2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

තලමලේගේ සොයාගැනීම

 2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 92

අපගේ හිතවත් මාධ්‍යවේදී තලමලදෙණිය මෑතකදී වාසිබෝලන්තයට ගියේ එහි රැකියාවක නියුතු ඔහුගේ පුතාගේ දුකසැප බලන අතරතුරම, එරට මාධ්‍ය නිදහස පිළිබඳ සමීක්ෂණයක ද යෙදෙන අරමුණෙනි. තලමලේ නමින් මාධ්‍ය මිතුරන් අතරේ ප්‍රකට මගේ මිත්‍රයා ඉතාම යහපත් කල්කිරියාවෙන් යුතු පුද්ගලයෙකි. 1980 දී ඔහුට වසරේ සත්ගුණවත් මාධ්‍යවේදියාට හිමි සම්මානයද 1990 දී වසරේ අඩුවෙන්ම ලියූ මාධ්‍යවේදියාට හිමි සම්මානය ද හිමිවිය. තලමලේ කිසිම කෙනෙකුගේ සිත රිදවන වචනයක් හෝ නොලියයි. ඒනිසා ඔහු හැමවිටම ලිවීමට පෙළඹෙන්නේ මළවුන්ගේ අනුස්මරණ ලිපිය.

මෙකී හේතු නිසා තලමලේ වාසිබෝලන්තයේ මාධ්‍ය නිදහස ගැන කළ සමීක්ෂණය පිළිබඳව දැනගැනීමට මා තුළ ඇතිවූයේ දැඩි උනන්දුවකි. එක් සැදෑවක පිළිසඳරක් සඳහා අවශ්‍ය කළමනාද රැගෙන තලමලේගේ නිවසට ගියෙමි. මා දුටු වහාම ඔහුගේ මුහුණ මැළවී ගිය නමුදු අත තිබූ මල්ල දුටු පසු තලමලක් සේ විකසිත විය.

මම දන්නවා උඹ ආපු කාරණේ. හැබැයි පුතෝ තරහ වෙන්ඩ එපා සමීක්ෂණය ගැන නං වචනයක්වත් කියන්න නෑ. ඒක මම කොටස් වශයෙන් පත්තරේ පළ කරන්නයි හිතං ඉන්නෙ. ඊට පස්සේ ඒක ටෙලි නාට්‍යයක් කරන්නත් කීපදෙනෙක්ම ඉල්ලලා තියෙනවා.

තලමලේ මා හිඳගනිත්ම මූලික විරෝධයක් දැක්වීය. එහෙත් ඔහුට වඩා ජ්‍යෙෂ්ඨයෙකු වන මම ඉන් අධෛර්යට පත් නොවීමි. ගෙනගිය මල්ලේ වූ කළමනා එකිනෙක එළියට ගෙන මේසයක් මත තබද්දී තලමලේ ද ක්‍රම ක්‍රමයෙන් මෘදු වන්නට විය. උඹ මගේ ප්‍රාණ මිත්‍රයා. ඉතින් උඹට නොකියා කොහොමදැයි කියමින් ඔහු කතාවට බැස්සේය. හැබැයි පුතෝ මං මේක පත්තරේ පළකරන කල් උඹේ කටේ කෙළ බිංදුවක් හෙළනව එහෙම නෙවෙයි.

පිස්සුද බං මාධ්‍ය නිදහස ගැන ලියන්න ගිය කීදෙනෙක් තමන්ගෙ නිදහසයි ජොබ් එකයි දෙකම නැති කරගත්තද? මම නං නිදහස නැති වුණත් ජොබ් එක නැති කරගන්නෙ නෑ.

මම එසේ කියමින් තලමලේ තුළ කිසියම් සැකයක් වී නම් එය දුරු කළෙමි.

සමස්තයක් හැටියට ගත්තම එහෙ මාධ්‍ය නිදහස කොහොමද?

මම ප්‍රශ්න ඇසීම ආරම්භ කළෙමි.

මෙහෙට වඩා නම් හොඳයි.

මාධ්‍යවේදියෝ හෙම මුණගැහෙන්ඩ ඇති?

මොනවද මේ අහන්නෙ. එයාර්පෝට් එකෙන් එළියට එනකොටම මාව වටකර ගත්තනෙ.

ෂා...! ඒ තරම් හොඳ පිළිගැනීමක් තිබුණා...?

නෑ... නෑ... ඩියුටි ෆ්‍රී එකෙන් විස්කි ගත්තද කියල දැනගන්ඩ.

ඒ මොකද?

සල්ලිවලට අරන් වැඩි ගාණට විකුණන්ඩ. ඒ රටේත් මතට තිත තියාගෙන ගිහින් දැන් මත්පැන්වලට පුදුම ඩිමාන්ඩ් එකක් තියෙන්නෙ.

එහේ බියර් ලාබද?

අපොයි නෑ. ඒත් මිනිස්සු දැන් ගෘහ කර්මාන්තයක් වශයෙන් බීර පෙරා ගෙන බොනවා. ඒ නිසා ඉස්සරටත් වඩා බීර බොනවා. රටේ අමද්‍යප ප්‍රතිපත්තියක් අකුරටම ක්‍රියාත්මක වෙනවා.

එහෙනම් ඒ රටේ හොඳ මාධ්‍ය නිදහසක් වගේම මිනිස්සුන්ට ලෞකික ජීවිතයකුත් තියෙනවා.

හරියට හරි

අපේ රටේ වගේ මාධ්‍ය භීෂණයක් තිබිලම නැද්ද. සුදු වෑන්, පහරදීම්, අතුරුදහන් කිරීම් වගේ දේවල්.

සුළු සුළු සිද්ධීන් කීපයක් වෙලා තිබුණා. ඒත් ඒවා පස්සේ ගොඩින් බේරගත්තා.

සුළු සිද්ධීන් කිව්වෙ?

ඔන්න එක වතාවක් මාධ්‍යවේදියෙක් උස්සන් ගිහින් කොණ්ඩෙයි, රැවුලයි කපලා එවලා තිබුණා.

මිනිහ ආණ්ඩු විරෝධියෙක් වෙන්ඩැති?

ඒක කොහොම වෙතත් මිනිහගෙ නෝනගෙ සාක්කියෙදි කියැවිලා තිබුණා ඉස්කෝලෙ යන කාලෙත් එයා කොණ්ඩෙ වවාගෙන ඉඳල ප්‍රින්සිපල් කතුරක් ගෙනල්ලා කපලා දැම්මලු.

ආණ්ඩුවෙන් කොණ්ඩෙ රැවුල් කපල දෙන එකත් එක්තරා විදිහක මාධ්‍ය වරප්‍රසාදයක් හැටියට සළකන්න පුළුවන් තමයි. වෙන මොනවද ඒවගේ සුළු සිද්ධි?

එක මාධ්‍යවේදියෙක්ට රට පෙන්නන්න හෙලිකොප්ටර් එකෙන් අරගෙන යනකොට ඒ යකා ෆොටෝස් ගන්න දොරෙන් එබෙනකොටම මුහුදට වැටිලා. දවස් දෙකකට පස්සේ එයාගෙ මිනිය වැල්ලට ඇවිත් තිබුණා. ඇඟේ නූල් පොටක්වත් නැතුව.

ඇයි එයාගෙ ඇඳුම්වලට මොකද වුණේ?

ඒ ගැන සැකපිට ඒ වෙලාවෙ මුහුදු මාළු බබා හිටපු ධීවරයො දෙන්නෙක් අල්ලල නඩු පවරලා තියෙනවා.

ඔය සිද්ධියෙන් පේන්නෙ වගකීමකින් තොරව වැඩකරන මාධ්‍යවේදියෝ හැම රටකම ඉන්න වග තමයි. වෙන සුළු සිද්ධි මොනවද තලමලේ?

මාධ්‍යවේදීන් දෙතුන් දෙනෙක්ගෙම නෝනලා පොලිසියට පැමිණිලි කරලා තියෙනවා. ඒ අයගේ මහත්තුරු රට පැනල තමන්ව ද්වේශ සහගත විදියට අත්ඇරල ඉන්නවා කියලා. මෙහෙ ඕනතරම් නිදහස තියෙද්දි එහෙට වෙලා පොත් ලිය ලියා ඉන්නවලු.

ඉතින් ඒකට ආණ්ඩුව සම්බන්ධද?

නෝනලා කියන විදිහට ආණ්ඩුවෙන් තමයි ශිෂ්‍යත්ව දීලා ඒ අයව රටින් පිට කරලා තියෙන්නෙ.

මාධ්‍යවේදින්ට විදේශ ශිෂ්‍යත්ව දෙන එකත් ලොකු දෙයක් තමයි. බලාගෙන ගියාම වාසිබෝලන්තය මාධ්‍යවේදින්ට කියාපු රටක්නෙ. එහෙ ඝාතන සිද්ධිහෙම වෙලා නැද්ද?

එක් මාධ්‍යවේදියෙක් වාහනේ එලවගෙන යද්දි සිවිල් ඇඳුමෙන් හිටපු ආරක්ෂක කට්ටියක් ලුහුබැඳගෙන ඇවිත් මිනිහ බීලද බලන්න වාහනේ නවත්තල ජනේලෙන් එබිල තියෙනවා. මාධ්‍යවේදියා බයවුණු පාර ආරක්ෂකයෙක්ගෙ අතේ තිබුණු තුවක්කුව උදුරගෙන වෙඩි තියාගෙන.

අපේ රටෙත් දක්ෂ මාධ්‍යවේදියො බර ගාණක් අකාලෙ මැරැණේ ඔය මත්පැන් බීම නිසා තමයි. වෙන මොනවද සුළු සිද්ධි?

කිසිම කෙනෙක් නමක්වත් අහල නොතිබුණු මාධ්‍යවේදීන් අතුරුදහන් කිරීමෙන් ඒ ගොල්ලන්ට විශාල ප්‍රසිද්ධියක් ලබාදීල තියෙනවා. එහෙ ආණ්ඩුව.

අපේ රටෙත් සමහර මාධ්‍යවේදියො ගැන ජනතාව දැන ගත්තෙ ඒ අය මළාට පස්සෙ තමයි.

මොහොතකට පසු මම මාතෘකාව වෙනස් කළෙමි.

කොහොමද එහෙ මැතිවරණ එහෙම? කලට වෙලාවට තියෙනව ද?

ඒකත් මෙහෙ වගේම තමයි. මැතිවරණ වෙනුවට තියෙන්නෙ මැතිවරණ නඩු!

නඩු නැති රටට මොට පායාද සූරියා යැයි කියමින් මම තලමලේගෙන් සමු ගත්තෙමි.

 කපිල කුමාර කාලිංග