2017 ජනවාරි 07 වන සෙනසුරාදා

සල්ලි දෙවියන්ගේ මල්ලිද?

 2017 ජනවාරි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 267

 

සල්ලි තියෙනවා නම් මිනිස්සු ඕනෑ තරම්. මිනිස්සු කල්පනා කරන්නෙ නෑ අනිත් මිනිහා සල්ලි හම්බ කරපු විදිහ. මිනිස්සු කල්පනා කරන්නේ සල්ලි තියෙනවද නැද්ද කියන එකයි. පයින් යන බෝධිසත්වයෝ දිහා නෙමෙයි මිනිස්සු කට ඇරගෙන බලාගෙන ඉන්නෙ. බෙන්ස් එකෙන් යන තක්කඩියා දිහා. 

මෙම වැකි කීපය සඳහන් වන්නේ සෝමවීර සේනානායකයන් විසින් රචනා කරන ලද යශෝරාවය නවකතාවේය. සාහිත්‍යාංගයක් යනු සත්‍යයේත් පරිකල්පනයේත් එකතුවකි. එහෙත් වර්තමාන ලාංකික සමාජය දෙස බලද්දී මේ කතාව කොතෙක් දුරට සමස්ත සමාජ යථාර්ථය බවට පරිවර්තනය වෙමින් පවතීද යන්න අපට පැහැදිලිය. ඒ තරමටම ධනයට හිමි බලයත් සමාජ ඉඩප‍්‍රස්ථාත් ආකර්ෂණයත් වැඩිවෙමින් තිබේ. මුදල් තිබූ පලියට සියල්ල කරන්නට බැරි යැයි ඇතැමුන් කියනු අපට බොහෝවිට ඇසේ. එහි ඇත්තක් නැතිවාම නොවේ. එහෙත් සමාජයක ශිෂ්ඨ පාලන ධර්මතා ඉක්මවා යන බලයක් මුදලට හිමිවන විට මේ ඇත්ත තරමක් දුරට වෙනස් වේ. ඒ මුදල් තිබූ පලියට  ඕනෑම දෙයක් කළ නොහැකි නමුත් මුදලට බොහෝ දේ කළ හැකිය යනුවෙනි.  

මඳක් ඔබ සිතා බලන්න. එදා තිඹිරි ගෙයි තුළ වින්නඹු අම්මා කළ කාරිය කරන්නට මවුපියන්ට අද කෙතරම් වැය බරක් දරන්නට සිදුවී තිබේද? ලෝකයක් දියුණු වනවිට ජීවිත පහසු විය යුතු වුවත් ඒ සුවපහසුව අපේ තරැණ පරම්පරාවට ලැබී නැත. වර්තමාන සමාජයේ තරුණ යුවලක් බැඳෙනවිටම වාගේ බබා ඩිලිවර් කරන තැන, යවන කොලේජ් එක ගැන වූ විෂය සංවාදයක් පටන්ගෙන තිබේ. ඇතැම්විට තමන්ගේ දරුවාට තාත්තා වීමට තම පෙම්වතාට සුදුසුකම් තිබේද යන්න සොයාබැලෙන්නේ ද මෙවැනි ශඛ්‍යතා පරීක්ෂණයකින් සමත්වුවහොත් පමණි. මේ නිසාම පෙම්වතාගේ හෝ පෙම්වතියගේ පාසල පවා වැදගත් සම්බන්ධතාවයකට පාර කපන අවියක් වී තිබේ. ඇතැම් පවුල්වල වැඩිහිටියන් පවා සිය දියණියන් උනන්දු කරමින් තිබෙන්නේ පයින් යන බෝධිසත්ත්වයකු ගැන නොව මෝටර් රථයෙන් යන කෙනකුටය. ඒ, ඇතැම්විට ඔහු තක්කඩියකු වුව කම් නැතැයි වැනි සිතුවිල්ලකිනි. 

කුලය යනු තවමත් සමාජකාරක ධර්මයක් හැටියට බලගතු සාධකයක් යැයි බොහෝ පිරිස් කියති. එහෙත් මේ තත්ත්වය සීඝ‍්‍රයෙන් වෙනස් වෙමින් තිබේ. පියල්ගේ සීයා කඳ කරේ තබාගෙන ගිය නිසා නන්දා කරකාර බැඳ දෙන්නට විරුද්ධ වූ මව්වරුම සීයා කළ රස්සාව පියල්ලා මහා පරිමාණයෙන් කරන්නේ නම් විරුද්ධ නොවෙති. එය නරක නැත. එහෙත් ඒ සාධනීය අයුරකින්ද? කුලයට තිබූ තැන දැන් මුදල නමැති සාධකයට හිමිව ඇත. හඳ එළියේ, වැව් ඉවුරේ, වෙල් ඉපනැල්ලේ නටනවාට වඩා ටේක් අවේ ආහාර වේලක් ගෙන පොඩි අඩියක් ගසා නිවෙසට එන පුරුෂයාට වටිනාකමක් පහළවෙමින් තිබේ. නාගරික මධ්‍යම පාන්තික ජීවිතයේ නිස්සාරත්වය සඟවාගන්නට හැකි පමණට හුදෙකලාව මුහු කරගත් ආත්ම වංචාවකට සියලු දෙනාම කැපවෙමින් සිටිති. මේ සියලු මෝඩ චූන් යටින් දිවෙන නීරසභාවයේ පිහි තුඩු සෑම දිනක් පාසාම සිය ළය විනිවිදිමින් තිබෙන බවද ඔවුහු හොඳින්ම දන්නෝය. එහෙත් ආපසු හැරීමක් නැති තරමටම මේ බොහෝ ජිවිත සංකීර්ණ වෙමින් තිබේ.  
රාජිත දිසානායක කියන ලෙසින්ම දැන් අපට ආපසු හැරෙන්නට බැරිය. ඒ තරමටම මිරිඟුවක් පසුපස වුවත් සමාජයක් හැටියට අප පැමිණ තිබෙන්නේ දිගු ගමනකි. සා පිපාසය දැනුණ ද තව දුරක් යද්දී දිය පොදක් ඇතැයි සිතා අපි එකම ගමනක නිරත වන්නෙමු. එහෙත් පෙරහර ඈතින් සිට බලන්නන් සිතන්නේ මෙය නම් මහා උත්කර්ෂවත් ගමනක් ලෙසය. අපිත් සභාව මැද වැටුණු උන් මෙන් දිගටම රඟපාමු. වැටුණත් අපි නැවත ගැම්ම ගන්නේ අඩව්වක් අල්ලපු එකා වගේය. ඒ නිසා බලා සිටින්නෝ ද අත්පොඩි තලා විසිල් ගසති. කැලැන්ඩරේ කොල කඩමින් අපි නැවතත් උද්දාමයෙන් යුතුව බල්ලොත් නොකන සල්ලි පසුපසම හැල්මේ දුවමු.

 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00