2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

බිහිසුණු භූ චලනයක්

 2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 149

 

අඟහරු තුලාවට රිය අනතුරු ඉහළට

2017 දෙසැම්බර් මස 11 වන සඳු දින පාන්දර 4.21ට බුධ ග්‍රහයා වක්‍ර ගමනින් වෘශ්චික රාශියට පිවිස දෙසැම්බර් 24 දින ඉරු දින වක්‍රයෙන් මිදි නැවත සුපුරුදු ගමනින් 2018 ජනවාරි 6 වන ශනි දින රාත්‍රි 7.46 දක්වාම බුධට අයත් වූ දෙට නැකතේ ගමන් කරනු ඇත. 2017 නොවැම්බර් මස 30 වන දින තුලා රාශියට පිවිසි අඟහරු 2018 ජනවාරි 17 වන බුධ දින දක්වාම තුලා රාශියෙහි කුජට අයත් සිත නැකතේ තුන්වන හතරවන පාදවලත් රාහුට අයත් සා නැකතේ සම්පූර්ණවත් බ්‍රහස්පති අයත් විසා නැකතේ ප්‍රථම, දෙවන හා තුන්වන පාදවලත් ගමන් කරයි. 

අඟහරු තුලා රාශිගතවීමත් බුධ වෘශ්චික රාශිගතවීමත් අප රටට ඇති කරන්නා වූ බලපෑම පිළිබඳව විමසා බැලීමේදී ස්ත්‍රී ශුභ සිද්ධිය උදෙසා රජය විසින් සුබවාදී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනු ඇත. රාජ්‍ය නායකයින් හට විදේශ සංචාර වැඩි වශයෙන් යෙදෙනු ඇත. ආරෝග්‍යශාලා ආශ්‍රිතව සේවය කරන අයගේ හැසිරීම් රටාවේ වෙනස් වීමක් හේතුවෙන් ඔවුන්ට මහජන අප්‍රසාදය එල්ල වේ. රට තුළ බිහිසුණු රිය අනතුරු හදිසි අනතුරු වැඩි වශයෙන් ඇති වෙමින් මිනිස් ජීවිත විනාශයට පත්වන අතර දුම්රිය පිලීපැනීමක් හෝ ගිනි තැබීමක් ද යාත්‍රා අනතුරට පත්වීම් හා ගිනිගැනීම් වාර්තා වෙයි. ගංගා හා මුහුදු පිටාර ගැලීම් නිසා ජීවිත විනාශ වීම්ද භූමියේ සෙලවිමක් හෝ ගිලාබැසීමක් ද වාර්තා වනු ඇත.

විදේශීය වශයෙන් විමසා බැලීමේදී වෙළඳ ව්‍යාපාර ආශ්‍රිතව නව නීති පනත් ඇති වනු ඇත. ජාතික ආදායම පහළ බසින අතර රාජකීයකුට මාරකයක් ද ඇති වනු ඇත. රිච්ටර් මාපාංක 7 ඉක්මවූ භූ චලනයක් ද සිදුවන අතර ඒ හේතුවෙන් ජීවිත හා ගොඩනැගිලි විනාශ වී ජලගැලීම් ද ඇතිවීමට ඉඩ තිබේ.

මේෂ - උදර රෝග
ලියවිලිවලට අත්සන් තැබීමේදී පරිස්සම් විය යුතු අතර ව්‍යාපාරික කටයුතුවල නිරත වන අයකු නම් ඔබට ලාභ අඩුවෙන් හිමිවන වකවානුවක් වනු ඇත. ඔබගේ කාලත්‍රයාට හදිසි පීඩා අත්වනු ඇත. උදරය ආශ්‍රිත රෝගබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට ද සිදුවේ.

වෘෂභ - ආවේගශීලී වෙයි
පවුල් ජීවිතයේ සමගියට බාධා වේ. ඔබට එරෙහි සතුරැ බලවේග මර්දනය වන වකවානුවක් වන අතර බලාපොරොත්තු නොවූ ආරංචිවලින් තැති ගැනීමට ලක්වනු ඇත. තරමක් ආවේගශීලීව කටයුතු කරනු ඇත.

මිථුන - රථ වාහනවලට හොඳයි
යම් යම් කටයුතු සඳහා විවිධ විරුද්ධවාදීන් ඇති වනු ඇත. රථ වාහන කටයුතු කරන අයට ශුභ ඵල අත්වනු ඇත. නිර්මාණශීලීව කටයුතු කරනු ඇත. දරැවන් ලැබීමට සිටින අය ප්‍රවේසම් වීම වැදගත් වේ. මුත්‍රා ආශ්‍රිත ආබාධයක් නිසා ප්‍රතිකාර ගැනීමට සිදුවනු ඇත.

කටක - රැකියා උසස්වීම්
උරුම හිමිකම් ලබා ගතහැකි වන වකවානුවක් වේ. ප්‍රේම සම්බන්ධතාවලට බාධා ඇති වේ. රැකියාවේ උසස් වීම් බලාපොරොත්තු වූ අයට එය ඉටුවේ. ව්‍යාපාරිකයන්ට ලාබ අත් නොවනු ඇත. පපුව ආශ්‍රිත රෝගවලින් පෙළෙන අය පරිස්සම් වීම වැදගත් වේ.

සිංහ - කටයුතු සාර්ථකයි
තම මතයට අනුව කටයුතු කරමින් නොබියව ඉදිරිපත් වෙමින් යම් යම් කටයුතු සාර්ථක කරගන්නාවූත් කාලයකි. තමාගේ දේ රැකගෙන කටයුතු කිරීමට වෙර දරන්නා වූ වකවානුවකි. මිතුරන්ගෙන් ප්‍රශ්න ඇති වනු ඇත.

කන්‍යා - මිතුරන් නිසා ගැටලු
ලේඛන කටයුතුවල නිරත වී සිටින අය යහපත් ඵල අත්වන අතර හදිසි ශරීර පීඩා ඇති වියහැකිය. මිතුරන්ගෙන් ද ප්‍රශ්න ඇති විය හැක. ලේ ආශ්‍රිත පීඩාවක් මතුවනු ඇත.

තුලා - උරුම හිමිකම්
තම වචනයට අන් අය ග්‍රහණයට පත්කරගත හැකි වකවානුවකි. උත්සාහයෙන් කටයුතු කරමින් තමාගේ දියුණුව ළඟා කරගන්නාවූත් කාලයකි. හදිසි ධනයක් ලැබෙන අතර උරුම හිමිකම් ලබාගත හැකිවනු ඇත. 

වෘශ්චික - තැන්පත් ධනය වැය
ඔබගේ කටයුතුවලට විවිධ පාර්ශවලින් බාධා එල්ල වේ. කාර්මික අංශවල නිරත අයට යහපත් ඵල ලැබේ. අනවශ්‍ය ලෙස තම තැන්පත් ධනය වියදම් වන වකවානුවකි. ඇස්වල පීඩාවක් ඇති වේ. 

ධනු - කීර්ති නාමය ඉහළට
ඔබගේ කීර්ති නාමය ප්‍රසිද්ධියට පත්වනු ඇත. හවුල් කටයුතුවලින් ඵල ලබනු ඇත. භූමිය ආශ්‍රිතව කටයුතු කරන අයට ඉතා යහපත්ය. රථ වාහන මිලදී ගැනීමට යහපත් වකවානුවකි.

මකර - නිවස සංවර්ධනයට 
රැකියාවේ උසස්වීමක් බලාපොරොත්තුවෙන් සිටි අයගේ බලාපොරොත්තු ඉෂ්ට වනු ඇත. හදිසි කේන්ති ගති ඇතිවේ. විරුද්ධ ලිංගික බැඳීම් වර්ධනයවේ. නිවසට නව කොටසක් එක් කරගනු ඇත.

කුම්භ - දරුවකු නිසා සතුට
ඔබට යහපත් වනු ඇත. තම දරැවකුගේ ක්‍රියාකාරකම් හේතුවෙන් සිතට සතුට ඇති වේ. උරැම හිමිකම් ලබාගත හැකිවේ. කාර්මික අංශයේ නිරත අයට යහපත් ඵල අත්වනු ඇත.

මීන - ප්‍රමාදවීම් වැඩියි
යම් යම් කටයුතුවල ප්‍රමාදගති ඇතිවේ. මිතුරන්ගෙන් ප්‍රශ්න ඇති වේ. තමන් කිරීමට යන කටයුතු සඳහා බාධා ගෙනදේ. රථ වාහන ආශ්‍රිත කටයුතු කරන අය පරිස්සම් වීම වැදගත් වේ.

ප්‍රවීණ ජ්‍යොතීර්වේදී ජ්‍යොතිෂාචාර්ය,
රේණුක වික්‍රමසිංහ,
සුවනැණ ජ්‍යොතිෂ 
පර්යේෂණායතනය,
ඔලබොඩුව, ගෝනපල.