2017 ජනවාරි 07 වන සෙනසුරාදා

ජනවාරි 1වැනිදා හිමිදිරියේ සිරිපා කඳු මුදුනේ

 2017 ජනවාරි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 617

 

සමන්තකූටවාසී සුමන සමන් දෙවියෝ බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකාගමනය වූ මහියංගණ ගමනේදී උන්වහන්සේ හමුවී බණ අසා සෝවාන් ඵලයට පත්වූහ. බුදුන් වහන්සේ කැලණියට වැඩි අවස්‌ථාවේ සුමන සමන් දෙවියන් බුදුන්වහන්සේගේ සිරිපතුල සමන්ගිර මුදුනේ පිහිටුවන ලෙසට ඇරියුම්කොට ඇතැයි පැවසේ. සම්මා සම්බුදුරජාණන්වහන්සේ එහි වැඩමවීම වෙනුවෙන් සමන්ත කූට පර්වතයෙහි ඇති සෞන්දර්යය වර්ණනා කළ අයුරු සමන්ත කූට වර්ණනාවේත් පූජාවලියේත් සඳහන් වේ.

බුදුන් සමනොළ පව්වෙහි සිරිපතුල පිහිටුවන අවස්‌ථාවේ ශ්‍රීපාද පද්මය වන්දනාවට පැමිණෙන බැතිමතුන්ට ආරක්‌ෂාව සලසන බව සුමන සමන් දෙවියන් ප්‍රතිඥාවක්‌ දුන් බවද පැවසේ. මුලින්ම ශ‍්‍රී පාදය වන්දනා කළ හෙළ රජතුමා කවුරුන්දැයි නිශ්චිත වශයෙන් කිව නොහැකි නමුත් වසර දෙදහසකට පෙර සිරිපා වැඳ පුදාගත් රජ කෙනකු වශයෙන් ක‍්‍රි. පූ. 29 සිට 17 දක්වා රජකළ වළගම්බා රජතුමා ගැන සඳහන් වේ. විජයබාහු, මහා පරාක‍්‍රමබාහු, සිව්වැනි මිහිඳු, ශ‍්‍රී සංඝබෝධි වැනි රජවරුද සමනළ කන්ද නැඟ සිරිපා වැඳපුදා ගත් බව සඳහන්ය. කෙසේ වුවද සිරිපා වන්දනාවට සබැඳි ජනප‍්‍රියම ඉතිහාසය ඇත්තේ ශ‍්‍රී නිශ්ශංකමල්ල රජුටය. එතුමාගේ රාජ්‍ය සමයේදී ශ‍්‍රී පාදය සොයාගත් බව දැක්වෙන කතාවක්ද ජනප‍්‍රවාදයේ එයි. නිශ්ශංකමල්ල රජතුමා කළිඟු කුමරකුගේද පැරකුම්බා රජුගේ සොහොයුරියකගේද දරුවෙකි. 

එහෙව් සමන්ගිරි මස්ථකයේ පිහිටි වාම සිරිපතුල පාමුල 2017 වසරේ ආරම්භක හිරු කිරණ දකින්නට අපි ගියෙමු.

බුදුරදුන්ගේ සිරිපතුල වන්දනාව පිණිස ශ්‍රීපාද කන්ද තරණය කළ යුතුය. එහෙත් කිසිවකු මේ කන්ද නගින්නේ නැත. බහින්නේ ද නැත. ඒ වෙනුවට භාවිත වන වචනය නම් ඉහළට කරුණාව හා පහළට කරුණාවයි හෙයින්, අපේ නඩයද ඉහළට කරුණාව ආරම්භ කළෙමු. 31 වැනිදා මධ්‍යම රාත්‍රියේ 1ට පමණ අපි අපේ ගමන ආරම්භ කළේ නල්ලතන්නියෙනි. එනම් හැටන් මාර්ගයෙනි. ශ්‍රී පාද කරුණාවට ප්‍රසිද්ධ මාර්ග තුනක් හා අප්‍රසිද්ධ මාර්ග දෙකක් වේ. ප්‍රසිද්ධ මාර්ග ලෙස හැටන් හරහා නල්ලතන්නි මාර්ගය, පලාබද්දල හරහා රජ මාවත හා දිගම මාර්ගය ලෙස සඳහන් වන එරත්න හරහා රත්නපුර මාර්ගය කියැවේ. අප්‍රසිද්ධ මාර්ග දෙකෙන් ප්‍රධානම මාර්ගය වන්නේ උඩමාලිබොඩ හරහා වැටී ඇති ඇලිහත මාර්ගයයි. දැනට වැඩිම වන්දනාකරුවන් හා සංචාරකයන් පිරිසක් භාවිත කරන්නේ හැටන් - නල්ලතන්නි මාර්ගයයි. ඊට හේතුව මාර්ගය කෙටිවීම හා මාර්ගය පුරාවට විදුලි ආලෝකයත්, පියගැටපෙළ පිහිටා තිබීමත් ය. පලාබද්දල මාර්ගය මීට වඩා තරමක් දුරින් අඩුවුවද එහි පහසුකම් සීමිතය. එරත්න මාර්ගය යනු ශ්‍රී පාද වන්දනාවට ඇති දුරම මාර්ගයයි. මෙහි සංචාරකයන් ලෙස සඳහන් කළේ විදෙස් ජාතිකයන්ය. ඔවුන් ශ්‍රී පාද කඳුමුදුන දක්වා තරණය කරන්නේ පරිසරයේ සුන්දරත්වය දකිනු පිණිසය.

 

මේ සියලු මාර්ගවලට වඩා අපූරු මාර්ගයක් ශ්‍රීපාද තරණයට තිබේ. මේ කියවනා කිසිවකු එකී මාර්ගය විනාශ නොකරනු ඇතැයි සැදැහැති චේතනාවෙන් එයත් හුදෙක් ධර්ම මඟපෙන්වීම වෙනුවෙන් ලියා තැබිය යුතුය. එම මාර්ගය නම් දෙහෙනකන්ද- හපුගස්වත්ත මාර්ගයයි. එම මාර්ගය ආරම්භ වන්නේ මුක්කුවත්ත ප්‍රදේශයෙනි. දෙහෙන කන්ද කුඩා නගරයට පැමිණ මඟ අසාගෙන මුක්කුවත්ත දක්වා පැමිණිය යුතුය. ශ්‍රී පාද වන්දනාවට ඇති මාර්ග අතුරින් කඳවුරු බැඳීමක් සිදුකළ හැකි එකම මාර්ගය මෙය වන අතර (අප්‍රසිද්ධ උඩ මාලිබොඩ මාර්ගය හැරැණ කළ) ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන විට අන් කිසිදු මාර්ගයකදි දක්නට නැති අන්දමේ සොබා සෞන්දර්යයක් විඳීමේ අවස්ථාවද උදා වේ. ශ්‍රී පාද කන්දේ වෙනස්ම කෝණයකින් දර්ශනයක් දැක ගැනීමේ අවස්ථාවද උදාවේ.

මේ තොරතුරු මෙසේ වෙත්දී නැවතත් අපි අපේ ගමනට අවධානය යොමුකළ යුතුය. නල්ලතන්නි මාර්ගයේ ගමන ආරම්භ වන්නේ නල්ලතන්නි පොලීසිය අසලිනි. සාමාන්‍යයෙන් වර්ෂයේ අවසාන දිනය වූ දෙසැම්බර් 31 වැනිදා නල්ලතන්නි මාර්ගය සාතිශය වශයෙන් කාර්යබහුල නැත. එහෙත් මෙවර දෙසැම්බර් 31 හා ජනවාරි 01 වැනිදා නිවාඩු දිනයන් වූ බැවින් නල්ලතන්නිය පොලීසිය අසලම වාහන නැවතුම්පොළවල් සියල්ලම පාහේ පිරී පැවතුණි. වාහන නැවතුම්පොළවල් පිරී පැවතීම හේතුවෙන් ඉදිරි මාර්ගය මෙන්ම ශ්‍රී පාද කඳු මුදුනද කාර්යබහුල බව අපි සැමගේ අනාවැකිය විය. කෙසේ හෝ නල්ලතන්නි පොලීසිය අසලින් ආරම්භවන ගමනේ මීළඟට මුණගැසෙන නල්ලතන්නි පාලම හා ඉන්පසු මුණ ගැසෙන රතු පාලම දක්වා මාර්ගය මෙවර ශ්‍රී පාද වාරය වෙනුවෙන් විශාල වශයෙන් පිළිසකර කර තිබුණි. විවිධ පිරිස් විවිධ ආගමික ඇටවුම් යොදා ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් හා සංචාරකයන් රවටා මුදල් ගරාගන්නා ආකාරය ගමන ආරම්භයේම දකින්නට ලැබුණි. සිරි පතුලට ඇති අසීමිත ගෞරවය පාවිච්චි කරමින් අහවල් පන්සල මේ පන්සල ආදී නම් යොදා තනාගත් සිමෙන්ති අටවලු පෙන්නා අතේ නූලක් බැඳ රුපියල් සීයක් දෙසීයක් දමා යන්නැයි කියන කපටින්ගෙන් ගමනේ ආරම්භයම පිරී පවතී. එබැවින් සිරිපාද වන්දනාවේ හැටන් මාර්ගයේ ගමන් ගන්නා පිරිසට කිවයුතු කාරණය නම්, මකර තොරණ අසලදී භාරවී, ඉන් පසු සීතගඟුල අසලදී සමන් දේවෝත්තමයා සිහිකොට ගමන පුරා රැකවරණය ඉල්ලා සිටීම පමණක් ශ්‍රී පාද වන්දනාවේදී සිදුකළ යුතු බවයි. කිරිකෝඩු හෝ දඬුකෝඩු අයෙක් නම් නිවෙසින් පිටත් වනවිට දෙහිගෙඩියක් පුළුස්සා රැගෙන ගොස් සීත ගඟුල අසලදී ඉන් දෙකකුල් මුහුණ අතපය සෝදා පිරිසිදු වී පඬුරක් ගෙන එය සමන් දෙවියන්හට එම ස්ථානයේදී කැපකොට අනතුරුව සුදු රෙදි කැබැල්ලක එම පඬුර ගැටගසා ගත යුතුය. ඉන්පසු පඬුර ගෙන තමන්ගේ දකුණතේ වැලමිට අසල ගැටගසා ගෙන එතැන් පටන් ශ්‍රී පාද කරැණාව සිදුකළ යුතුය. මෙකී පඬුර සිරිපතුල වන්දනා කළ පසු ශ්‍රී පාද මුදුනේ සමන් දේවාලයට පූජා කිරීමෙන් භාරය අවසන් වේ. මීට අමතරව අහවල් පන්සල හෝ වෙනයම් නමක් කියනා පන්සලකට වී භාර වූවාට සමන් දෙවිඳුන් ඔබ රකින්නේ නැත.

රතුපාලමට පසුව ඔබට හමුවන්නේ ජපන් සාම චෛත්‍යයයි. එය එදා පටන්ම ශ්‍රී පාද ගමනේ ආරම්භයේ දක්නට ලැබෙන්නකි. ජපන් සාම චෛත්‍යට යන්නට ප්‍රධාන මාර්ගය දෙකට බෙදේ. වම්පස මාර්ගයේ සාම චෛත්‍ය හරහා වන අතර දකුණට යන මාර්ගය සාම චෛත්‍ය මග හැර යන්නට තිබේ. මේ මහ රාත්‍රියේ සාම චෛත්‍ය හරහා යාමට අවශ්‍ය නැති බැවින් අපි දකුණට මාර්ගයේ කරුණා කළෙමු ගමන ආරම්භයේම උදැහැනැක්කේ සිරිපා වන්දනාවේ යන නඩයන් තුන්සරණේ ගායනාව ආරම්භ කළ හෙයින් අපිද ඊට අත්වැල් අල්ලන්නට වීමු.

බුද්ධං සරණේ සිරස    දරාගෙන
ධම්මං සරණේ සිත    පහදාගෙන
සංඝං සරණේ සිව්රු    දරාගෙන
ඉඤ්ඤයි තුන් සරණේ    අදහාගෙන

අපේ බුදුන් අපි    වඳින්ඩ
සමන් දෙවියෝ පිහිට    වෙන්ඩ
නළල තබා ගොස්    වඳින්ඩ
පෙරළි පෙරළි අපි    වඳින්ඩ
සාදු සාදු නිවන්    යන්ඩ
උත්තම සිරිපා    වඳින්ඩ

ඉන්පසුව මුණගැසෙන ගඟුලතැන්න විශ්‍රාම ශාලාවේද පිරිස් ගුලි වී නිදාන සිටිනු දකින්නට ලැබුණි. කාලයක් හරක් හා සුනඛයින් විසින් අරක්ගෙන තිබූ මෙම විශ්‍රාම ශාලාව අද වනවිට නැවත පිළිසකර කර තිබේ. ගඟුලතැන්නට පසුව මුණගැසෙන්නේ සිද්ධාලේප සහන කුටියයි. වසර ගණනාවක පටන්ම සිරිපා වන්දනාවේ යන බැතිමතුන් වෙනුවෙන් ඖෂධීය පානයන් හා තෙල් බෙහෙත් සත්කාර කරන ඔවුන් වෙළෙඳ ආයතනයක් වුවද ඒ පිළිබඳ නොලියා සිටීම සුදුසු නැත. ගමනේ මුළුදුරෙන් කිලෝමීටර් හතරකට ආසන්න ප්‍රමාණයක් පැමිණි පසු ඉහත කී සීතගඟුල මුණගැසේ.

කිරිකෝඩුන් හා දඬුකෝඩුන් මුලින්ම පේවීම සිරිපා හිමේ සිදුකරන්නේ මෙතැනිනි. බොහෝ අය මෙහිදී ස්නානය කර පිරිසිදුවී කරුණාව සිදුකරනු ලැබේ. එහෙත්, සැබැවින්ම මේ ලියැවෙන මොහොතේ ශ්‍රී පාද බිමේ සීත ගඟුලේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 17ක පමණ ප්‍රමාණයේ විය. හීතල උදුවප් මාසයේ දෙසැම්බර් 31 රාත්‍රිය යනු සීතලේ උපරිමය වග කිවයුතු නැත. සීත ගඟුලට පසු ශ්‍රී පාද වන්දනාවේ තරමක සීඝ්‍ර බෑවුමක් මුණගැසේ. ඉන්පසුව ඉඳිකටුපාන ආසන්නයට පැමිණෙන තෙක් විශාල බෑවුමක් ප්‍රදේශ කිහිපයක් හමුවේ. අලුතින් සෑදූ කොන්ක්‍රීට් හා සිමෙන්ති පියගැටපෙළට අමතරව පුරාණයේ තිබූ කළුගල් පියගැට පෙළද අතරින් පතර දකින්නට ලැබුණි. නව වසරේ හිරු පායන මොහොතේ වැඩි ප්‍රමාණයක් සිරිපා කරැණාවේ යෙදෙන්නේ විදේශිකයන් ය. මන්දයත්, මේ ගෙවෙන්නේ බටහිර රටවල සීත සමයයි. දැඩි සීතලේ නිවාස තුළ කොටුවී සිටිනවාට වඩා ඔවුහු එම මාස තුනක පමණ කාලය ලෝකයේ විවිධ රටවල සංචාරයට යොදාගනිති.

ඉඳිකටුපාන යනු කෝඩුන්ගේ අනෙක් චාරිත්‍ර මංසලයි. ඉඳිකටුපානට පසුව ශ්‍රීපාද කරුණාවේ සීඝ්‍ර හා තරමක් අපහසු නැග්ම මුණගැසේ. එනම්, ඇහැළ කණුව හා මහගිරි දඹයයි. මහගිරි දඹය තරණය අවස්ථාවේදී ඔබට දකුණු පසින් භගවා ලෙන දකින්නට හැක. ඉහළ කරුණාවේදී නොව නැවත පහළට කරුණාවේදී බොහෝ පිරිස් භගවා ලෙනද කරුණා කරන්නට අමතක නොකරයි. කෙසේ හෝ අලුයම 5 පමණ වනවිට ශ්‍රී පාද මුදුනට ළංවන්නට අප කණ්ඩායමට හැකිවිය. ආරම්භයේදී කීවාක් මෙන් මෙවර ජනේරුවේ පළමුවැනිදා ශ්‍රී පාදය තරමක් කාර්යබහුල විය. මලුවේ බොහෝ පිරිස් රැඳී සිටිනු දකින්නට හැකිවූ අතර වෙනත් වසර වල මෙන්ම මේ වසරේදීත් දෙසැම්බර් 31 වැනිදා ශ්‍රීපාද මලුවේ පැවැත්වෙන සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවේ අවසාන භාගය සජ්ඣායනය වෙමින් පැවතුණි. මලුව පාමුල ගිමන් ශාලාද පිරී පැවතුණි. ඒවායේ උණුහුමට ගුලිවූ පිරිස් රෙදි ඔතාගෙන නිදා සිටිනු දකින්නට හැකිවිය.

ඉර සේවය මෙහි කරුණා කරණා බොහෝ තැනැත්තන් දකින්නට බලාපොරොත්තුවෙන් පැමිණෙන සොබාදහමේ අපූරු මොහොතකි. සමනොළ කඳු මුදුනේ සිට බලන විට මධ්‍යම කඳුකරයේ කොටපොළ කඳු මුදුනින් එක් වරකට පෙනෙමින්ද තවත් වරකට සැඟවෙමින්ද නොයෙක් ආකාරයෙන් විවිධ රැස් ධාරා පතුරවමින් සුර්යයා එක්වරම උදාවන ආකාරය සැබැවින්ම මනස්කාන්ත දර්ශනයකි. මෙවැනි දර්ශනීය සූර්ය උදාවක් ලොව අන් කවර තැනකවත් දැකිය නොහැකි බව තතු දත් අය පවසති. විදේශිකයන් පවා කැමරා මානාගෙන සිටින්නේ ඒ නිසාවෙනි. එදිනද සාර්ථකවම ඉර සේවය දකින්නට නොහැකි වුවත් යම් පමණකට දකින්නට හැකි විය. වසර ආරම්භක හිරු කිරණ සිරිපතුල සිඹීමෙන් පසුව උඩ මලුවේ සිටි බොහෝ පිරිස් ක්‍රම ක්‍රමයෙන් පහළ බලා කරුණා කරන්නට වූහ. උදෑසන 9 පමණ වනවිට උඩමලුවේ කිහිප දෙනකුට වඩා සිටියේ නැත. නිවී සැනසිල්ලේ මලුව ඇමැද පිරිසිදු කර සිරි පතුලද වන්දනා කරගත් අපි පිරිස 2017 වසරේ නමෝවිත්තියෙන් එසේ වැඩ ඇරඹුවෙමු.

♦ කතාව හා සේයාරූ - ප්‍රසාද් අබේවික්‍රම

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00