2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

තල් - කෙස‍ෙල් කොළ්‍ෙ සිතුවම් මවන වයස 13 සිත්තරාවි

 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 245

කෙළි තුඩින් හපන්කම් පා තම විද්‍යා මෑණියන්ගේ ගෙල රනින් සැරසූ දිරිය දියණියක පිළිබඳව පසුගියදා අපට අසන්නට ලැබුණි. හිඟුරක්ගොඩ ආනන්ද බාලිකා ජාතික පාසලේ අට වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන කේ.ඒ. ඉමේෂි මිහිනදී (13) මෙම පුංචි සිත්තරාවියයි.
හිඟුරක්ගොඩ ගුවන්තොටුපළ පාරේ ස.තො.ස හන්දිය පෙදෙසේ වෙසෙන ඉමේෂි මිහිනදී සිසුවිය දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක බාලයා හෙවත් බඩ පිස්සිය. ඇයට වැඩිමහල් අක්කලා දෙදෙනෙකි.
කේ.ඒ. බන්දුල බණ්ඩාර මහතා සහ චන්ද්‍රකාන්ති රාජපක්ෂ මහත්මිය ඇගේ මාපියන්ය. 

කුඩා ඉමේෂිගේ සිතුවම් කලාවේ විශේෂත්වය වනුයේ වියළි තල් කොළ සහ වියළි කෙසෙල් කොළ මත සිය නිර්මාණ එළි දැක්වීමයි. පින්සලය මෙන්ම පැන්සල සහ කාබන් පෑනද ඇය ඒ සඳහා උපයෝගී කර ගන්නා බව අප සමඟ කීවාය. වියළි තල් කොළ, කෙසෙල් කොළ මත රදා රටා මවන්නට තෝරා ගැනීම ඉමේෂිගේම අදහසක් මිස එය කිසිවකුගේ මඟ පෙන්වීමක් නොවන බවද අපට දැනගන්නට ලැබිණි. එමෙන්ම ඇය චිත්‍ර කලාවට යොමු වන්නේද කාගේවත් ගුරුහරුකම් මත නොව සිය සහජ හැකියාවන් තුලින්ම යැයි ඉමේෂිගේ මව වන චන්ද්‍රකාන්ති රාජපක්ෂ මහත්මිය අප සමඟ කීවාය. තම දියණියට රිසිසේ නිර්මාණ කිරීම සඳහා අවැසි සහයෝගය නොඅඩුව ලබා දෙන බවද ඇය පැවසුවාය. 

ඔවුන් වෙසෙන අවට පරිසරයෙන් තල්කොළ, කෙසෙල් කොළ අපහසුවකින් තොරව ඇය සපයා ගනී. එය සිතුවම් නිමාවේ කාර්යයට අවැසි ලෙස සකසා ගනු ලබන්නේ ඉමේෂිගේ දෑතිනි. වියළි පරඬල, බවට පත්ව ඉවතලන කෙසෙල් කොළය, තල් කොළය මත කෙරෙන නිමැවුම් සැබැවින්ම විස්මිතය. සැබවින්ම එම වියළි පත්‍රවලට නව ජීවයක් ආරෝපණය කිරීමක් ලෙස හැඳින්වුවද නිවැරදිය. නෙත් සිත් ඇද බැඳ ගන්නා ඉමේෂිගේ නේක රූ රටා දෙස බලන විට ඒවා සිතුවම් කොට තිබෙන්නේ අප ඉහතින් සඳහන් කළ වියළි තල් කොළ, කෙසෙල් කොළ මත දැයි සිතාගන්නටවත් බැරි තරම්ය.

අලංකාර දසුන්, සත්ව රූප මානව රූප මෙම පුංචි සිත්තරාවියගේ සිතුවම් ගොන්නෙහි බොහෝ තිබේ. ඒ සියල්ලක්ම ඇයගේ නිදහස් මනසේ ඇඳී පසුව නිර්මාණ ලෙස එළි දැක්වී ඇති ඒවාය.

ඉමේෂි මිහිනදී සිසුවියගේ මෙම දක්ෂතා පිළිබඳව දුටු ඇය ඉගෙනුම ලබන හිඟුරක්ගොඩ ආනන්ද බාලිකා ජාතික පාසලේ විදුහල්පතිනි මාලනී මැණිකේ මහත්මිය සහ ප්‍රායෝගික තාක්ෂණ කුසලතා විෂය බාර ආචාරිනී ක්‍රිෂාන්ති මිලන්ජනා විජේනන්දන ගුරුතුමිය 2016 වසරේදී අධ්‍යාපන කලාප මට්ටමින් පැවති ප්‍රායෝගික තාක්ෂණ කුසලතා හා තාක්ෂණ තරගයකම ඇගේ නිර්මාණ යොමු කර ඇත. එහිදී ඇයට රූපණ අංශයෙන් ප්‍රථම ස්ථානය හිමිව තිබේ. මෙම වසරේ (2017) පළාත් මට්ටමින් පැවති එම තරගයේදී ව්‍යාපාර අංශයෙන් ඉමේෂිට රන් පදක්කමක් සහ සහතිකයක් හිමිව ඇත්තේ ප්‍රථම ස්ථානය වෙනුවෙනි. එවැනි තරගයක් ජාතික මට්ටමින් නොපවත්වන හෙයින් එය ජාතික මට්ටමේ ජයග්‍රහණයක් යැයි ආනන්ද බාලිකා ජාතික පාසලේ ප්‍රායෝගික තාක්ෂණ කුසලතා විෂය බාර ආචාරිනී ක්‍රිෂාන්ති මිලන්ජනා විජේනන්දන මෙනෙවිය අප සමඟ පැවැසුවාය.   

ඉමේෂි මිහිනදී දැරිය පින්සල, පැන්සල, කාබන් පෑන මෙහෙයවා සිතුවම් නිර්මාණ කරන්නේ ඇගේ ඉගෙනීමේ කටයුතු වලට බාධාවක් නොවන අයුරින් බව ඔවුනගේ නිවහන ගොඩ වැදුණු මොහොතේ අපට දැනගන්නට ලැබුණි. 
ඒ සඳහා යොදා ගන්නේ සිය විවේක කාලය බව ඉමේෂි දැරිය අපට කීවාය. සිතුවම් කලාව හුදු විනෝදාංශයක් ලෙස ආත්ම තෘප්තිය සඳහා තෝරාගෙන තිබෙන බවයි. ඇයගේ කථා බහ තුළින් අපට පැහැදිලි වුණේ පොතපත පරිශීලනය, අධ්‍යාපන කටයුතු නොපිරිහෙළා කිරීම තුළ ඉමේෂි ඉගෙනුමද එකසේ දස්කම් දක්වන බවද අප දැන ගත්තෙමු. ඇය මේ දිනවල කරන සිතුවම් නිර්මාණයකට එබිකම් කර බැලීමේදී දැක ගන්නට හැකි වුණේ වියළි තල් කොළයක් මත වන අලි තුන්පත් රෑනකට සිය මෙවලම් මගින් ජීවට පිඹිමින් සිටින අන්දමයි.

(මම මේ චිත්‍රයට නඟන්නේ මට හොඳයි කියලා හිතෙන දේවල්. මම අවට පරිසරයේ දකිනදේ. මේ වැඩ වලට මගේ අම්මා මට ගොඩක් උදව් කරනවා. මම අඳින චිත්‍ර තරගයකට ඉදිරිපත් කරන්න කවදාවත් මගේ අදහසක් තිබුණේ නෑ. මගේ පාසලේ විදුහල්පතිතුමිය ක්‍රිෂාන්ති මිලන්ජනා ගුරු මෑණියන් නිසා තමයි තරගයකට ඉදිරිපත් වෙලා විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගන්න ලැබුණේ. ඒක ගැන මට ගොඩක් සතුටුයි. එම නිසා ඒ සියලුම දෙනාට මම ස්තූතිවන්ත වෙනවා. ජනාධිපතිතුමාගේ රූපයක් චිත්‍රයට නඟලා එතුමාට පිළිගන්වන්න මගේ අදහසක් තිබෙනවා. ඒ සඳහා ඉදිරි කාලයේදී යොමුවෙන්න බලාපොරොත්තු වෙනවා. මේ හැම දෙයක්ම කරන්නේ මගේ අධ්‍යාපන කටයුතු අතපසු කරලා නොවෙයි. විවේක කාලය ප්‍රයෝජනයට අරගෙනයි. හොඳින් ඉගෙනීම් කටයුතු කරලා නීති ක්ෂේත්‍රයේ ඉහළට යාමයි මගේ බලාපොරොත්තුව)

අප ඉමේෂි දැරියගෙන් සමුගෙන නික්ම යන්නට පෙරාතුව ඇගේ අනාගත බලාපොරොත්තු පිළිබඳව කළ විමසුමේදී එම අදහස් ගොන්න එසේ දිග හැරියාය. 

අප වෙසෙන සමාජයේ විවිධ ක්ෂේත්‍රයන්හි ලොකු කුඩා හපනුන් බොහෝ සිටිති. කෙලිතුඩ හරඹ කොට සිතුවම් මවන අයද එලෙසමය. එහෙත් අපගේ මෙම සටහනෙහි කථා නායිකාව ඉමේෂි මිහිනදී සිසු දැරිය විශේෂිත වන්නේ නවමු ඉසව්වක් කරා ගොස් සිය නිර්මාණ එළි දක්වා තිබීම විශේෂතාවයකි. එනම් බොහෝ විට කිසිදා ප්‍රයෝජනයකට නොගෙන ඉවත ලන තල් කොළය, වියළි කෙසෙල් කොළය මත විස්මිත රූ රටා මවා ඒතුලින් ජයග්‍රහණ අත්කොට තම විදුහල් මාතාවගේ ගෙලෙහි රන්තැලි පළඳවන්නට තරම් හපනියක විමයි. ඇයගේ මෙම හපන්කම රජරටම පමණක් නොව මුළු රටටම ආඩම්බරයකි. 

► කරුණාරත්න ගමගේ         

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00