2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

ඉර හඳ අත ගා හඳන කැලැන්ඩරේ

 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 702

වසර නිමාවට ඇත්තේ තවත් දින 28 ක් පමණය. ඉන්පසුව උදාවෙන්නේ නව වර්ෂයකි. එදා වසරක් පුරා නිවසේ හෝ කාර්යාලයේ භාවිත කළ දින දර්ශනයෙන් පලක් නැත. ඒ වෙනුවට අලුත් පෙනුමැති අලුතින් සැකසුණු කැලැන්ඩරයක් බිත්තිය හැඩ කරයි. එතැන් සිට අපේ සියලු සැලසුම් කටයුතුවල මඟ පෙන්වන්නා 2018 වසරේ අලුත් කැලැන්ඩරයයි. දින 7 බැගින් වන සති 52 කින් සහ මාස 12 කින් සමන්විත දින 365 ක් සහිත දින දර්ශනයේ ශ්‍රී ලංකා ආණ්ඩුව අනුමත නිවාඩු හා සුවිශේෂි දින රාශියක් ඇතුළත්ය. පූර්ණ චන්ද්‍රයා පායන පසළොස්වක පෝය දිනයන් සහ නව සඳ පායන රාමසාන් දිනය ඇතුළු ලංකා වාසීන්ට විශේෂිත දිනයන් ද සඳහන් 2018 වසරේ කැලැන්ඩරය මුද්‍රණයට සහ අන්ර්ජාලයට මුදාහැරීමට සියලු කටයුතු මේ වන විට සැකසෙමින් තිබේ.

 

කැලැන්ඩර්වල සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ රජයේ හා බැංකු නිවාඩු දිනයන් 1971 අංක 29 දරන නිවාඩු පනත ප්‍රකාරව නියම කළ ඒවා බවය. පෙබරවාරි 4 දින ජාතික නිදහස් දිනය වශයෙනුත් මැයි 1 දින ලෝක කම්කරු දිනය වශයෙනුත් සම්මතය. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය අනුමත කළ සෙසු නිවාඩු දින අතර පසළොස්වක පෝය දින හා රාමසාන් දිනය නිශ්චිතව ප්‍රකාශයට පත් කරමින් හැම වසරකටම අදාළ රජයේ නිල දින දර්ශනයට අවශ්‍ය තොරතුරු සැපයීමේ අයිතිය හිමිව තිබෙන්නේ ‍ෙමරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවටය.

දින දර්ශනය නිර්මාණයේ පළමු අදියර පිළිබඳව අදහස් දක්වන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දේශගුණ අංශයේ අංශ ප්‍රධානී වජිර ලොකුහෙට්ටි මහතා මෙසේ පවසයි. 

සාමාන්‍යයෙන් අපි භාවිතා කරන දින දර්ශනයේ මාසයකට දින 30 ක් 31 ක් 28 ක් හෝ අධික අවුරුද්දක් නම් පෙබරවාරි මාසයේ දින 29 ක් තියෙනවා. ඔය අතරේ ජාතික නිදහස් දිනය සහ ලෝක කම්කරු දිනය ස්ථිරයි. ඒ ඇර සෑම මාසයකටම පසළොස්වක පෝය දිනයක් තියෙනවා. ඒ දවස බෞද්ධ ජනතාවට බොහෝම වැදගත් වගේම රාමසාන් දිනය ඉස්ලාම් බැතිමතුන්ට වැදගත් වෙනවා. මේ කියන පෝය සහ රාමසාන් දිනය දින දර්ශනයට ඇතුළත් කරන්න අවශ්‍ය කරන තොරතුරු ලබා දෙන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව. ඒ සඳහා ශ්‍රී ලංකාවේ අයිතිය ලැබී තිබෙන එකම ආයතනය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පමණයි.

මේ සඳහා චන්ද්‍රයාගේ ගමන් මාර්ගයේ හමුවන චන්ද්‍ර කලාව උපයෝගී කරගන්නා බවත් ඒ සඳහා විද්‍යාත්මක දැනුම් සහ නවීන තාක්ෂණික උපකරණ භාවිතා කරන බවත් වජිර ලොකුහෙට්ටි මහතා පවසයි. ඒ අනුව කැලැන්ඩරයේ සැකැස්මට ප්‍රධාන වශයෙන් සඳ ගමන භාවිතයට ගැනෙන අතර චන්ද්‍ර මාස ක්‍රමය උපයෝගී කර ගැනේ.

ශ්‍රි ලංකාවේදී චන්ද්‍ර කලාව සෙවීම සඳහා අයිතිය තිබෙන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට පමණයි. දින 28 කට වතාවක් නව සඳ එනවා. නමුත් එදාට සඳ පියවි ඇසට පෙනෙන්නේ නෑ. හේතුව ඒ මොහොතේ හිරු චන්ද්‍රයාට කිට්ටුවෙන් ගමන් කරන නිසා. ඒ කාලයට අමාවක කියනවා. ඊට පස්සේ හඳේ බාගයක් පෙනෙනවා. ඊට පස්සේ අටවකත් බාගයක් වගේ පිරෙනවා. ඒක පුර අටවක කියනවා. අනතුරුව සම්පූර්ණයෙන් හඳ පායනවා. ඒකට පසළොස්වක හඳ කියනවා. චන්ද්‍ර මාසයට දින 28 යි. ඒ දින 28 ට වරක් පෝය ලබනවා. මේ කියන තොරතුරු පිළිබඳව අදාළ අංශයේ නිලධාරීන්ට දැනුම තියෙනවා. හඳේ ත්‍රිමාණ රූපයක් ඔවුන්ගේ හිතේ තියෙනවා.

මේ තොරතුරු නිවැරදිව හඳුනාගැනීම සඳහා ලෝකයේ අතිනවීන උපකරණ භාවිතා කරන පිළිගත් ආයතන දෙකක් එක්ව නිර්මාණය කරන THE ASTRONOMICAL ALMANAC නැමැති පොත භාවිතයට ගන්නා බවත් එය වාර්ෂිකව නිකුත් කරන්නක් බවත් සඳහන්ය. එහි ජ්‍යොතිෂය, අකාශ විද්‍යාව, මිනින්දෝරු, නාවික හා වෙනත් තොරතුරැ රාශියක් ඇතුළත් ග්‍රන්ථයකි.    

මේ කියන පොත අපි වසරින් වසර මිලට ගන්නවා. ඒ අනුව ලෝකයේ ලංකාව පිහිටලා තිබෙන අක්ෂාංශ, දේශාංශවල දත්ත ගන්නවා. චන්ද්‍ර මාසය ගණනය කරගෙන යද්දී ඇතැම් මාස වල පසළොස්වක පෝය දින දෙකක් එනවා. මාසෙට දෙවතාවක් එක විදිහටම හඳ පායනවා. මේවා අධිපෝය කියලා හඳුන්වනවා. 2018 වසරේදිත් එවැනි සිදුවීම් තිබෙනවා. එතැනදී ඇතැමෙකුට වෙසක් පෝය පිළිබඳව ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. අපි දන්වන පෝය දින සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ, පෝය කමිටුවට, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට, ජ්‍යොතිෂ සමාගම්වලට සහ විද්‍යා සංගම් වලට ලබාදෙනවා. ඒවායේ නිලධාරින් එකතු වෙලා තර්ක විතරක් සහිත වාද කරලා අවසානයේ පොදු නිගමනයකට එනවා. ඒ අනුව තීන්දු තීරණ ගන්නවා.

වසරක අඩක් නිම වෙමින් තිබෙන මොහොතේ ශ්‍රී ලංකා මුද්‍රණ දෙපාර්තමේන්තුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙත ලිඛිතව දන්වන්නේ ලබන වසරට අවශ්‍ය දින දර්ශනයේ දත්ත ලබා දීමට කටයුතු සලසන ලෙසය. ඒ අනුව ලබන වසර සඳහා පෝය සහ රාමසාන් දින ඇතුළත් තොරතුරු පසුගිය සැප්තැම්බර් මාසය වනවිට සකස්කර අවසන්ය.  

මුස්ලිම් ජනතාව නෝම්බි උපවාස සමය අරඹන්නේ චන්ද්‍ර ගමන අනුවය. එය දින 28 ක් පුරා පවත්වා නව සඳ දැකීමෙන් පසුව රාමසාන් ආගමික වතාවත්වල ඔවුහු යෙදෙති. මේ සඳහා මුස්ලිම් චන්ද්‍ර දින දර්ශනය භාවිතයට ගැනෙයි.

ඉස්ලාම් බැතිමතුන්ට රාමසාන් සැමරීම සඳහා නව සඳ පායන දිනය දන්වන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින්. ඒ සඳහා මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව අප වෙත ඉල්ලීම් කරනවා. ඒ තොරතුරු ඉස්ලාමීය සංස්කෘතික නිකේතනයට ලබාදෙනවා. ඔවුන් සෙසු ආගමික නියෝජිත ආයතනවලට සහ පල්ලිවලට ලබා දෙනවා. නව සඳ නැගීම සහ නව සඳ දැකීම දෙකක්. රාමසාන් පවත්වන්නේ සඳ දැක්කම පමණයි.

 

මේ ආකාරයටම ඉර ගමන ගැන දත්ත සටහන් වාර්තා කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ලංකාවට ඉර මුදුන්වීම අනුව සිංහල හින්දු අලුත් අවුරුදු දින තීරණය කරයි. එම තොරතුරු ජ්‍යෙතිෂවේදීන්ට සහ රාජ්‍ය නැකැත් කමිටුව වෙත ලබාදෙයි. මේ හැර සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුවට, මිනින්දෝරු දෙපාර්තමේන්තුවට සහ නාවික හමුදාවට අවශ්‍ය තොරතුරු ද නිකුත් කරන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගිනි.

පෙදෙසකට ඉර උදාවන වේලාව පිළිබඳ තොරතුරු සහ චන්ද්‍ර කලාව පිළිබඳ දත්ත ලබා දීමෙන් අනතුරැව ජ්‍යෙතිෂ කරුණු ඇතුළත් ලිත සම්පාදනය කරයි. පෝය ලබන වේලාව හා ගෙවෙන වේලාව දක්වන්නේ ඒ අනුවය.

මේ පාර දින දර්ශනයේ ආගමික නිවාඩු, බැංකු නිවාඩු, වෙළෙඳ නිවාඩු පනත් මගින් නියම කළ රජයේ අනුමත නිවාඩු රාශියකි. මෙසේ සොබාදහමේ මහඟු දායාදය ඉර, හඳ මුල්කර ගනිමින් නිර්මාණය කරන ලිත හා දින දර්ශනය අපූරු සැකසුමකි.  

 කතාව/ සේයාරු
     සමන්ත ප්‍රදීප් විල්තෙර   
   

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00