2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

ගොවි පවුල් 87,000කට සෙත හදන මොරගහකන්ද

 2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 218

වැවිලි කර්මාන්තයත් පසුව ඇඟලුම් ආදී කර්මාන්තත් පැමිණීමට ප්‍රථම මෙරට ආර්ථිකයේ කොඳු නාරටිය වූයේ කෘෂිකර්මාන්තයයි. අද වනවිට රටේ ආර්ථිකයට කෘෂි ආර්ථිකයෙන් ලැබෙන දායකත්වය අල්ප වුවද සමස්තයක් ලෙස රටේ ස්වයංපෝෂිතභාවය ආරක්ෂා කරගැනීම සඳහා කෘෂිකර්මාන්තයේ දායකත්වය අදටත් දැවැන්ත ශක්තියකි. විශේෂයෙන්ම වී ගොවිතැන මෙරට ප්‍රධානම කෘෂිභෝගය වන පසුබිමක වී ගොවිතැනට අවශ්‍ය යටිතල පහසුකම් සම්පාදනය රජයේ මුඛ්‍ය වගකීමක් බවට පත්ව තිබේ. 

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ප්‍රබෝධය ඇති කළ ප්‍රධානම නායකයන් දෙදෙනා ලෙස අගමැති ඩී.එස්. සේනානායකත් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනත් හැඳින්වීමෙහි වරදක් නැත. ගල් ඔය ජනපද ව්‍යාපාරය හරහා වියළි කලාපයට නැවතත් ශක්තිය දුන්නේ ඩී.එස්. සේනානායකයන්ය. ජනපති ජේ.ආර්. තම කාර්යශූර ඇමැතිවරයකු වූ ගාමිණී දිසානායක හොඳින් හසුරුවමින් කඩිනම් මහවැලි ව්‍යාපාරයට නායකත්වය දුන්නේය. 

1979දී මහවැලි අධිකාරිය පිහිටුවීමත් සමඟ ඇරැඹි කඩිනම් මහවැලි ව්‍යාපාරය යටතේ, රන්දෙනිගල, රන්ටැඹේ, වික්ටෝරියා, කොත්මලේ සහ බෝවතැන්න යන ජලාශ ඉදිකෙරිණි. ඊට විවිධ රටවලින් ආධාර ලබාගැනුණු අතර වසර හයක් තුළදී රටේ වාරි ක්ෂේත්‍රයට නව ප්‍රබෝධයක් එක්කිරීමටත්, ජල විදුලි උත්පාදනය රටේ වැදගත් තැනකට ඔසවා තැබීමටත් ඒ හරහා අවස්ථාව උදාවිය. එහෙත් පසුකාලීනව ඉස්මතු වුණු ජනවාර්ගික කෝලාහල සහ ත්‍රස්තවාදී අර්බුද හමුවේ කඩිනම් මහවැලියේ අවසන් ව්‍යාපාරය ලෙස සැලකෙන මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට ජනපති ජේ.ආර්.ට හැකිවූයේ නැත. 

ජේ.ආර්. නැවැත්වූ තැනින් පටන්ගෙන මහවැලියේ ඉතිරිව තිබූ මොරගහකන්ද ඉදිකිරීමට පිඹුරැපත් සැකසෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමයේදීය. 2007දී ඇරඹි මොරගහකන්ද ඉදිකිරීම් 2012 වනවිට අවසන් වන්නට නියමිතව තිබිණ. ඒ සඳහා වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සුවිශේෂී දායකත්වයක් ලබාදුන් බව ද නොරහසකි. කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයාගේ ධූර කාලය පුරාවට මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට නොහැකිවුණු අතර මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත් වහාම මොරගහකන්දට වැඩි ප්‍රමුඛතාවක් හිමිවිය. 

මාතලේ දිස්ත්‍රික්කයේ ඉදිකෙරුණු මොරගහකන්ද දුම්බර සහ හුන්නස්ගිරිය කඳු පන්තීන්ට මායිම්ව පවතී. තවද මොරගහකන්ද මුල් වාරි ව්‍යාපෘතියේ අතීතය වසභ රජ දවස දක්වා දිවෙන්නකි. 

මොරගහකන්ද යනු අවිවාදයෙන්ම මෙරට වාරි වංශ කතාවේ දැවැන්තම ව්‍යාපෘතියකි. අක්කර අඩි හය ලක්ෂ හැට දහසක ජල ධාරිතාවකින් හෙබි එය පැරුණි රජ දවස ඉදිකළ විශාලතම වාරි ව්‍යාපෘතිය ලෙස සැලකෙන පොළොන්නරුවේ පරාක්‍රම සමූද්‍රය මෙන් හයගුණයක් විශාලය. රුපියල් බිලියන 48කට අධික මුදලක් වැයකෙරෙන මොරගහකන්ද ව්‍යාපෘතිය මුදල් ආයෝජනය අතින් දෙවැනි වන්නේ වික්ටෝරියා ජලාශය ඉදිකිරීමට පමණි. මොරගහකන්ද ඉදිවන්නේ මහවැලියේ ප්‍රධාන අතු ගංඟා වන අඹන් ගඟ හරස් කිරීමෙනි. දැනට මොරගහකන්ද ඉදිවන ස්ථානයට ඉහළින් පිහිටා ඇති බෝවතැන්න ජලාශයේ ජල විදුලිය නිෂ්පාදනය කිරීමන් පසු එම ජලය මුදාහැරෙන්නේ අඹන් ගඟටය. මෙතෙක් එම ජලය උපරිම ලෙසින් ප්‍රයෝජනයට නොගත් අතර මොරගහකන්ද ඉදිකිරීමේ ප්‍රධානම අරමුණක් වූයේද එම අධික ජල ධාරිතාව එක්රුස් කරගැනීම ය. මේ සඳහා උස මීටර 65කින් යුත් ප්‍රධාන වේල්ලට අමතරව සෑදලි වේලි දෙකක් ඉදිකෙරැණි. (සෑදලි වේලි යනු ජලාශයක ප්‍රධාන වේල්ලේ උපරිමය දක්වා ජලය පිරවීමේදී ජලාශයේ පහත් ස්ථානවලින් ජලය පිටාර ගැලීම වළක්වාලන වේලි විශේෂයකි) මේ අතර ලග්ගල පල්ලේගම ඉදිවෙන කළුගඟ ජලාශයේ රැස්වන ජලය මොරගහකන්දට ගෙන එන්නේ කිලෝමීටර 9ක් දිගැති උමං මාර්ගයක් ඔස්සේය. 

මෙහි ප්‍රධාන වේල්ලත් සෙසු සෑදලි වේලි දෙකත් ඉදිව ඇත්තේ දෙපසට කළුගල් යෙදීමෙන් හා මධ්‍යයට ජලාශයට යටවන භූමියෙන්ම සපයා ගත් පිරිසිදු පස් යෙදීමෙනි. ප්‍රධාන වේල්ල ආශ්‍රිතව ජල විදුලි බලාගාරය ඉදිවන කොටස පමණක් කොන්ක්‍රීට් යොදා ඉදිකර තිබීම විශේෂත්වයකි. 

මොරගහකන්ද ඉදිවන්නේ ප්‍රධාන අදියර දෙකක් යටතේය. ඉන් පළමුවැන්න වූයේ මොරගහකන්දේ සිට හුරුළු වැව දක්වා ජලය ගෙනයාමය. දෙවැනි අදියර වන්නේ හුරුළු වැව සිට කිලිනොච්චියේ ඉරණමඩු ජලාශය දක්වා එම ජලය ගෙනයාමය. 
මොරගහකන්ද ජලාශයෙන් සෙත සැලසෙන ගොවි පවුල් සංඛ්‍යාව 87,000ක් බව සඳහන් ය. ඒ අනුරාධපුර, පොළොන්නරුව, මාතලේ සහ ත්‍රිකුණාමල යන දිස්ත්‍රික්ක ආවරණය කරමිනි. එනම් යල මහ යන ප්‍රධාන කන්න දෙක සඳහාම එම ප්‍රදේශවලට වාරි ජලය නිකුත් කිරීමේ හැකියාව එය සතුය. වගා බිම් මට්ටමින් හෙක්ටයාර 82,000ක දැනට පවතින වගා බිම් කරා ද හෙක්ටයාර 5000ක නව වගා බිම් සඳහා ද වාරි ජලය මෙමගින් නිකුත් කෙරෙනු ඇත. මීට අමතරව වයඹ ඇළ මාර්ගය හරහා කුරුෑගල පිහිටි වැව් කරාද ජලය ගෙනයෑමට මොරගහකන්දට ඉදිරියේදී හැකිවේ. ඊට අවශ්‍ය අතිරේක ජලය රන්දෙනිගල ජලය බෝවතැන්නට යොමුකිරීමෙන් සපුරා ගැනෙනු ඇත. සමස්ත ව්‍යාපෘතිය අවසානයේදී වාර්ෂික සහල් නිෂ්පාදනය සියයට 81කින් ඉහළ නැංවිය හැකිවනු ඇතැයි ද ගණන් බලා තිබේ. 

මෙම වාරි ව්‍යාපෘතියේ තවත් විශේෂත්වයක් වන්නේ ඉරණමඩු, කිලිනොච්චි, යාපනය පානීය ජල සම්පාදන ව්‍යාපෘතිය හා සම්බන්ධ වෙමින් යාපනයේ ලක්ෂ 3ක ජනතාවටත් කිලිනොච්චියේ 50,000ක ජනතාවටත් පානීය ජල පහසුකම් සැලසීමට හැකිවීමයි. පසුගිය සමය පුරාවට යාපනය හා විශේෂයෙන්ම චුන්නාකම් ප්‍රදේශයේ පැවැති උග්‍ර පානීය ජල අර්බුදයට විසඳුම් සැපයීමට ඒ අනුව මොරගහකන්දට හැකිවනු ඇත. 

මොරගහකන්ද ජලාශය ඉදිකිරීමට සමගාමීව ජල විදුලි බලාගාරයක් ද ඉදිකෙරෙන අතර එහි ඉදිකිරීම් මේ වනවිටත් අවසන් කොට තිබේ. පසුගියදා එහි විදුලි නිෂ්පාදනය සම්බන්ධ පරීක්ෂණයක් ද සිදුකෙරිණ. මොරගහකන්ද ඔස්සේ ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 25ක ධාරිතාවක් එක් කිරීමට නියමිතය.  ඒ මෙගාවොට් 7.5 ජනක යන්ත්‍ර දෙකක් සහ මෙගාවොට් 5 ජනක යන්ත්‍ර දෙකක් තුළිනි. එමගින් වාර්ෂිකව ඩොලර් බිලියන 2.4ක් වටිනා දැවිතෙල් ප්‍රමාණයක් ඉතිරි කරගත හැකිවීම ද සුවිශේෂ වාසියකි. 

මීට අමතරව මොරගහකන්ද හරහා මිරිදිය මත්ස්‍ය කර්මාන්තයට ද වෙසෙස් දායකත්වයක් ලැබීමට නියමිත ය. මොරගහකන්දෙන් වාර්ෂිකව ටොන් 4,700ක මත්ස්‍ය සම්පතක් ලබාගත හැකිවනු ඇතැයි අපේක්ෂිතය. ඉන් වාර්ෂිකව හිමිවන ආර්ථික වාසිය ඩොලර් මිලියන 1.6කි. තවද නිරන්තර ජල ගැලීම්වලට නතුවන සෝමාවතිය හා මනම්පිටිය ආදී ප්‍රදේශ ගංවතුර තර්ජනයෙන් අත්මිදීම ද මොරගහකන්දේ තවත් ප්‍රතිලාභයකි. 

මොරගහකන්දෙන් නිවාස අහිමි වූ ජනතාවට වන්දි පිරිනමා ඔවුන්ව මේ වනවිට තෝරපිටිය ප්‍රදේශයේ නැවත පදිංචි කරවා තිබේ. ඊට සමගාමීව ඉදිවන කළුගඟ ව්‍යාපෘතියෙන් නිවාස අහිමිවූවන්ට ගුරුවෙල නැවත පදිංචි කිරීම් ප්‍රදේශයේ නිවාස ලබාදී ඇත. 

මොරගහකන්ද ව්‍යාපෘතිය ඉදිකිරීමේදී පරිසර සංරක්ෂණයට ද වැඩි අවධානයක් යොමුව ඇති අතර අඹන්ගඟ ජල පෝෂිත ප්‍රදේශයේ හෙක්ටයාර 1365ක නැවත වන වගාවක් සිදුකෙරේ. තවද ගිරිතලේ, මින්නේරිය රක්ෂිතයේ සිට වස්ගමුව රක්ෂිතය දක්වා අලිමංකඩක් ඉදිකිරීම ද මෙම ව්‍යාපෘතියට ඇතුළත්ය. 

► රජිත ජාගොඩ ආරච්චි