2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා

කඩිනමින් කෝටිපතියන් මවන ඩිජිටල් සල්ලි

 2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 146

කඳුවැටිවලින් වටවුණු ඉඩහෝ පළාතේ පුංචි පාසලකට ගිය එරික් ෆින්මැන් තමන්ගේ ජීවිත කාලයටම බලපාන තීන්දුවක් ගත්තේය. ඒ වන විට ඔහුට වයස අවුරැදු 12 කි. එරික්ට කවදාවත් පාසල දිරවූයේ නැත. පාසලට එරික් ඇල්ලුවේ ද නැත. එහි ගුරුවරුන් නිතරම පාහේ එරික්ට කීවේ “ඉස්කෝලේ අතඇරදාලා ඔය ළමයා ඔන්න ඔය මැක්ඩොනල්ඩ් කඩචෝරු කඩේක වැඩට යන එක වැඩිය හොඳයි” කියාය. එරික් මේ අවලාදයෙන් පාසල අත්හැරීමේ අදහස ක්‍රියාවට නගන්නට හිතුවේය. නමුත් ඔහු මැක්ඩොනල්ඩ් කඩේක වැඩට ගියේ නැත. ඔහු ලෝකයේ අලුත්ම මුදල් ඒකකය තුළ තමන්ගේ අතට ලැබුණු සොච්චම් මුදල ආයෝජනය කළේය. වසර 6 ක් යන්නට මත්තෙන් එරික් කෝටිපතියකු බවට පත් වූයේය. ඔහු ආයෝජනය කළේ ඩිජිටල් මුදල් ඒකකයක් වන Bitcoin වලය. Bitcoin ඇතුළු ඩිජිටල් මුදල් දැන් ලෝක ආර්ථිකයට අලුත්ම ගනුදෙනු වටිනාකමක් ලබා දී ඇත්තේ එසේය.

ලෝකයේ දැන් හැමදේම ඩිජිටල්කරණය වී හමාරය. අතේ බඳින ඔරලෝසුවේ සිට වෛද්‍ය ප්‍රතිකාර සේවා දක්වා සියල්ල ඩිජිටල්ය. කොටින්ම තවම ඩිජිටල් ඉලෙක්ට්‍රොනික හුටපටයට ගොදුරුව නැත්තේ අම්මා තාත්තා පමණකි. එබඳු ලෝකයේ දැන් මුදල් ද ඩිජිටල්කරණය වී හමාරය. මේවා ඩිජිටල් මුදල්, ඊ මුදල්, නැතිනම් ඉලෙක්ට්‍රොනික මුදල් ලෙස දැන් භාවිතයට පැමිණ තිබේ. සාමාන්‍ය මුදල් නෝට්ටු කාසි වලින් කරන්නට හැකි සියලුම ගනුදෙනු කරන්නට පමණක් නොව, ඒවායින් කරන්නට නොහැකි වූ අධික ලාභ ලබන ආයෝජන කිරීමට ද දැන් ඩිජිටල් මුදලින් හැකිය. මේ නිසා ඉතා ලාබාල කෝටිපතියන්, ප්‍රකෝටිපතියන් ගණනාවක්ම පසුගිය කාලයේ ලෝක ආර්ථිකයේ කරණම් ගසන්නට එක්ව තිබේ.

ඩිජිටල් මුදල් යනු අතට හසුවන සාක්කුවේ දමාගත හැකි මුදලක් නොවේ. අන්තර්ජාලය ප්‍රධාන කොට සයිබර් අවකාශය ඔස්සේ ඉලෙක්ට්‍රොනිකව ගනුදෙනු සිදුකරන පිළිගත් මාධ්‍යයකි.

මේ ඩිජිටල් මුදල් සාමාන්‍ය මුදල් නෝට්ටු සහ කාසි භාවිතා කොට මිලදී ගන්නට හැකිය. එසේ මිලට ගත් ඩිජිටල් මුදල් සඳහා ක්‍රෙඩිට් කාඩ් බඳු කාඩ්පතක් ලැබේ. එතැන් සිට ඩිජිටල් මුදල් භාවිතයට ගනිමින් භාණ්ඩ හා සේවා සපයන ස්ථානවලින් භාණ්ඩ හා සේවා මිලට ගන්නටත්, ව්‍යාපාරවල ආයෝජනය කරන්නටත්, වැඩි ලාභයක් තබා සාමාන්‍ය මුදලට හුවමාරු කරන්නටත්, බැංකුවල තැන්පත් කරන්නටත්, කෙනෙකුට හැකියාව ලැබේ. ඩිජිටල් මුදල සහ සාමාන්‍ය මුදල අතර වටිනාකමේ පවතින ලොකු පරාසය නිසා ඩිජිටල් මුදල් ආයෝජනය මගින් ඉක්මනින් පොහොසත් වන්නට වාසනාව උදා වී තිබේ.

ඩිජිටල් මුදල් පිළිබඳ අදහස මුලින්ම ආවේ අමෙරිකානු පරිගණක විද්‍යාඥයකු වන ඩේවිඩ් චෝම්ගේ ඔළුවටය. 1983 ඔහු Digicash නමැති ඉලෙක්ට්‍රොනික කොම්පැණිය අරඹා තමන්ගේ අදහස ක්‍රියාත්මක කළේය. නමුත් 1988 වන විට එය බංකොලොත්භාවයට පත් විය. ඉන්පසු විවිධ පන්නයේ ඩිජිටල් ගනුදෙනු උපක්‍රම එළියට ආවේය. නමුත් දැන් භාවිතා වන මට්ටමේ ඩිජිටල් මුදල් මුලින්ම එළියට ආවේ 1990 දීය. Dot-com bubble ලෙසටය.

දැන් ආර්ථික ලෝකය තුළ අතිසාර්ථක ලෙස මහා කරණම් ගසන Bitcoin නමැති ඩිජිටල් මුදල් ඒකකයට පණ ලැබුණේ මෙයට වසර 8කට පෙර 2009 ජනවාරි 3 වැනිදා සිටය. එය “සටෝෂි නකමොටෝ” නම් වූ අනන්‍යතාව නොදන්නා පුද්ගලයකු හෝ සමාගමක හෝ හඳුන්වා දීමකි. දැන් මෙය ලෝකය පුරා භාවිතා වන පිළිගත් හුවමාරු ඒකකයකි.
මේ ලිපිය ලියන මොහොත වන විට Bitcoin එකක වටිනාකම ශ්‍රී ලංකා රුපියල් වලින් 2623268.85 කි. එනම් ආසන්න වශයෙන් ලක්ෂ 27 කි. මේ මුදල දිනෙන් දින අධික ලෙස ඉහළ යන වටිනාකමක් දරන්නකි. කොටින්ම අද ලක්ෂ 27 ක් වී ඇති Bitcoin එකක් 2010 දී මිලදී ගත්තා නම් එයට ගෙවිය යුතුව තිබූ මුදල වී ඇත්තේ රුපියල් 1227.76 කි. ඩිජිටල් මුදල් කෙටිකාලීනව පොහොසතුන් ලෝකයට ප්‍රාදුර්භූත කරන්නේ ඔන්න ඔය ආකාරයටය. මේ වන විට Bitcoin හැර අලුත්ම හුවමාරු ඒකක ගණනාවක් වෙළෙඳ ලෝකයට හඳුන්වා දී තිබේ. Bitcoin වලට දැන් තරගකාරයකු ද එක්ව තිබේ. Litecoin ලෙස හඳුන්වන මේ හුවමාරු ඒකකය ඩිජිටල් මුදල් ඒකක අතර හතරවැනි තැන දැනට දිනාසිටියද ඉතා ඉක්මනින්ම Bitcoin ද පරදවා ආර්ථික ලෝකයේ ප්‍රධාන ඩිජිටල් හුවමාරු ඒකකය වන ලකුණු පහළ වී තිබේ. නමුත්, කෙනෙක් මේ කියන ඩිජිටල් මුදල් ගනුදෙනු සඳහා යොමුවිය යුතුව ඇත්තේ පිළිගත් ලියාපදිංචි වගකීමක් සහිත ආයතන ඔස්සේ පමණි. මක්නිසාදයත් අන්තර්ජාලය ඔස්සේ සල්ලි පිල්ලි යවන කණ්ඩායම් දැනටමත් සිටින හෙයිනි.

සුගත් පී. කුලතුංගආරච්චි

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00