්ය බලශක්තියට ඔබින වහලවල් මිලියනයක් තැනීමේ සැලසුමක් පෞද්ගලික ආයෝජන මත දියත් කිරීමට පියවර ගෙන ඇති බව දැනගන්නට ඇත. පුද්ගලයන් තම වහලවලින් සූර්ය බලශක්තිය නිපදවා විකුණනවා නම් ඒකකයකට රුපියල් 22 ක් මුල් වසර 7 තුළ ගෙවීමට මණ්ඩලය සූදානම් අතර 8 වසරේ සිට ඒකකයකට ගෙවන්නේ රුපියල් 15/50 බැගිනි. මෙලෙස මෙගා වොට් 1 සිට 10 දක්වා තැනීමට කටයුතු යොදා ඇත. තවද සූර්ය වහළ තැනීමට යන වියදමෙන් සියයට 85 ක් අඩු පොලී ණයක් ලෙස බැංකුවලින් සැපයේ. එසේම එම පොලියෙන් සියයට 50 ක් ආණ්ඩුව ගෙවන බවද ප්‍රකාශිතය. පසුගියදා මෙම ක්‍රමයට මෙගා වොට්ස් 100 ක් සම්පූර්ණ කිරීමේ උත්සවයක් ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

අඩුම නිෂ්පාදන වියදම සුළං විදුලි බලාගාරවලින් නිපදෙන විදුලියටයි. එයින් ඒකකයකට වන වියදම රුපියල් 11 කි. නොරොච්චෝලේ වැය රුපියල් 18 ක් වන අතර මෙයින් රුපියල් 7 ක් ලාභදායී වෙයි. ඒත් ආණ්ඩුව මේ පිළිබඳ දක්වන්නේ උදාසීනකමකි. පසුගිය සමයේ මන්නාරමේ සුළං විදුලි බලාගාරවලින් මෙගා වොට්ස් 100 ක් ලබාගැනීමට සැලසුම් කළත් එය ක්‍රියාත්මක වූයේ නැත.

දැන් සිදුවෙමින් පවතින්නේ 2025 දී ගල්අඟුරු බලාගාර තනන්නට යැයි කියමින් ඒ සඳහා සැලසුම් ක්‍රියාත්මක නොකර දිගටම ඉන්ධන විදුලිය ලබාගැනීමට කටයුතු කිරීමකි. මෙය මුළුමනින්ම ප්‍රෝඩාකාරී වැඩපිළිවෙළකි. එක් කණ්ඩායමක් පොහොසත් වන අතර මුළු රටම අගාධයට යාම මෙයින් සිදුවේ. විදුලිබල මණ්ඩලයේ සිදුවන බව කියන තාක්ෂණික වංචා සෙවීම අපහසුය. ඇතැම් අය සම්බන්ධ වී ඉතාම සැලසුම් සහගත ලෙස මෙම වංචා සිදුකරමින් පවතින බවක් පෙනෙන්නට තිබේ.

විදුලිබල සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල් පවසන්නේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම තම විෂය ක්ෂේත්‍රයට අදාළව කටයුතු කරනවාද යන්න පිළිබඳ ගැටලුවක් පවතින බවයි.

“2009 මාර්තු 6දා මෙම කොමිසම පිහිටුවන අවස්ථාවේ රජය පැවසුවේ මෙය විදුලිබල නියාමනය හදන කොමිසමක් බවයි. අපි ඒ අවස්ථාවේදී පෙන්වා දුන්නේ මෙම කොමිසමට විදුලි බල මණ්ඩලයේ පැමිණිලි නියාමනය කිරීමට හැකියාවක් හා සුදුසුකම් නොමැති බවයි. අද එය සනාථ වී තිබෙනවා. එහි සභාපති ඇතුළු සාමාජිකයන්ගේ වැටුප් ආදියට මිලියන ගණනක් විදුලිබල මණ්ඩලයේ මුදල් ගෙවනවා. එහෙත් සිදුවූ දෙයක් නැහැ.

විදුලි බලාගාර ඉදි නොකිරීම නිසා හා එය ප්‍රමාදවීමෙන් රුපියල් බිලියන 50ක පමණ පාඩුවක් සිදුව ඇති බව කොමිසම පවසනවා. එහෙත් මණ්ඩලයේ පවතින තත්ත්වය නියාමනය කිරීමට හෙවත් අඩුපාඩු සකස් කර එය කාර්යක්ෂම කිරීමට ඔවුන් අසමත් වෙලා. මෙවැනි ප්‍රකාශ ඔවුන් නිකුත් කළ මුල් අවස්ථාව මෙය නොවෙයි. නින්දෙන් ඇහැරිලා වගේ හදිසියේ මෙවැනි දේ පැවසීමෙන් සිදුවන යහපතක් නැහැ. කොමිසම තම වගකීම පැහැර හැරලා මෙවැනි ප්‍රකාශ නිකුත් කර ඇඟ බේරාගන්න හදනවා.

ආණ්ඩුව මෙය පිහිටවූයේ මෙලෙස කිය කියා ඉන්න නොවෙයි. විදුලිබල මණ්ඩලයේ තීරණ ගැන සොයාබැලිය යුතුයි. අඩුපාඩු සකස්කර දිරි ගැන්විය යුතුයි. මිනිසුන්ගේ පැමිණිලිවලට ක්‍රියා කරන්නේ නැහැ. මණ්ඩලය ජනතා සැලසුම් ක්‍රියාත්මක නොකිරීමෙන් අර්බුදයක් ඇතිවන බව කියන්න නම් කොමිසමක් අවශ්‍ය නැහැ. එය අද කාටත් පෙනෙන දෙයක්. මෙම කොමිෂන් පත් කිරීමේ මුඛ්‍ය පරමාර්ථය ඉටුව නැති බව පැහැදිලියි.”

ඔහු පවසන්නේ විදුලිබල මණ්ඩලය තම ඉතිහාසය තුළ මුහුණ දුන් මුල්ම අර්බුදය මෙය නොවන අතර අවුරුදු 5කට වඩාක් වගේ නියඟයට මුහුණදීමට සිදුවීමෙන් අර්බුදයක් පැන නගින බවයි. එයට විසඳුම ලෙස හදිසි අවශ්‍යතා ලෙස සලකමින් ඉන්ධන විදුලි බලාගාරවලින් වැඩි මිලට විදුලිය ගනී. ජනන සැලසුම් ක්‍රියාත්මක කළහොත් ඇතැම් නිලධාරීන්ට හා දේශපාලනඥයන්ට අතයට ගනුදෙනු සිදුකළ නොහැකි නිසා ඒ ගැන උනන්දුවක් නැත.

මෙම අර්බුදයේ ගොඩඒමට යයි මෙගාවොට් 50 ලබා ගැනීමට විදුලි ජනන යන්ත්‍ර ගෙන්වීමට කටයුතු කෙරිණි. මේ සඳහා පුවත්පත් දැන්වීමක් ප්‍රකාරව ටෙන්ඩර් කැඳවූ විට ටෙන්ඩර් 14ක් ලැබී තිබුණු අතර ඒ අතරින් අමෙරිකානු යන්ත්‍ර ගෙන්වන ශ්‍රී ලංකා සමාගමක ටෙන්ඩරය කාර්මික අගැයීමේ කොමිටුව අනුමත කර තිබුණි. ඇම්පියර් 1.5 මෙගා වොට්ස් 1 යන්ත්‍ර 50ක් සහ ඇම්පියර් 1.25 මෙගා වොට්ස් 1 යන්ත්‍ර 25ක් ඔවුන්ගෙන් ඇනවුම් කිරීමට ආසන්නව සිටියදී හදිසියේ එය අවලංගුකර වෙනත් සමාගමකින් ඉන්දියානු යන්ත්‍ර ගෙන්වීමට කටයුතු කර ඇත. මෙහිදී මුල් ආයතනය අධිකරණයේ නඩුවක්ද පවරා තිබේ.

බලශක්තිය යනු විශාල බලපෑමක් කළ හැකි දෙයකි. අර්බුද නැති වුවද ඒවා ඇතිකළ හැකිය. අර්බුද ඇතිවන තරමට ඇතැම් අයට වාසි ලැබේ. සූර්යතාප විදුලිබලාගාර ඇති කිරීම පෞද්ගලික අංශයට දී තිබේ. පසුගිය අයවැයට පෙර අයවැයේදී මෙමගින් මෙගා වොට්ස් 4000ක් නිෂ්පාදනය කිරීම සඳහා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය පහසුකම් දිය හැකි බව ප්‍රකාශ වුවද මණ්ඩලය ඒ සඳහා උනන්දුවක් නොදක්වා පෞද්ගලික කොන්ත්‍රාත්කරුවන් වෙත නැඹුරුව සිටී. විදුලිබල මණ්ඩලයේ ආචාර්ය උපාධිය ලැබූ ඉංජිනේරු විශේෂඥයෝ සේවය කරනවා. ඒ අය වෘත්තීය දීමනා ලෙස උපාධිය සඳහා වැටුපට අතිරේකව ලක්ෂ 2 බැගින් ලබා ගත්තත් ඔවුන්ගෙන් වැඩ ගැනීමක් සිදු නොවී සම්ප්‍රදායික ලෙස පරණ විදියට සියල්ල සිදුවෙයි.

දූෂණ විරෝධී පෙරමුණේ උපදේශක රජිත් කීර්ති තෙන්නකෝන්:

විදුලිබලය වැඩි මිලට පෞද්ගලික විදුලි බලාගාරවලින් මිලයට ගෙන අඩු මිලට පාරිභෝගිකයාට විකිණීම අවුරුදු 15කටත් වැඩි කාලයක සිට පවතින අර්බුදකාරී තත්ත්වයකි. මෙම අලාභය ගෙවන්නට සිදුව ඇත්තේ මහා භාණ්ඩාගාරයටයි. මෙලෙස ගෙවන්නේ මහජනතාවගේ මුදල්. මෙම තත්ත්වයෙන් ව්‍යාපාරිකයන්ට සහ මණ්ඩලයේ ඇතැම් නිලධාරීන්ට වාසි සැලසේ. මෙම ඩීසල් විදුලිබලාගාර පිහිටුවීම ආරම්භ වූයේ 1998-99 වසරවල සිටයි. එදා සිට අද දක්වා මෙම කුප්‍රකට ජාවාරම දිගටම යනවා මිස මර්දනය වී  නෑ.

නොරොච්චෝලේ විදුලි බලාගාරය නිතරම කැඩෙනවා. පසුගියදා මාස 3ක් පමණ එක දිගට අක්‍රිය වී තිබුණා. මෙයට ගල් අඟුරු ගෙන්වීමේ දී විශාල ලෙස වංචා දූෂණ සිදුවෙවි. පසුගිය සමයේ හදිසි අවශ්‍යතා මත යැයි කියමින් හදිසියේ කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කර ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරිහැටි අනුගමනය නොකර සමාගම් තෝරාගෙන ගල් අඟුරු මිලදී ගැනීමේ සිද්ධි වාර්තා වුණා ඔහු පැවසීය.

පසුගිය වසරේ ගල් අඟුරු සමාගමේ සභාපති ඉවත් කිරීමෙන් පසු ගෙන්වූ පළමු ගල් අඟුරු නැවේ ටොන් එකකට ගෙවා ඇති මුදල අමෙරිකානු ඩොලර් 90කි. එහෙත් ඒ වනවිට වෙළෙඳ පොළේ ගල් අඟුරු ටොන් එකක මිල ඩොල් 78කි. මෙලෙස වැඩිමිලට ගෙන්වීම නිසා සිදුවූ අලාභය පළමු ගල් අඟුරු නැව වෙනුවෙන් රුපියල් 11 කෝටි 56 ලක්ෂයකට අධික වේ.

ජාත්‍යන්තර මිල ගණන් කැඳවීමට පෙර එක්තරා සමාගමකින් ඇනවුම් කළ ජෙනරේටරයක් සාගරය මැද නැවකින් ලංකාවට ගෙන්වමින් තිබුණු පුවතක්ද පසුගිය දා වාර්තා විය. ඩීසල් විදුලි මාෆියාව නිසා වසරකට රටට අහිමිවන ජාතික ධනය රුපියල් මිලියන 40,000කට වැඩි බව සැලකේ.

විදුලිබල මණ්ඩලය විදුලි බලාගාර අලුතින් ඇරඹීම ප්‍රමාද කරමින් ඉන්ධන විදුලිබලාගාරවලටම යොමුවන්නේ මණ්ඩලයට කෙසේ වෙතත් ඇතැම් කොටස්වලට මෙය අතිශය ලාභදායී ව්‍යාපාරයක් වන නිසාය. රටේ අධික විදුලිබල ඉල්ලුමට පිළිතුරක් ලෙස සැලසුම් කළ කෙරවළපිටිය විදුලිබලාගාරයට ආයෝජන මණ්ඩලය පසුගියදා සමාගම් 6ක් සමග ගිවිසුම් අත්සන් කිරීමට කටයුතු කළේය. ඒ උපුල් ජයසූරිය ආයෝජන මණ්ඩලයේ සභාපති වී සිටි සමයේය. මෙම බලාගාරය වැඩිපුරම සුදුසුකම් තිබූ කොරියානු සමාගමකට නොදී වෙනත් ආයතනයකට දීමට කටයුතු කරන බවට චෝදනා කර එහි කටයුතු අතරමග කඩාකප්පල් කර ඇත. අවසානයේදී සිදුවූයේ හිටපු සභාපති උපුල් ජයසූරියටද තනතුර අතහැර යාමටයි. පසුගිය මාර්තු මස සිට මෙහි කිසිදු වැඩක් සිදුකර නැත.

මණ්ඩලයේ බොහෝ දෙනකු උනන්දුව දක්වන්නේ ජෙනරේටර් මිලට ගෙන විදුලිබලය සැපයීමටයි. මේවා සම්පූර්ණයෙන්ම දූෂිත ගනුදෙනුය. පහළ සිට ඉහළටම වාසි ලබාගනී. මෙමගින් ලබාගන්නා ඒකකයකින් ආණ්ඩුවට රුපියල් 8කට වැඩියෙන් පාඩු ලබයි. මේ වනවිට විදුලිබල මණ්ඩලය ඉංජිනේරුවරුන් ඇතුළු ඇතැම් නිලධාරීන් සහ ව්‍යාපාරිකයන් කිහිප දෙනකුගේ මාෆියාවක් බවට පත්ව ඇත.

I යසවර්ධන රුද්රිගු

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00